මාධ්‍යවේදී නිමලරාජන්ට එංගලන්තයේදීවත් යුක්තිය හිමිද?

BBC මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් යාපනයේදී මීට වසර 22කට ඉහත ඝාතනය කිරීම හා සම්බන්ධයෙන් නම් නොකරන ලද 48 හැවිරිදි ශ්‍රී ලාංකික සැකකරුවකු අත් අඩංගුවට ගන්නා ලද බව පසුගිය සතියේ  බ්‍රිතාන්‍ය පොලිසියේ යුද අපරාධ ඒකකය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.

අත්අඩංගුවට ගන්නා ලද්දේ නිමලරාජන් ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන ‘නැපෝලියන්’ නමින් ප්‍රකට සෙබස්තියන්පිල්ලේ රමේෂ් බව ලාංකික හා ඩයස්පෝරා මාධ්‍ය ආයතන ගණනාවක්ම වාර්තා කර තිබුනත් බ්‍රිතාන්‍ය පොලිස් බලධාරීන් ඒ බව තහවුරු කළ බවක් දැනගන්නට නැත.

අදාළ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුණේ එක්සත් රාජධානියේ, 2001 ජාත්‍යන්තර අපරාධ අධිකරණ පනතෙහි 51 වැනි වගන්ති  ප්‍රකාරව ය. මෙකී ප්‍රතිපාදන මගින් ලොව කොතැනක හෝ සිදු වූ යුද අපරාධ, මානව වර්ගයාට එරෙහි අපරාධ හා වර්ග සංහාරයන් සම්බන්ධයෙන් අධිචෝදනා ගොණු කිරීමට සර්වභෞමික අධිකරණ බලය යටතේ එක්සත් රාජධානියට අනුමැතිය සපයයි.

‘අත්අඩංගුවට ගැනීමට මගපාදන ලද ප්‍රගාමී පරීක්‍ෂණය විසින් පෙන්නුම් කරන්නේ විසි දෙවසරකට පසුව පවා යුක්තිය සහ වගඋත්තරදායකත්වය කෙරෙහි මෙට්‍රපොලිටන් පොලිසියේ ඇති කැපවීමයි. මාධ්‍යවේදීන් ඝාතනය කළ අය ලොව කොතැනක සිටියත් ආරක්ෂිත නැත. බීබීසී මාධ්‍යවේදියකුගේ ඝාතකයෙක් යැයි සැක කරන අයෙක් එක්සත් රාජධානියේ සැඟවී සිටීම පිළිකුල් සහගතයි’ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ පිළිබඳ විමර්ශනයෙහි නිරත ‘සත්‍යය සහ යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපෘතියේ’ යස්මින් සූකා ප්‍රකාශ කළාය.

BBC සිංහල සේවයේ යාපනය වාර්තාකරු වශයෙන් ක්‍රියාකළ නිමලරාජන්, ඇඳිරී නීතිය බලපවත්නා මොහොතක හමුදා සෝදිසි මුරපොළ තුනකට මැදිව පිහිටා තිබූ සිය නිවසේ බීබීසී ගුවන් විදුලි සේවයට සවන් දෙමින් සිටියදී ඝාතනය කරනු ලැබුණි. ප්‍රහාරයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයෝද තුවාල ලැබූහ. ජනාවාසික ප්‍රදේශයක වෙඩි තබමින් අත් බෝම්බ පුපරුවා හළ ප්‍රහාරකයන් අල්ලා ගනු නොලැබුණ නමුත් ඊට අසමත් වූ හමුදා සෝදිසි මුරපොළවල් හරහා ප්‍රත්‍යන්ත රෝහලට ඔහුගේ සිරුර හා තුවාල ලැබූවන් ගෙනයාම සඳහා ලන්තෑරුමක් වනමින් ගමන් කිරීමට පවුලේ සාමාජිකයන්ට පැයක කාලයක් ගතවිය.

සැකකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ ගොනුකර තිබූ නඩුකරයක් 2021 මැයි මාසයේදී සැකකරුවන් නිදහස් කරමින් ඉවතලන ලද නමුත් දෙදෙනෙකු විදේශගතව සිටින බවට වාර්තා විය. ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කිසිකලෙක ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන ලද්දේ ද යන්න පැහැදිලි නැත.

වධහිංසා පැමිණවීම සහ ප්‍රාණ ඇපයට ගැනීම පිළිබඳ චෝදනා මත ඇෆ්ඝන් යුද අධිපතියකු වූ ෆර්යාඩි සර්ඩාඩ් වරදකරු කරමින් සර්ව භෞමික අධිකරණ බලය යටතේ එක්සත් රාජධානිය විසින් අවසන් වරට සාර්ථකව අභිචෝදනා ගොණු කරන ලද්දේ 2005දී ය. එතැන් සිට 2016දී නේපාල කර්නල්වරයකු වූ කුමාර් ලාමා සහ 2019 දී ලයිබීරියානු ජනාධිපති චාර්ල්ස් ටේලර්ගේ කලින් බිරිඳව සිටි ඇග්නස් රීව්ස් ටේලර් යන දෙදෙනාට එරෙහිව ගොණුකරන ලද අභිචෝදනා අසාර්ථක විය. නිමලරාජන් පිළිබඳ නඩු විභාගය, යුද අපරාධ සහ වෙනත් ජාත්‍යන්තර අපරාධ සිදුකළවුන් වගඋත්තරදායක කිරීමට එක්සත් රාජධානියේ අධිකරණ ක්‍රමය සමත්වේද යන්න පිළිබඳ පරීක්ෂාවක් වනු ඇත.

Social Sharing
නවතම