පාරවල් වහන්නේ ඇයි? වහන්නේ කවුද?

පෙරේදා රෑ මම රත්නපුර කරවිට නගරයට යන්නේ #GoHomeGota2022 විරෝධතාවයක් තියෙනවා කියන ආරංචියට. යනකොට එතන 50ක් විතර සෙනඟ හිටියා. රත්නපුර කලවාන මාර්ගය කරවිටින් වහලා තමයි මේ පිරිස උද්ඝෝෂණයේ හිටියේ. ඒ විතරක් නෙවෙයි කරවිට පළාවෙල පාර වගේම කරවිට හංගමුව පාරත් උද්ඝෝෂකයෝ මුලින්ම වහලා තිබ්බා. කරවිට කියන්නේ අන්ත පොහොට්ටුවෝ ජීවත්වෙන ඔවුන් රජකරපු තවමත් රජකරන ටවුන් එකක්. චොකා මල්ලිගේ ආධාරකාරයෝ තමයි 80%ක් ඉන්නේ. ඉතිං මේ උද්ඝෝෂණ යන අස්සේ දෙන්නෙක් කයියක් ගහනවා. මම නිකං කන හැරෙව්වා ඒ පැත්තට.

බලහං මුන් සේරම පොහොට්ටුවට ඡන්දය දීපු එවුන් මුන් අද උදේ (19) වෙනකම් ආණ්ඩුවට සපෝට්. කොහොමද බන් මුන් මෙහෙම වෙනස් උනේ?

මේ ප්‍රශ්නය මටත් තිබුණ එකක්. ඔව් මිනිස්සුන්ට වෙනස් වෙන්න පුලුවන්. මිනිස්සු වෙනස් වෙන්න ඕනී. ඒක වෙන කතාවක්. ඒත් මම මේ කියන්න යන්නේ වෙනකතාවක්.

මේ කරවිට කතාව චුට්ටකට පැත්තකට තියලා ඊට පහුවෙනිදා නැත්තං ඊයේ (20) ගැන වෙන කතාවක් කියන්නම්..

මම 20 උදෙන්ම බයික් එකේ රත්නපුර ඉදලා ඇල්පිටියට එන්න එනවා. එහෙම එනකොට පස් හයදෙනෙක් එකතුවෙලා යකඩ බැරියර්ස් දාලා මොරපිටියෙන් පාර වහලා. බදුරලියට ළඟ හන්දියක් මේක. බොහොම අමාරුවෙන් කියලා මෙතනින් ආවා. එහෙම ඇවිත් ඇල්පිටියට ගිහිං මම ආයෙත් කොළඹ ආවා. ආවේ කළුතර බණ්ඩාරගම හරහා. ඒ එනකොට බණ්ඩාරගම නගරය පහුවෙලා චුට්ටක් දුර යනකොට කැස්බෑව බණ්ඩාරගම පාර වහලා. ඩීමෝ බට්ටෝ තුනක් දාලා. එතනත් 10ක් ඉන්න ඇති.

මේ තැන් දේකේම වගේ කරවිටත් තිබුණ විශේෂත්වය තමයි බීමත් දෙන්නෙක් තුන්දෙනෙක් තමයි වැඩේ ඇදගෙන යන්නේ. සද්දේ දාන්නේ. වාහන හරවන්නේ. අමු ගෝඨා විරෝධයක් පාරට වීසිකරන්නේ.

මේ තුන් අවස්ථාව ගැනම හිත හිතා ඉන්නකොට ඌව ලසා Lasantha de Silva කතාකළා හවස. මල්ලී මේ පාරවල් වහන එක ගැන චුට්ටක් බලහන් කියලා. පානදුරේ පාර වහපු එක ගැනත් මිනිහා විස්තරයක් කළා.

අද වෙනකොට ෆේස්බුක් එකේ මේ පාරවල් වැහිල්ලට විශාල විරෝධයක් විතරක් නෙවෙයි ඒ ගැන වීඩියෝ පවා හැදෙමින් සටසට ගාලා පැලවෙමින් යනවා.

මම හිතන්නේ දැන් වැඩේ පැහැදිලියි. නාන සාර වගේ අසාර පුද්ගලයෝ තමයි මේ 80%ක් වැහිලිවල ප්‍රමුඛයෝ. මුන්ගේ අරමුණ තමයි මේ අරගලය දියාරු කරන එක. මේක දියාරු කරන්න හොඳම ක්‍රමය තමයි අරගලය ගැන පොදු ජනතාවගේ කෝපය දැල්වීම. අපහසුව අවධි කිරීම.

පස් හය දෙනෙක් එක්කාසු වෙලා මේ වහපු කිසිම තැනකට පොලිස් බල්ලෝ එකෙක් ඇවිත් හිටියේ නෑ. ඒකෙන් පේනවා මේ මොකද වෙන්නේ කියලා.

අද 21 දාවක්. පාස්කු ප්‍රහාරය එල්ලකරපු දවස. පොඩ්ඩක් හිතන්න රාජපක්ෂලාට බලය තියාගන්න කොරන්න බැරි දෙයක් නෑ.

ලංකාවේ බුද්ධි අංශ කියන්නේ මහජනයාගේ මුදලින් නඩත්තු කරන වළව් ආරක්ෂකයෝ ටිකක්. ඒ නිසා අපි වෙනදට වඩා සැලකිලිමත් වෙමු. අපි ගමේ අරගලයත් අතට ගමු. අරගෙන මේ ක්‍රියාවන් වළකමු.

 

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග