ලංකාව විනාශයට ගෙන ගිය රාජපක්ෂවරු

සුප්‍රකට බ්ලූම්බර්ග් හි පළවූ ලිපියේ පරිවර්තනය

ජනාධිපතිවරණයෙන් අවුරුදු දෙකක් ගත වීමට පෙර ලංකාවේ ප්‍රධාන පෙළේ පවුලක් සෑම අතින්ම අර්බුද නිර්මාණය කිරීමට නායකත්වය දී ඇත.

මිලියන 22ක ජනතාවක් සිටින ඉන්දියන් සාගරයේ වටිනාම දූපත අද වන විට දරුණුම ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටී. මෙම සියළු අර්බුදවලට ජනාධිපති ගෝඨාබය රාජපක්ෂගේ ආණ්ඩුව පිළිතුරු සැපයීමට අසමත්ව ඇත. රටේ මෙම තත්වය ගොඩ ගැනීමට අවස්ථා තිබිය දී ඔවුන් ඉන්දියාව සහ චීනයේ උපකාර විශ්වාස කරමින් මුරණ්ඩුකාරී ලෙස හැසිරෙමින් ඇත.

දිවයිනේ සතර අතින් අතින් විරෝධතා නැඟෙමින් ජනාධිපතිට ඉල්ලා අස්වීමට බල කරත් ඔහු තවමත් නිහඬව සිටී. අත්‍යාවශ්‍ය බෙහෙත් නොමැතිව එමෙන්ම තමන්ගෙ රාජකාරි කටයුතුවලට බාධා කරගෙන පෝළිම් වල රස්තියාදු වෙන මේ මිනිස්සුන් දැක ඇතිවන්නේ සැබෑ වේදනාවකි.

එමෙන්ම මෙම දූපත ආසියාවේ උද්ධමනය අධිකම රට බවටත් පත් වී හමාරය. එය 15%කි.

2019 ජනාධිපතිවරනයෙන් පත්වෙන ගෝඨාබය රාජපක්ෂ තමන්ගේ සහෝදරයා වන මහින්ද රාජපක්ෂ ව අගමැතිවරයා ලෙස පත් කළේය. මහින්ද රාජපක්ෂ යනු දේශපාලනයට නව මුහුණුවරක් නොවෙයි. ඔහු බලයට එන්නේ 2004 පැවති ජනාධිපතිවරණයෙන්. ඔහු අවුරුදු 10ක් ජනාධිපති ධුරය හෙබවීය.  එකළ ගෝඨාබය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළේය. එකළ සිවිල් යුද්ධ සමයේ සිදුවූ මාධ්‍යවේදී ඝාතන, ස්ත්‍රී දූෂණ, වධහිංසා පැමිණ වීම, අනීතිකව මිනිසුන් ඝාතනය කිරීම, විරුද්ධ මතධාරීන් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම ආදී සම්බන්ධ ක්‍රියා වලට ඔහු චෝදනා ලැබ සිටියත්, ඔහු ඒ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

රාජපක්ෂවරු නිහඬව සිටියේ 2015 ජනාධිපතිවරණයෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහව අත්තනෝමතික ලෙස ධූරයෙන් ඉවත් කරන තෙක් පමණි. පසුව ඔවුන් අලුත් පක්ෂයක් සමගින් 2019 සහ 2020 මැතිවරණ තුළින් අති විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබාගෙන ඔවුන්ට අවශ්‍ය සියළු විධායක බලතල ඉක්මනින්ම නැවතත් ප්‍රතිස්ථාපනය කරන ලඳි. පසුව ඔවුන් තමන්ගේම පරපුරේ අයෙකු වන බැසිල් රාජපක්ෂ 2021 ජූලි මස දී මුදල් අමාත්‍ය ලෙස නම් කරන ලඳී. ඔහුගේ ද්විත්ව පුරවැසි බව හේතුවෙන් බැසිල් රාජපක්ෂ දිගින් දිගටම මත භේදයකට තුඩු දින් චරිතයක් විය. නමුත් රජය ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව ඇති නීති සංශෝධනය කිරීමෙන් ඔහුට පාර්ලිමේන්තුවට ඇතුළු වීමට හැකියාව ලැබුණි.

රාජපක්ෂවරුන්ගේ වැඩිමල් සහෝදරයා වන චමල් රාජපක්ෂ කැබිනට් අමාත්‍යවරයෙක්වන අතර අගමැතිගේ පුත්‍රයා ද කැබිනට මණ්ඩලයේ තනතුරු හොබවයි. එපමණක් නොවෙයි, ඔහුගේ තවත් පුත්‍රයෙකු කාර්ය මණ්ඩල ප්‍රධානියා වේ. එමෙන්ම අගමැතිවරයාගේ ඥාති පුත්‍රයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඇතැම් ඇස්තමේන්තු වලට අනුව අයවැයෙන් 75%ක් රාජපක්ෂවරු යටතේ පවතී.

කෙසේ නමුත් මෙතරම් බලය තිබිය දී ශ්‍රී ලංකාව මෙම අවුල් ජාලයෙන් ගොඩට ගෙන ඒමට ඔවුන්ට නොහැකි වී තිබේ.

බැසිල් රාජපක්ෂ මෙම මාසය තුල ඉන්දියාවේ සංචාරය කොට ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගෙන ඇත.

එමෙන්ම රුසියානු යුක්‍රේන යුද්ධය නිසාවෙන් ද ලංකාවේ ආර්ථිකට දැඩි ලෙස හානි සිඳුවී ඇත. එනම් සංචාරක කර්මාන්තයට සහ තේ අපනයනට බාධා ඇතිවීම හේතුවෙනි.

රාජපක්ෂවරු ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට කිසිසේත්ම එකඟ නොවීය නමුත් මේ වන විට ඔවුන් එයින් උපකාර ලබා ගැනීමට කටයුතු කර ඇත. නමුත් මේ වන විට ලංකාව රුපියල ඉතාම දුර්වල තත්වයකට ඇඳ දැමීම මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට අනුගත නොවී ඇත. මේ සම්බන්ධයෙන් වෙරිටේ රිසර්ච් ආයතනයේ ආර්ථික විශේෂඥ නිෂාන් ද මෙල් පැවසූවේ ප්‍රථමයෙන් කිරීමට තිබුණේ ණය ප්‍රති ව්‍යූහගත කිරීමත් පසුව රුපියල පා කිරීම සහ පොළී අනුපාතය වැඩි කිරීමත් බවයි. එමෙන්ම ලංකාව මෙවැනි තත්වයකට ඇඳ වැටීමට හේතුව නිසි අයුරින් තීන්දු තීරණ නොගැනීම බව ඔහු වැඩි දුරටත් පැවසීය.

එසේම චීනය ඉන්දියාව වැනි රටවලින් ණය ගැනීම තුලින් රටේ තත්වය තවත් උග්‍ර වන බවත් මෙයින් ලංකාව ණය උගුලක හිර වෙන බවත් ප්‍රතිපත්ති අධ්‍යන අංශයේ විධායක නිළධාරී දුෂ්නි වීරකෝන් පැවසීය. එනම් හම්බන්තොට වරාය ඉදි කිරීමට චීනයෙන් ණයගත් බවත් පසුව එය ගෙවා ගැනීමට නොහැකි වූ නිසා 99 අවුරුද්දකට එය බඳු දීමට සිඳු වූ බවත් ඇය සඳහන් කළාය. එමෙන්ම මේ මොහොතේ ඇති එකම විසඳුම මූල්‍ය අරමුදල වෙත යාම බව ඇය පැවසීය.

කෙසේ නමුත් 2024, 2025 වන තෙක් මැතිවරණ නොපවත්වන බැවින් ගෝඨාභය රාජපක්ෂ යන ඒකාබද්ධ ප්‍රතිරූපය ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවුනත් ඔහු ඇතුළු පවුලේ බලයේ ග්‍රහණය ලිහිල් කිරීම දුෂ්කර ක්‍රියාවලියකි.

සටහන – රුත් පෝලර්ඩ්

මුල් ඉංග්‍රීසි ලිපිය බලන්න මෙතනින් යන්නhttps://www.bloomberg.com/opinion/articles/2022-03-17/the-rajapaksa-brothers-power-isn-t-enough-to-stop-sri-lanka-going-broke

Social Sharing
නවතම විශේෂාංග