බලයෙන් ගෞරවය විතැන් වූ මෙහොතක…!

ජනාධිපති ගෝඨාභය බලය අතහරින්නට සූදානම් නැත. නමුත් දැන් ඔහු භුක්ති විඳින්නේ ගෞරවය රහිත බලයකි. රාජපක්ෂලාගේ මුලු පොහොට්ටු ආණ්ඩුවේම බලය ගෞරවයෙන් විතැන් වී ඇත.

ජනාධිපතිවරයා දැන් හොඳ වැඩක් කළද එය හොඳ වැඩක් ලෙස රට පිළි ගන්නේ නැත. ප්‍රේමදාස ජනාධිපතිවරයාටද මේ තත්වය උදාවිය. ඒ අනුව ගෝඨාගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටි ජන අරගලය දිග්ගැසුන ජන අරගලයක් වීම වැළැක්විය නොහැකිය.

පාර්ලිමේන්තුවට කළ හැක්කේ කුමක්ද ? පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයක් පැවැත්වීම මේ වේලාවේ කළ නොහැකිය. එසේ නම් හදිසි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර සුදුසු කාලයේ මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත් කරගැනීමට ජනතාවට ඉඩ සැලසීමේ ඉලක්කය සහිතව ⁣අර්බුදයෙන් මුදා ගැනීමේ මෙහෙයුමක් (rescue operatiion ) මේ පාර්ලිමේන්තුවට කළ හැකිය.

එයට ණය අර්බුදය සමනය කරගත හැකි ආර්ථික වැඩසටහනක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන දේශපාලන වැඩ සටහනක්ද ඇතුළත් විය යුතුය.

දේශපාලන වශයෙන්විසි වන සංශෝධය ඉරා දමා ජනාධිපතිගේ බලතල කප්පාදු කර දැමිය හැකිය. ඇති තරම් ඡන්ද එකතු වන්නේ නම් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක්ද ගෙන ආ හැකිය.

එමගින් මීටත් වඩා ඉදිරියට ගිය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සාදා ගැනීමේ මාවතක් නිර්මාණය වනු ඇත. ඒ සඳහා වන අන්තර්වාර ආණ්ඩුවකට පාර්ලිමේන්තුව සුදානම් විය යුතුය.

එසේ නැතිව “ඡන්දයකින් බලය ලබා ගෙනම අපි කොරන්නම්” වැනි කතා කියමින් ජනතාව තව දුරටත් දුකට පත්කිරීම පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ වගකීම නොවේ.

ඒ කියන ඡන්දය එනවිට රට මුහුදේ ගිලී තිබෙන්නට ඉඩක් ඇත. නියම වීරයන් වන්නේ මේ අභියෝගය මේ මොහොතේ භාර ගන්නා අය මිස අනාගතයේදී ගන්නම් යැයි කියන අය නොවේ. ජනාධිපතිවරයාට දැන්ම පාර්ලිමේන්තුව ව්සුරුවා හැරිය නොහැකිය.

නමුත් 225ම එපා තර්කයෙන් බලයට පත් ඔහුට පාර්ලිමේන්තුව කල් දමා වසා දැමිය හැකිය. ඒ අනතුරට එරෙහිව පාර්ලිමේන්තුව දැන්ම සූදානම් විය යුතුය.

අර්බුදය අද දවසේ අර්බුදයකි. එයට අද දවසේ මුහුන දිය යුතුය.

“මෙතන රෝඩ්ස් මෙතැන
පනින්න”
Hic Rhodus, hic saltus.

කරු පරණවිතාන

Social Sharing
නවතම විශේෂාංග