හත්පෙති මලෙන් අත්හැරුණු පෙත්තක්

| චිරන්තන – සංස්කෘත පද්‍ය සාහිත්‍යය

මිනිසා වටා පවතින්නක්, මිනිසාව නිමවන්නක් සේ ම මිනිසා විසින් නිමවන්නක් බවටත් පත්වෙමින් ඇති සොබාවික පරිසරය සාහිත්‍යය සමඟ මුසුව ගනුදෙනු කිරීමෙන් කලාරසිකයෝ ප්‍රතිනිර්මාණ හැකියා වඩවාගනිති. අපරදිගවාසීන් සොබාදහම වස්තුවක් ලෙස ගත් බවක් පොදුවේ දක්නට ලැබෙන අතර, පෙරදිගවාසීන් මෙය ආත්මීය ව සලකන්නක් සේ පෙනේ. පද්‍ය සාහිත්‍යය වෙත ගියවිට, ජාතක කාව්‍ය, මහා කාව්‍ය, වීර කාව්‍ය, සන්දේශ කාව්‍යවලදී වැනුම්, වන වැනුම්, සෘතු වැනුම්, දිය කෙළි වැනුම් වශයෙන් සෞන්ධර්ය ප්‍රවාහයක්ව කාව්‍ය ඉදිරිපත් කර තිබේ. එක්කෝ ඒවායේ ප්‍රධාන චරිත වෙසෙන, දිනුම ලබන, මගතොටදී හමුවෙන පරිසර පසුබිම ඒ මත ගොඩනැංවේ. නැතහොත් උද්දීපන විභාව(සංස්කෘත නාට්‍ය සිද්ධාන්ත විෂයෙහි හසළ භරතමුණි ලියූ නාට්‍ය ශාස්ත්‍ර කෘතියට අනුව, යම් කලා කෘතියක මිනිස් භාවයක් හෝ සිදුවීමක් උද්දීපනයෙහි ලා පරිසරය නිර්මාණශීලීව භාවිතයට ගැනීම) ලෙස යෙදවේ.

සංස්කෘත ආලංකාරිකයන්ගේ කවිසමයේ සංකල්ප සමඟ මුසු කළ පාරිසරික වර්ණනා මෙරට පද්‍ය සාහිත්‍යයට බලපෑවේය. විශේෂයෙන් කාලිදාසගේ මේඝදූතය (වලාකුළක් අත පණිවිඩය යැවීම) හා සමානව ම වැදගත් සෘතු සංහාරය නම් ඛණ්ඩ කාව්‍යයේ දී සෘතු සයක් මිනිස් සහ සත්ත්ව ජීවිතවලටත් පරිසරයටත් බලපාන ආකාරය, සිදුවන වෙනස්කම් රමණීය වර්ණනාවකට ලක්වේ. වර්ෂා සමයේ දී, වැස්ස රජෙකුට සමකරයි. වැස්ස රජ සිරියෙන් පැමිණෙද්දී කාන්තාවෝ නොඉසිලිමත්ව බලා සිටිති. මොනර රැඟුම්, පියලඳුන් විරහවින් සිටින අන්දම, කොක් පන්තීන් මෙන් වලාකුළ මැදින් විදුලි එළි දිස්වෙන, ගහකොළ සතුන් පණ ගසා සිටින සැටි පණ පොවා කියන සැටි!

මෙවැනි වර්ෂා සමයක්, පොළොන්නරු යුගයේ ලියැවෙන ධර්ම ප්‍රදීපිකාවේ එන සුළු කළිඟුදාවතෙහි ද දැක්වේ.  එනම් රජසැපතෙන් මිදී වනයෙන් හුදකලාව වාසය කරන කළිඟු කුමරුට තනිකම දැනෙන්නට වෙයි. මේ ඔහුගේ හොඳ ම තරුණ අවධියයි. වනයට වැසි වසී. කළිඟු කුමරුට දැනෙන්නේ මේ වැසි මහ ග්‍රීෂ්මයක් ලෙසිනි. ඔහු හෙළන සුසුම් මේඝ මාරුතය මෙනි. කඳුළු වැටෙන්නේ වැසි ඇද හැලෙන්නාක් මෙනි. පරිසරය පුද්ගල භාව පද්ධතියට බලපාන්නා සේ ම, එය අවස්ථාවෝචිත නිශේධනයක් නොඑසේනම් ඊට විරුද්ධ යමක් දැනීමක් ලෙස ද යොදාගැනීමේ හැකියාව(වැස්සෙහි සිහිල වෙනුවට ග්‍රීෂ්මය දැනීම)ට මේ වැනුම් දෙස් දෙයි. පසුකලෙක ලියැවුණු ‘කුස දා කව’ කාව්‍ය සංග්‍රහයේදීත් ‘සිහිල් සොමි තරිඳු රිවි මෙන් දිසේයා – කොවුල් නද ඇසෙයි යක් හඬ ලෙසේයා’ යනුවෙන් මෙය වෙනත් ලෙසකින් ගනී. කෙසේ නමුත්, සංස්කෘත අලංකාර අනුව මෙරට පාඨකයාට ද කියැවීමට ලැබුණු මහාමේරු පර්වත, මදාරා පරසතු මල්, කිරි මුහුද, අහස් ගංගාව ආදිය ඔවුන්ට දූරස්ථ විය. එය ලාංකේය පරිසර පසුබිමක තැබීමට සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය වැනි කතාවස්තුවල උපමා නිමැවූවන්ට හැකිවිය(නියං සමයෙහි අඬන ආසක් මෙන්/ විලිකුන් දෙළුම් කනු කැමති දොලන ස්ත්‍රියක)

| භාෂාවේ ලිංග භේද අනුව

පාරිසරික වස්තූන් සිංහල භාෂාවේ දී අප්‍රාණවාචී ලෙස සලකනු ලබන අතර, කවි සමයේ දී මේවා ‘ඕ’,’හු’ වැනි ගෞරව ප්‍රත්‍ය යෙදීමෙන් (පියුම්හු, වෘක්ෂයෝ) ප්‍රාණවාචී කරගනු ලැබේ. නමුත්, සංස්කෘත භාෂාවේ දී අප්‍රාණවාචී නාම, ස්ත්‍රී සහ පුරුෂ ලිංග වශයෙන් උච්චාරණය අනුව වර්ග වේ. උදාහරණ වශයෙන්, ‘නදී’ යනු (දීර්ඝව ඇදෙන සේ උච්චාරණය වන) ස්ත්‍රී ලිංග ශබ්දයක් වශයෙන් ද, ‘වෘක්ෂ˸’ යනු පුරුෂ ලිංග ශබ්දයක් ලෙස සැලකේ.  හින්දි භාෂාවේ දී ඇතැම් වදන් සඳහා මෙය සිදුවන නමුත් සියල්ල එසේ නොවේ. ජලය සඳහා යොදන ‘පානී’ යන්න පුරුෂ ලිංග ශබ්දයක් ලෙස සැලකෙන නමුත් ‘ගංගා’ ස්ත්‍රී ලිංග ශබ්දයක්ව සලකයි.

| චීන – ජපන් කාව්‍ය

සංස්කෘත ආලංකාරිකයන් මෙන් ඕජෝ ගුණ බහුල බසක් වෙත චීන හෝ ජපන් කවියෝ නැඹුරු නොවූහ. ඔවුන්ගේ කවිගුණය සැකසී ඇත්තේ, ඔවුන් අනුදන්නා චින්තන විධිය නොඑසේ නම්, කොන්ෆියුසියස් සහ තාඕ දහම අනුව යමිනි. එකවි සරල, සංක්ෂිපත සාර ගුලාවක් මෙනි. සෙන් කතා හෝ හයිකු කවි හෝ දාර්ශනික අරුත් දනවන කුඩා වදන් සමුදායක් ලෙස දිස්වන්නේ එබැවිනි. ‘පෙරදිග මිනිසුන්ගේ චින්තන විධි’ යනුවෙන් හජිමි නකමුරේ විසින් ලියන ලද, මහාචාර්ය පී.බී. මීගස්කුඹුර පරිවර්තන කළ කෘතියේ මීට අඩුවැඩිය සපයන ජපානය, චීනය, තිබ්බතය හා භාරතය යන රටවල මිනිසුන්ගේ චින්තන විධි, හැසිරීම් රටා, ආචාර පද්ධති, සංස්කෘතිය හා මුසු කළ ප්‍රාමාණික විවරණයක් දැක්වේ.

චීන කවියකින් මෙය විමසා බලමු.

‘කුරුමිණියා වගේ

කොරහක වැටිලා

හැමදාමත් අපි

කැරකෙනවා කැරකෙනවා

එළියට යනු බැරිව’ (යැංසි කාව්‍ය නදී – පරාක්‍රම කොඩිතුවක්කු)

චීන ගැමි දිවිය හා බැඳි බට පඳුරු, කොරහ, බත්කූරන්, කෙහෙල් බඩ, කුරුමිණි ආදි සොබා වස්තූන් ඇසුරින් ජීවිතය කැටිකර දක්වන දාර්ශනික එළඹුමකට කවියා යයි. මහගමසේකර ‘සක්වාලිහිණි’ කාව්‍ය සංග්‍රහයේදී මෙය ම කරයි. ඒ මෙලෙසිනි.

‘අම්බරුවෝ අපි කමතේ

කැරකි කැරකි යනවා

කවුද කෙනෙක් කෙවිට අරන්

අපි පස්සෙන් එනවා’

| ගම සිහිවීම

පරිසරය කිවූ විට ගම මතක් වීම අතීත කාමයට වැටේ. අතීතය වෙත නැවත යා නොහැකි නිසා වර්තමානයේ දී එය සාධාරණීකරණයට යාම අතීතකාමයට හේතුව යැයි ප්‍රකට දාර්ශනිකයෙකු වන ස්ලැවොයි ජිජැක් පවසයි. කෙසේ හෝ මෙලෙසින් ගම යනුවෙන් අප වෙත පවරා ඇති දැක්ම, සැබෑවක් නොවේ. ගැමිලියන් වෙලට බසින, සුපිරිසිදු සුදු චරිත වෙසෙන්නේ ගමේ යැයි ද, ගම සුන්දරය නගරය දුෂ්කර යැයිද පොවා සහ නඩත්තු කර ඇති මතය සැබෑවක් නොවේ. පොදු මිනිස් ස්වභාවයන්, මරාගැනීම්, රණ්ඩුකිරීම්, සංස්කෘතිය බිඳලා නව මත හිස එසවීම් ගමටත් පොදුය. උත්කර්ෂයට නැංවූ ගම කාර්මීකරණයත් සමඟ එතැන ම තිබෙන්නේ නොවේ. ගමේ පිරිස නගර කරා පැමිණෙන අතර යළි ගමට යන්නේ පෙර මිනිසා ම නොවේ(එකම ගඟකට බැසිය නොහැකිය දෙවරක්). ගම් නියම්ගම්වලට විතැන් වූ බලය නගර, මහානගර කරා ඇදී එන්නට ගනී. කම්හල් වැඩහල් හෝටල් ඉදිවේ. මේවායේ සේවය කරන පිරිස වැඩිවේ. ඒ හා සමානව ම දූෂණය, හිංසා ද පැතිර යයි. නගරයට ගිය මිනිසාට එතැන් පටන් ගම ආශා වස්තුවක් වෙයි. නගරයේ ඇති ගොඩනැගිලි වනන්තර, වගකීම්වලින් මිදී ගමට යාමට සිතේ. එබැවිනි සේකර කියනුයේ, ‘අම්මේ මට ගමට එන්න පාර කියාපන්නේ’. නමුත් ගමට ගියවිට ඔහු දකින්නේ පෙර ගම දුටු ඇසින් නොවේ. එබැවින් සේකර ම, ‘ගම සංකර ගැහැණියක්ය’ කියයි.

නගරයේ වැඩ කරමින් සිටියදී දකින දේදුන්නක් ගැන ගුණදාස අමරසේකර ‘නගරයේ පෑයූ දේදුන්න’ මැයෙන් ‘භාව ගීත’ කෘතියට ගනී. කාර්යබහුල ජීවිතය මදකට නවතා අහසේ පෑවූ දේදුන්න දකින්නැයි කවියා ඉල්ලා සිටී.

‘පා හඬවල් හූ හඬවල් තදවෙන ලොරි අස්සේ

දේදුන්නක් පායා ඇත වැහිබර නිල් අහසේ’

පරාක්‍රම කොඩිතුවක්කුට දේදුන්න පෙනෙන්නේ පාලමට උඩිනි. ‘දේදුන්න පායාවී හෙටත් පාලම උඩින් – ඔබ නැතත් මම එතන පාට හත ගනින්නම්’

| වෙනත්

චිත්‍ර කලා ඉතිහාසය වෙත පැමිණෙතොත්, ඇල්ටමිරා ලැස්කෝ ගුහාවල ගෝනුන්, තුවාල ලත් බයිසන් ගවයින්, හරක් රැළ, ඌරන් වැනි සතුන්ව සිතුවම නැගූ ආදි මානව තොරතුරු හමුවී තිබේ. සොබාදහම ම ආරක්ෂණය, ජීවනෝපාය මාර්ගය, නිවහන කරගත් ආදි මානවයන්ගේ මේ සිතුවම්වල ඇති වර්ණ රේඛා භාවිතය, තාත්වික බව ආදියෙන් ඔවුන් පරිසරය දුටු අයුරු, දැනුනු හැඟුණු දෑ විවරණය වෙයි. වර්ෂාවත් පරිසරයත් විවිධ චිත්‍ර ශිල්පීන් මුල් අවධිවලදී ස්වාභාවික ලෙස ඇඳ තිබෙන අතර, පසුව අධිතාත්විකවාදීව, විකාරරූපීව ආදි නොයෙක් ක්‍රමවලට අනුගතව චිත්‍රණය කර තිබෙනු හමුවේ. කටුක පරිසරයේ දියවෙවී වැගිරුණු ඔරලෝසු මුහුණත් ඇති ඩාලි ඇඳි සිත්තම, තිරිඟු යායකට වැසි වසින ආකාරය ඩ්‍රෝන කැමරාවකින් ගත් ඡායාරූපයක් සේ තාත්විකව සිත්තම් කළ වැන්ගෝ සිහිවේ.

ග්‍රීක නාට්‍යවලදී පරිසරයේ මෙන් ම මනුෂ්‍ය ජීවිතවල සශ්‍රීකත්වයට අධිපති ඩියෝනිසස් දෙවියා මිදි හටගන්නා කාලයේ දී පුදනු ලබයි. ශෝකාත්ම නාට්‍ය රචකයෙකු වූ සොෆොක්ලීස් මෙන් ම කොමඩි නාට්‍ය රචක ඇරිස්ටොෆනීස් ද මේ දෙවියන් වෙනුවෙන් පැවැත්වූ නාට්‍ය උලෙළවල්හිදී සම්මාන දිනා ඇතැයි දැනගන්නට ලැබේ. ඇරිස්ටොෆනීස්ගේ නාට්‍යවලදී බොහෝවිට ගායන වෘන්දයට ඉන්නේ මිනිසුන් නොව, අදාළ නාට්‍යෙය් නමට ඔබින පාරිසරික වස්තූන්ය. මැඬියෝ නාට්‍යයේ මැඬියෝය. මේ කීවේ ග්‍රීසියෙන් බිඳක් පමණි.

නූතනයට පැමිණෙන විට, සොබාදහම සම්බන්ධයෙන් නව මත ඇතිවෙමින් පවතී. පාරිසරික විචාරය යනුවෙන් විචාර ක්‍රම පැමිණ තිබේ. ස්ලැවෝයි ජිජැක් O earth ! Pale mother නම් ලිපියේ දී මේ සම්බන්ධයෙන් විවාදාපන්න මතයක් ගෙනෙයි. එනම්,‍ පරිසරය මාතාවක් නොවන බවයි. සානුකම්පිත වස්තුවක් ලෙසින් සැලකිය නොයුතු බවයි. එනම් මිනිසා වෙනමත් ස්වාභාවික පරිසරය වෙනමත් ඇතිවා මිස,  මිනිසා පරිසරයට ණය ඇතිවාක් ලෙසින් දිවිගෙවීමක් අවශ්‍ය නොවන බවයි. ජිජැක්ගේ ප්‍රකාශය, පරිසරය ආධ්‍යාත්මිකව ගන්නා පෙරදිගවාසීන්ට රුචි නොවනවා වන්නට පුලුවන.

| හත්පෙති මල කියැවීම

හත්පෙති මලෙන් අත්හැරුණු පෙත්තක්

චිරන්තන කවි බස නිතර නිතර කියැවීමෙන් වඩවා ගත් බසක් සහ එ් හා යහමින් මුසු කර, මෘදු කරවා ගත් බසක් සහිත ප්‍රගීතිකා ජයසේකරගේ කාව්‍ය සංග්‍රහයේ, සොබාදහම මතුවන සැටි මෙතැන් සිට කෙටි විමසුමකට ලක්වේ. පොදුවේ සලකාබැලූ කල ඇය කවියෙන් ගැටුමකට හෝ දොස් කීමකට හෝ විලාප නැගීමකට නොයයි. අත්දැකීම් උපේක්ෂාවෙන් බාරගන්නා සේ ම, නිතර ම අතීතයට යමින් කුඩා දැරිවියක වී ප්‍රීති වන මනෝ ලෝකයක වෙසෙයි. සමස්ත කාව්‍ය සංග්‍රහයෙන් විවිධ ආකාර වැසි ගැන ලියූ කවි හමුවේ. මහ වැසි, පොකුරු වැසි, අනෝරා වැසි, මද වැසි, මල් වැසි, නොකල් වැසි ආදියයි. මේ අතරින් පැදි කිහිපයක් කෙරේ අවධානය යොමවමු.

‘වස්සාන සංවේදනා’  කාව්‍ය පන්තිය, කුඩා දැරියකගේ සිට මවක වන කාලය දක්වා ජීවිතේ විවිධ වර්ෂා සමයන්හි දී කිවිඳිය මුහුණ දුන් අත්දැකීම් සමඟ කෙරෙන අතීතාවර්ජනයක්ව දිස්වේ.  කමලාදාස් ‘වැස්ස’ ගැන කියන කවියේ (සිපුම් සීරුම් කෙනිත්තුම්, පරි, ලක්ෂාන්ත අතුකෝරල) අලුත් නිවසේ සිටියදීත් පරණ නිවස පෙඟෙමින් පෙනෙන ලෙසින්, දැන් වැහි දිය ගලායන ජනේලයක් ඇති රථයේ සිටින කිවිඳියට අතීතයේ වැසි සිහිවේ. මහ වැස්සේ මව සමඟ කුඩය යට සිටින දැරියට ඇය අඬනවා පෙනෙයි. ‘නෑ, ඒ කඳුළු නෙමේ වැස්සයි’ මව කියයි. වැසි කුඩය ඇතුළෙන් වැටෙන්න කුඩයේ සිදුරක් ඇද්දැයි දැරිය සොයයි. කඳුළු සමඟ වැස්ස සම්බන්ධ කරන මෙවැනි අවස්ථා සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ ද එයි. සද්ධර්මරත්නාවලියේ පටාචාරා වහන්දෑගේ වස්තුවේ සිටු දුවණිය දෙමව්පියන් බැලීමට යන අතරතුරදී අකල් වැස්සක් වැටෙයි. එක් කැලෑ හස්සකට වැදෙන ඇයට ප්‍රසූත වේදනාව දැනෙන්නට ගනී.  වැසි වැටෙන්නා සේ ඇය හඬන්නට වෙයි. ප්‍රසූත වේදනාව විදුලිය ගසන්නා සේ දරුණු වෙයි.  අහස ගුගුරන්නාක් මෙන් ඇගේ විලාපය බලවත් වෙයි. මෙලෙසින් වැස්ස සමඟ ප්‍රසූත වේදනාව මිශ්‍ර කරන්නේ ධර්මසේන හිමියෝයි. අප පෙර කිවූ සුළු කළිඟුදාවතෙහි කළිඟු කුමාරයාගේ හැඬුමත් වනයට වසින වැස්සට සමකරන තැනක් වෙයි. ඒ මෙසේය.

‘වැසිදහරා හා සමඟ කඳුළු දහරා වැහිණි’

අර කී දැරිය යොවුන් වියට එත් ම, අම්මාගේ කුඩය ඇය අතට ලැබේ. දැන් වසින්නේ මල් වැසිය. සොඳුරු වැසිය. මේ වැසිවලට මවට මෙන් ඇයට අඬන්නට වන්නේ නැත. ඉන් ඉක්බිති, ඇය ප්‍රේමය සොයා යන වැස්සකට හසුවේ. ආදර වැස්සට තෙමෙනු වස් ඇය කුඩය ඉවත ලයි. එතැන් පටන් ජීවිතය ගංගාවක් වෙයි. මෙය කදිම රූපකමය නිරූපණයකි.

‘ආදරේ වැසි ඉසව්

මග හැර සිටිය යුගයක

පොද වැසි සැඳෑවක

බිමට බර වූ නෙතින් ඔබ

බස් නැවතුමේ කෙළවර

සෙනෙහෙ වරුසාවට

ඉවත ලූයෙමි කුඩය

එයින් මතු

ගඟක් විය ජීවිතය’ (35 පිටුව)

රත්න ශ්‍රී විජේසිංහ ලියූ ‘වස්සානය’ කවිපෙළ වඩාලා ම 90 දශකයේ බොහෝ සහෘදයන්ව රෝමාන්තික පසුතලයක තබා උද්දීපන විභාවෙන් හනා වනා ඔපමට්ටම් කළ, එක ම තේමාගීතයක් තරම් ජීවිතයට ප්‍රතිබද්ධ විය. ඇය තෙමෙන්නේ එම වස්සානයටය.

‘සිහින බිඳින අරුණෝදය’ කව් පෙළෙහි ඇත්තේ, පැන් ඉසින අහසකි. උදෑසන අසිරිය බලමින් ඉන්නට අවස්ථාවක් නොලැබෙන, රාජකාරි කටයුතුවලට යාමට සිදුවන මවකට ජනෙල් පියන් හැරියාම එන වැසි ජලය, පැන් ඉසින්නාක් මෙන් දැනෙන්නට වෙයි. මද වෙලාවකින් ‘සිරිමිරි වැහි පබළු කැට’ වැටෙන්නට ගනී. මේ වැහි ගැන කියන බස අපට සිහිකරන්නේ, ගුණදාස අමරසේකරගේ ‘චිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇදහැලෙන’ යනුවෙන් ආරම්භ වන නගරයට වැසි වැටුණු සැටි කියන කාව්‍ය පන්තියත්,  ‘පොළොව ලොවිනවා වැහිපොද දිව දික්කරලා හනිකට’ යනුවෙන් කියැවෙන ගමට වැහි වැටෙනසැටි කියන ‘වක්කඩ බඳිමු’ කව්පෙළත්ය.  තරංග ලක්නාත් ලියූ වැසි කවියක බස, ප්‍රගීතිකාගේ සිරිමිරි වැසි පබළු සමඟ සමපාත වන ලකුණු පෙනේ. මේ එම කවියයි.

‘චිරිචිරි වැස්සක්

ඇගිලි රුදාවක්

මහගෙයි පිළිකන්නේ

දිය බරි දිය බරි

වැහි බට්ටිච්චෙක්

මුරිච්චියක් වාගේ

සිරි බිරි ගාගෙන

ජබ ජබ ගාගෙන

හොරෙන්ම ගෙට එන්නේ’

ඇඟිලි කරු අතරින් මඩ තෙරපෙමින් ඉලිප්පෙන, තෙතබර හැඟීමක් වඩවන අතර ම දඟකාර හුරුබුහුටි බවක් ද පෙන්වන මේ වැස්ස, අව්‍යාජ සිතිවිල්ලක් කවියක් බවට පත්කිරීමකි. හෙන්රි වර්ඩ්ස්වර්ත්ගේ වැස්ස ගැන කියැවෙන කවිය (ලක්ෂාන්ත අතුකෝරල පරිවර්තනය කළ) ‘දවස සීතලෙන් ගහනයි මලානිකයි අඳුරුයි – වැස්ස වැටෙයි සුළඟට කිසි මහන්සියක් නොදැනෙයි…’ කම්මැලිසහගත හැඟීමකින් සයනයේ සිටිමින් එළිය බලන තැනැත්තෙකුගේ ලකුණු අපට පෙන්වයි. බරීස් පස්තර්නාක් ලියූ රුසියානු කවියක් වන,

‘හිම වසී හිම වසී

හිම රොදේ තුහින තරු ඇස ගැසී…’

‘කුඩේ මෙන් විහිදුවා තිත් ගවුම

පොළොවටම බහිනවා වැනි අහස’

(ගිම්හානේ යන්න ගිහින් – පරි, සුනිල් විජේසිරිවර්ධන)

ජීව ගුණයෙන් පොහොසත් හිම වැස්සක් මවාලයි. ප්‍රගීතිකාගේ කව් බස ද ජීව ගුණය රඳාපවතින දිය සීරාවක් වැන්න. ‘පහන් ලෙන’ මැයැති කවිය, ගස්වැල් හා මිනිස් චරිත බද්ධ කරන කවක් ලෙස අපට හැඟෙයි.

‘නහර පෑදුණු අත්වල

මතකයක් පාරා

ඉස්සි ඉස්සී අත්වනත්

නෙරළු තුරු උස ම උස’ (52 පිටුව)

කිවිඳිය ගමේ මහගෙදර ගොස් යළි නගරයට එන්නට රථයට නගී. පිටුපස සිට මවත් පියාත් දෑත් වනමින් ඇයට සමුදෙති. මව්පියන්ව සමකරන්නේ කුමකටද? නහර පෑදුණු දෑත්වලින්, ඉස්සි ඉස්සී අතවනන නෙරළු තුරුවලටය. චිත්ත රූප මවයි. මව්පියනගේ උස් බවත් පසුගමන් යාමේ ගුණයත් දයාර්ද බවත් සියල්ල මෙහි වෙයි. මෙහි ම තව තැනක් මේඝදූතය සිහිකරවයි. ඒ, මෙසේය.

‘සුවඳක් ඇඹුල් තියලක

මුසුවෙයි වලාකුළකට’

ඇය රසවිඳි ඇඹුල් තියලේ සුවඳ යළි නගරයට අරන් යා යුතු මතකයකි. ඇය ඒ සුවඳ ගමේ වලාකුළකට පවරයි. වලාකුළ ඇය සමඟ නගරයට එනතාක් කලක් ඒ සුවඳ රඳවාගනිමින් පැමිණේ. පරිකල්පනය රසවති! ‘අපරිමිත නැවතුම’ කව් පන්තියේ තුරු සමුදාය ද පණ ඇති දෑ බවට පෙරළෙයි. ජීවිතයේ මංගල අවස්ථාවක් වෙත පියනගන මාර්ගය දෙපස ඇති ගන සා මඬුලු තම ශාඛාවල ඇති පැරණි කොළ ඉවතලන්නට හොඳින් අතු ගසා දමා නව දලුවලින් පුරවාගනී. එපමණක් නොව, අතු ලෙලවමින් ගී ගයයි. මෙය කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳියගේ ”ඔබ නම් වන සරත් සෘතුව හෙවත් පුදුමය’ කවියේ එන උරහිස් ගස්සා පත්හෙළන සරත් සෘතුවට නතු වූ ගස් සිහිකරවයි.

‘උඳුපියලිය මලක් ගෙන එන්න’ කව්පෙළෙහි දී, ප්‍රගීතිකා සිය සිතැඟි නොහංගා හෙළිකරයි. ඇයට රතු රෝස මල් ගෙනෙන පෙම්වතාට ඇය කියන්නේ, උඳුපියලිය මලක් ගෙනෙන ලෙසය. ඒ ඇයි? රෝස මල් දුටුවාම ඇයට ලේ සිහිවන බැවිනි. කිවිඳිය සිටින්නේ, දශක ගණනක් ලේ වැකුණු තවමත් අවසනක් නැති භූමියකය. ඇයට එසේ සිතීම පුදුමයක් නොවෙයි. එබැවින්,  ගුණදාස අමරසේකර කී ලෙස, ‘ඔබේ රතු මල් එක්ක දිග ගවුම හැඳ එන්න’ යි කීමටවත් පෙම්වතාට කට දිව නොනැමේ. ප්‍රකට දෙමළ කිවිවර ජෙයපාලන් ලියූ ‘ගමක කතාවක්’හි ගමේ පොකුණුවල සිහිල විඳින්නට ගිය සිය මාමාව කුල ගැටලුවලින් මරා දැමූ තතු කියැවෙන කවිය සමඟ තත් භූමියේ ම සිටිමින් ප්‍රගීතිකාගේ කවිය අත්වැල් බැඳගනු පෙනේ.

‘මතක කාටු’, ‘මතක චෂකය’,’මතක අලි ඇත්තු’ මේ කවි සරණියේ තැන තැන හමුවේ. සිරි ගුණසිංහගේ ‘සැමරුම් වග වලසුන් රෑන’ සිහිවෙයි. ස්මරණ වෙත පියමනින ‘මගේ සුරංගනා කතාව’ නම් නිර්මාණයේ ඇට්ටෝනියා ගස යට සිටි දොඩමලු කුඩා දැරිය අරුන්දතී රෝයිගේ ‘Ministry of utmost happiness’ නවකතාවේ සොහොනේ විශාල ගසක් යට සිටින දැරියව සිහිකරවයි.

මේ සියල්ල අතර නූතන වැස්ස කෙබඳුද? තක්ශිලා ස්වර්ණමාලි, ‘ගැලූ ලේ ලූ විලවුන් බහාලුම’ නම් සංයුක්ත කවි සරණියෙහි දක්වයි. එහි වැස්සක වහින පොද ලෙසින්, වචන වැටෙන රූප දිස්වේ. මෙදා වැස්සට වැටෙන්නේ, පක්ෂ, බිල්, ටික්ටොක්, ඩිප්ලෝමා, යූටියුබ්, රස්සා වැනි වැහි පොදය.

‘හත්පෙති මලෙන් අත් හැරුණු පෙත්තක්’  කවි සරණියේ ඇතැම් කවි කිහිපයක දී භාෂා හරඹයට මුල් තැන දුන් බැවින්, කවියේ අදහස නොහැඟෙන තැන් ද හමුවේ. අදහස් මාලාවක් නිරූපණය කරන සෙයක් ද දිස්වන කවි ඇත. එය කිවිඳියට අනන්‍ය කව් මගය. නමුත්, සූක්ෂමව බසෙහි හැරවුම් දන්නා, ඉවසිලිවන්තව කවි ගොතන කිවිඳියක බොහෝකවිවලින් දැකගත හැකිවේ. සමස්තයක් ලෙස බැලූවිට සොබාදහම සහ වස්සානය ප්‍රගීතිකා ජයසේකරගේ කාව්‍ය සංග්‍රහයෙන් යළි පණ ලබන බව කිවයුතුය.

| ඩිල්ශානි චතුරිකා දාබරේ

Social Sharing
නවතම විශේෂාංග