රුසියාවට පස්ස හැරවීම සහ යුක්‍රේනය භාර ගැනීම..!

විදුලිය කැපීම හින්ද සැරින් සැරේ කළුවරේ ඉන්න සිදුවීමත්.. ගෑස් හා පෙට්‍රල් ඩීසල් පෝලිම් මැද දවස ගෙවන්න වීමත් එක්ක ලංකාවෙ මිනිස්සු හෙම්බත් වෙලා. මාසෙ පඩියෙන් දවසෙ තුන්වේල අමාරුවෙන් පිරිමහ ගත්තු මිනිස්සු අද කන්නෙ දෙවේලයි. නැත්තං එක වේලයි. ඒ අස්සෙ යුරෝපයේ යුද්ධෙ ගැන කියල තවත් පීඩනයක් එකතු කරන්න ඕනෙද කියල කීප සැරයක්ම හිතුව. නමුත් ඇත්ත හා දැනුම. බඩගින්නෙ ඉඳල උනත් ලැබිය යුතුයි කියල හිතුන නිසා ලියනව.

අද උදේ ජිනීවා එක්සත් ජාතීන්ගේ රැස්වීම් ශාලාවේ මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරයක් පැවැත්වුනා. මාතෘකා ගොඩාක් මැද්දෙ රුසියානු යුධ ආක්‍රමණය ගැනයි වැඩියෙන් කතා කරේ. මේ අතරෙදියි රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලාව්‍ රොව්( Sergei Lavrov ) වීඩියෝ දුරකතන සම්භන්ධතා හරහා සමුළුව අමතන්න නියමිතව තිබුනෙ. දේශනය පටන් ගන්නවත් එක්කම, ලෝකය පුරාම විවිධ රටවල් නියෝජනය කරන නියෝජිතයන් එකින් එක්කෙනා හෙමිහිට නැගිට්ටා, පිටි පස්ස හැරෙව්ව, ශාලාවෙන් නිහඬවම පිටවුනා. ඉතුරු වුණේ රුසියානු, බෙලරුසියානු, සිරියානු, ඉරාක වගේ නියෝජිතයන් කීප දෙනෙක් විතරයි. කොටින්ම කිව්වොත් මුළු ශාලාවම හිස් වුණා. මේ තමයි මුළු ලෝකයම දිනන්න හිතපු රුසියාවට ලෝකය උගන්නපු පාඩම. කෙනෙකුට මේ සිදුවීම් විහිළුක් වගේ පෙනුනත් මේ පණිවිඩ‍ය ඉතාම බරපතලයි. මේ තමයි ජාත්‍යන්තරයේ දී රුසියාව හුදකලා වීම.

මේ සිද්ධියට හේතු වෙන්නෙ යුද්ධය නවත්තල සාකච්ඡාවලට එන්න කියන සියළුම යෝජනා පුටින් මහත්තයා ප්‍රතිශේප කිරීමයි. මේ අතරෙ නිළ නොවන මට්ටමෙන් වාර්ථා වෙනව එක්සත් ජාතීන්ගේ සංගමයේ ආරක්ශක කවුන්සිලයේ රුසියාවේ නිශේධ බලතල ඉවත් කරන්න සූදානම් වෙන බවට.

මේ බලතල හිමි නිත්‍ය සාමාජිකයන් පස්දෙනා තමයි චීනය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය හා රුසියාව. රුසියාව මේ කණ්ඩායමෙන් ඉවත් කිරීම ලෝක සාමයට ඉතාම තදින් බලපානව. චීනය හා රුසියාව එක කණ්ඩායමකත් බ්‍රිතාන්‍ය ප්‍රංශය හා ඇමරිකා එක්සත් ජනපදය අනිත් කන්ඩායමේත් සිටීම තමා බැලූ බැල්මට මේ ලෝක බලතුලනය.( චීනය සුපිරි බලවතා බව මොහොතකට අමතක කරමු)

තවත් රැස්වීමක් පැවැත්වුනා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර යුරෝපා පාර්ලිමේන්තුවේ. යුක්‍රේන ජනාධිපතිවරයා සමුළුව ඇමතුවා කියෙව් නුවර ඉඳල.

යුරෝපා රටවල් නියෝජනය කරන හැම නි‍යෝජිතයෙක්ම තමන්ගෙ පුටුවලින් නැගිටල අත්පුඩි ගහන්න පටන් ගත්ත. සමහරුන්ගෙ ඇස්වල කඳුළු දිලිසුන බව රූපවාහිනී තිරයේ පැහැදිලිව පෙවුනා. “දවසක උඹගේ රට යුරෝපයේ දකින්න අපි කැමතියි” සමහරෙක් කෑගහනව ඇහුන. “අපි උඹට ආදරෙයි.. ” තව කෙනෙක් කෑ ගැහුව. ලංකාවෙ කොටසකට සෙලෙන්ස්කි ජනාධිපතිවරයා කවටයෙක් හෝ බටහිර රූකඩයක් ලෙස පෙනුනත් ලෝකයේ රටවල් එකසිය පනහකට අධික සංඛ්‍යාවකට ඔහු වීරයෙක්.

මේ තරුණ නායකයාට වයස අවුරුදු 44යි.  එයාව විහිළුවක් වෙන්නෙ අවුරුදු හැත්තෑව අසූව පැනපු මහළු නායකයන් ඉන්න රටවලට විතරද.?

මොන චෝදනා තිබුනත් ඒ මනුස්සයා තමන්ගෙ මිනිස්සුත් එක්ක එකට යුද්ධ කරනව. රට හෝ තමන්ගෙ මිනිස්සු දාල වෙන රටකට පැනල යන්නෙ  නෑ.

තමන්ගෙ රට ආක්‍රමණයකින් බේර ගන්න සටන් කිරීම හැර සෙලෙන්ස්කිට වෙන විසඳුමක් තිබුනෙ නෑ. මේ නායකයා වගේම එයාගෙ රටේ ජනතාවට අවශ්‍ය වුණේ යුරෝපයට එකතු වෙලා නිදහස් ජීවිතයකට හිමිකම් කියන්න. ඒ සඳහා යුරෝපා සංගමයේ සහය පැතීමත්, ඇමරිකා එක්සත් ජනපදය සමග සම්බන්ධතා පැවැත්වීමත් තමයි රුසියානු බලවතාගේ කෝපයට හේතු වෙන්නෙ.

“තමන්ගෙ මිනිහගෙන් දික් කසාද වෙලා අවුරුදු ගානක් ගියාට පස්සෙ ඒ ගෑනි වෙන වෙන මිනිහෙක් එක්ක විවාහ වෙන්න යද්දි  දික්කසාද වෙච්ච මනුස්සයාට මේ තරම් රිදෙන්නෙ මොකද.. ” මෙහෙම ඇහුවෙ මගේ මිත්‍රයෙක්. මේ දවස් වල ජීවිතේ ජිනීවා නගරයේ නිසා මේ ගැන ලිවීම යුතුකමක් කියල හිතුන.

Malcolm Sang

Social Sharing
නවතම