මන්ත්‍රීවරුනි, රාජපක්ෂවරු අතහැර ජනතාව වෙත පැමිණෙන්න..!

අද පාර්ලිමේන්තුව කැඳවා තිබෙනවා. දැනගන්නට තිබෙන විදිහට මේ වෙනකොට ආණ්ඩුව සතුව තිබුණ 2/3කක පාර්ලිමේන්තු බලය අවසන් වී තිබෙනවා මේ වෙනකොට. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පහුගිය 04 වෙනිදා තිබුණ රැස්වීමට මන්ත්‍රීවරුන් 132ක් ඇවිත් ඉඳලා තිබෙනවා. එතනදී ජනාධිපති කියලා තිබෙනවා 113ක් කාටහෝ පෙන්වන්න හැකිනම් තමන් සූදානම් ආණ්ඩුව භාර දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ විපක්ෂයට 113ක බලයක් ආවොත් ජනාධිපතිවරයා ආණ්ඩුවක් දෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ කතාවලින් පේන්නේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරුන්ගේ උද්දච්ච හැසිරීම් තවමත් එලෙසමයි කියලයි. මේ රැස්වීම ඉවර වෙලා එළියට ආපු ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියන්නේ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්න තරම් ප්‍රශ්නයක් රටේ නෑ කියලා. මේ තත්ත්වය අස්සේ අපිට පේනවා ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ තක්සේරුව.

කොහොම වුණත් අද පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට සරල බහුතරය අහිමි වෙන්න පුලුවන්. ඒකට තිබෙන ඉඩකඩ ඉතා විශාලයි. මගේ නම් අදහස විපක්ෂයට 113ක් ඇවිත් මේ ප්‍රශ්නය විසඳන්න අමාරුයි. විපක්ෂය තුනෙන් දෙකක බලයකට යන්නට අවශ්‍යයි. ඒක අමාරු කාර්‍යක් වෙන්න බැහැ. ඒ මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නියෝජනය කරන්නේ ජනතාව නම් ඔවුන් මහපාරේ අරගලයේ නිරතවෙලා ඉන්න ජනතාව වෙනුවෙන් ඒ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින්න ඕනී.

2/3ක බහුතර බලයක් එක්ක විපක්ෂයට අද පුලුවන් උනොත් ආණ්ඩු පක්ෂය වෙන්න, ජනතාව ඉල්ලන සියළු ප්‍රතිසංස්කරණ කිරීම එතරම් අමාරු නැහැ. මුලින්ම තියෙන්නේ ඉවත්වෙන්නට සූදානම් නැති ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම. ඊට පස්සේ පුලුවන් පාර්ලිමේන්තුවට නව ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් තෝරාගන්න. ඊට පස්සේ පුලුවන් සංක්‍රාන්තික ආණ්ඩුවකට නැතිනම් භාරකාර ආණ්ඩුවකට යන්න.

මේ සියල්ල කරන්න පුලුවන් වෙන්නේ ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරනවා යැයි කියන පාර්ලිමේන්තුව ජනතා අභිලාෂයන් සමග සිටගත්තොත් විතරයි. පාර්ලිමේන්තුව මේ අවස්ථාවේදී ජනතා හැඟීම්වලට ජනතා අභිලාෂයන් වලට පයින් ගැහුවොත් මේ රට තවත් අරාජික වේවී. සමහර විට ඒ අරාජිකත්වය ලේ හැලෙන නොසන්සුන්තාවයක් බවට උනත් පෙරළෙන්න පුලුවන්. ඒ නිසා අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියන්න වෙන්නේ මහපාරේ අරගලයේ නිරත ජනතා අභිලාශයන් වෙනුවෙන් හිටගන්න කියලා.

 

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග