ඇපල් මිදි ගෙන්වීම ගජ මිතුරන්ට පමණයි! – පාඨලී

භාණ්ඩ 367කට ආනයන සීමා පැනවීම හරහා මේ කරන්නට යන්නේ ඇපල් මිදි ආදියේ සිට සියල්ල ගෙන්වීමේ බලය ගජ මිතුරන් පිරිසක් අතට පත් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

‘දැන් කියනවා ලයිසන් එකක් දෙනවා කියලා, කවුද මේකෙන් ප්‍රයෝජනය ගන්නේ ? කාටද මේ ලයිසන් එක දෙන්නේ ? විවෘත වෙළඳපොළ පසුගිය කාලයේ දිගටම ඇහිරුවා. රටේ සීනි පොල් තෙල් ඒකාධිකාරයක් හැදුවා. ටයිල් ඒකාධිකාරයක් හැදුවා. අද තමන්ට හිතවත් ගජ මිතුරු පිරිසක් අතට මේක ලබා දීලා ඇපල් මිදි වල ඉඳන් සියලුම දෑ තමන්ගේ හිත මිතුරන් හරහා කළු කඩෙන් ලබා ගන්න තත්ත්වයට පත් කිරීම තමයි මේ සිදු කරගෙන යන්නේ’ යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පසුගිය පෙබරවාරි 10 දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු ප්‍රකාශ කළේ රාජ්‍ය බැංකු පද්ධතිය කඩාගෙන වැටීමේ අනතුරක බවය. එමෙන්ම විදුලි බලය ගැන කතා කරමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

‘අද මේ ජල විදුලි ක්ෂේත්‍රයේ හිතුමතේ නිලධාරීන් විදුලිය කපන්න එපා කියනවා. නිලධාරීන් හිතුමතේ ජල විදුලිය ගන්නවා. ඊළඟට යල කන්නයේ වතුර නිකුත් කරන්න තියෙනවා. කැළණි ගඟට පානීය ජලය නිකුත් කරන්න තියෙනවා. මේ නිසා මම බොහොම වගකීමෙන් කියනවා. මේ බය කරන්න නෙමෙයි. මේවා හොයාගන්න, තේරුම් ගන්නයි මං මේ කියන්නේ. ජල විදුලිය අද පාලනය කළේ නැත්නම්, මාර්තු මාසේ අවසන් සතිය හා අප්‍රේල් මාසේ මුල සතිය වෙනකොට සම්පූර්ණ විදුලිබල පද්ධතිය අකර්මණ්‍ය වෙනවා. මොකද, ප්‍රධාන බලාගාර දෙකකින්, ඒ කියන්නේ කොත්මලේ බලාගාරයෙන් හා වික්ටෝරියා බලාගාරයෙන් තමයි අද අපට පුළුවන් වෙලා තියෙන්නේ පද්ධති පාලනය කරන්න. මොකද කැළණි ගඟේ තියෙන බලාගාර කාසල්රී මාවුස්සා කැලේ දැන් හිදිලා ඉවරයි. ඒ නිසා අනිවාර්යෙන්ම මේ ජලය අරපිරිමැස්මෙන් යුතුව මැයි මාසේ 14 වෙනිදා දක්වා පාලනය නොකලොත් අනිවාර්යෙන්ම අප්‍රේල් මුල දී විදුලිබල පද්ධතිය අකර්මණ්‍ය වීම වළක්වන්න බැහැ’

Social Sharing
නවතම