විනෝදයත් විරෝධයේ ‍කොටසක්!

අපේ මිනිස්සු කොහොම හරි වෙනස්කමක් හොයාගෙන ඒ උඩ අනෙකාව වෙන් කරගන්න දක්ෂයි. ඒ වෙනුවට සමානකම හොයාගෙන එකට බැදෙන්න අදක්ෂයි. මේ අරගලය කවුරුවත් විසින් සංවිධානය කරපු එකක් නෙමෙයි. ඒක ලංකාවෙ මෙතෙක් ඇතිවූ විශාලම ජන අරගලය. විදර්ශන කන්නංගර කිව්වා වගේ මේක අරාබි වසන්තයක් නෙමෙයි, මේක ලංකාවෙ වසන්තය.

එතනදි හැම කෙනෙක්ම අරගලයට සහභාගි ‍වීමයි වැදගත්. ඒ හැම පෝස්ටරයක් යටින්ම #gohomegota කියන එකයි වැදගත්. ඒ අය පපරෙ නටනවද, සෙල්ෆි ගහනවද, ලයින්ස් හරි මදිද වගේ දේවල් අදාලම නෑ. ඕන කෙනෙකුට පුළුවන් තමන් කැමති විදිහට අරගල කරන්න. ඕන නං හෙළුවෙන් දුවන්න වුනත්.

එක තැනක මං දැක්කා, ‘ලයිට් කපන්න එපා යකූ, මිනිහගෙන් වදේ’ කියල පෝස්ටරයක්. ඒක අරගලයේ සීරියස් බව නැති කිරීමක් කියල සීරියස් අරගලකාරයන්ගෙන් මාර බරබරයක්. මට නං ඒ ලයින් එක සීරියස්. ලයිට් කපන කාලෙදි තමයි ලංකාවෙ ළමයි හදන එක වැඩි වෙන්නෙ. හිනාවක් මුවට නගන සටන් පාඨයක් කියන්නෙ අරගලය හෑල්ලු කිරීමක් නෙමෙයි. තමන් ලියාගෙන එන බෝර්ඩ් එකේ තමන්ට කැමති සටන් පාඨයක් ලියාගන්න නිදහස තියෙන්න ඕන. ඒකට අකමැති අයට පුළුවන් තමන් සීරියස් කියල හිතන සටන්පාඨයක් ලියාගන්න. කිසි කෙනෙක් බෝර්ඩ් එකක් අරන් පාරට බහින එක හෑල්ලු කරන්න එපා.

දිනක්ෂිලා ඇවිත් සෙල්ෆි ගහනවටත් ගොඩක් අය ඉරිසියාවෙන් පෙලෙනවා. පියුමි හංසමාලිත් ඊයෙ අරගලයට එකතු වෙලා තිබුන. මේ හැම කෙනෙක්ම එකතු වෙන එකයි වැදගත්. විනෝදය කියන්නෙ අරගලයෙන් බැහැර කරන්න ඕන දෙයක් නෙමෙයි. මේක දවසකින් දෙකකින් ඉවර වෙන වැඩක් නෙමෙයි. ඒක පවත්වාගෙන යන්න නම් විනෝදය, සිනහව ඕනමයි.

අරගලයේ සීරියස් බව, දේශපාලනික බව පවත්වාගෙන යන්න. ඒක වැදගත්. ඒත් අර සරලබව, ටික්ටොක් බව ප්‍රතික්ෂේප කරන්න එපා. හැම වාහනයක් ඇතුලෙම මේ දවස්වල තියෙනවා අතින් ඇඳපු පෝස්ටර් කීපයක්. මොන්ටිසෝරි යන ළමයිනුත් කිය කිය යන්නෙ ‘ගෝ හෝම් ගෝටා’ කියල. ඒක අනුප්‍රාණයක්.
අපේ ජාතික ගීය ආපහු අර්ථයක් දරන්න ගත්ත මොහොතක්.

අරගලයේ වෙන කාගෙවත් හැඩය ප්‍රශ්න කරන්න කාලය වැය කරන්න එපා. තමන් විශ්වාස කරන හැඩය අරගලයට අරන් එන්න. මේ වෙලාවෙ පාරට බහින ඕනම කෙනෙක් අවතක්සේරු කරනවා කියන්නෙ මේ පවතින ආණ්ඩුවට කඩේ යනවා කියන එකයි. මෙතන දැන් මැදක් නෑ. තියෙන්නෙ දෙපැත්තයි.

ගෝටා මේ තරම් විරෝධයක් මැද ආපහු කාර්ඩ් කුට්ටම අනලා ඇමතිකම් ටික මාරු කරපු තැනින් එයා ප්‍රදර්ශනය කලේ තමන් තාමත් ජනතාව අන්දන්න ලෑස්තියි කියල. එතෙක් මං හිතාගෙන හිටියෙත් ගෝටා ඉඳලා 20 වෙනි සංශෝධනය අහෝසි කිරීමෙන් අර්බුදය විසඳන මාවතක් ගැනයි. ඒත් ජනතාවට ගරු කිරීමක් නැති, ජනතාවගේ ගරු කිරීමකුත් නැති ජනපති කෙනෙකුට පවතින්න බෑ. ඒ හින්ද ගෝටාට යන්නම වෙනවා. ඒකයි ජනතා අභිලාෂය. ඊට මෙපිටින් විසඳුම් නෑ.

මේ වෙලාවෙ වගකිව යුතු විපක්ෂයක් තියෙනවා නම් ඒ අය පොදු එකඟතාවයක් නිර්මාණය කරගන්න ඕන. ඒ එකඟතාවය ජනතාවට ඉදිරිපත් කරන්න ඕන. රාජපක්ෂලාගෙන් තොර ආණ්ඩුවක් ගැන බහුතර පක්ෂ සම්මුතියක් හදාගන්න බෑ කියන්නෙ විපක්ෂය බංකොලොත්.

මේ මොහොතෙ ඔබත් එක්ක බෝර්ඩ් එකක් උස්සන් පාරෙ අනිත් පැත්තෙ හිටගෙන ඉන්න මනුස්සයාව විවේචනය කරනවට වඩා එයත් ඔබත් අතර පවතින පොදු බව තේරුම් ගන්න උත්සාහ කරන්න. විනෝදය විරෝධයෙන් බැහැර නොකරන්න.

 

චින්තන ධර්මදාස

Social Sharing
නවතම විශේෂාංග