අලි චෝදනා ලැබූ තිලිණ ගමගේ නැවත මහේස්ත්‍රාත් පුටුවට

හොරාට කැලයෙන් අල්ලාගෙන විත් තිබූ අලි පැටවෙක් බලපත්‍රයක් නොමැතිව සන්තකයේ තබාගෙන සිටියා යැයි චෝදනා ලැබූ සහ එනිසා දිගු කලක් වැඩ තහනමට ලක්ව සිටි මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නැවත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනතුරට පත්කර ඇත.

ඒ අනුව ඔහු අද (03) එම තනතුරේ වැඩ භාරගැනීමට නියමිත බව වාර්තා වෙයි.

බලපත්‍ර නොමැතිව ‘සකුරා’ නමැති අලි පැටවකු සන්තකයේ තබා ගැනීම තුළින් පොදු දේපල පනත හා වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නඩුපවරා තිබුණ අතර මෙම නඩුව විභාගයට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විත්තිකාර තිලින ගමගේට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව ප්‍රකාශ කරමින් ඔහු නිදොස් කොට නිදහස් කරන්නට නියම කළේය.

එහෙත් සෙසු විත්තිකරුවන් වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ උපාලි පත්මසිරි, එම දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව කටයුතු කළ ලිපිකාරිනිය වන ප්‍රියංකා සංජීවනී සහ අදාළ අලි පැටවාගේ මුල් අයිතිකරු බව කියන චන්ද්‍රරත්න යටවර යන අය නිදහස් නොකිරීමට තීන්දු කළේය.

Social Sharing
නවතම