යුක්‍රේනයට සහය වෙන්නයි බටහිර රටවල් 14ක් ලංකාවෙන් ඉල්ලයි

යුක්‍රේනය වෙනුවෙන් සහය වන්නැයි බටහිර රටවල් 14ක තානාපතිවරු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ති‌බේ.

ඔවුන් අවධාරණය කරන්නේ, රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම පිළිගත නොහැකි බවයි. එමනිසා යුක්‍රේනය මෙන්ම ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සඳහා සහයෝගයට එක්වන ලෙස ඔවුන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී.

මෙම ඒකා බද්ධ ඉල්ලීම සඳහා ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්, කැනඩාවේ මහ කොමසාරිස්, යුරෝපා සංගමයේ නියෝජිත ප්‍රධානී, ප්‍රංශ තානාපති, ජර්මන් තානාපතිවරයා, ඉතාලි තානාපතිවරිය, නෙදර්ලන්ත තානාපතිවරිය, නවසීලන්ත මහ කොමසාරිස්වරයා, නෝර්වේ තානාපතිවරිය, ජපාන තානාපතිවරයා, රුමේනියාවේ තානාපතිවරයා, ස්විට්සර්ලන්ත තානාපතිවරයා අත්සන් තබා ති‌බේ. තව ද එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය සහ අමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිවරිය ද අදාළ ඒකාබද්ධ නිවේදනයට අත්සන් තබා ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකා රජය මීට තවමත් පිළිතුරු ලබා දී නොමැත.

Social Sharing
නවතම