කබ්‍රාල් සහ බැසිල් කඹ ඇදිල්ලක, තෙල් විදුලිය කෑම ඖෂධ නෑ

වර්තමාන ආර්ථික අර්බුදය මේවනවිට පිළිකාවක් සේ හැම ක්ෂේත්‍රයක්ම ආක්‍රමනය කර ඇත. අද වනවිට තාප බලාගාර තෙල් නැතිව ක්‍රියාත්මක නොවීම නිසා විදුලිය සිඳලීම පැය 7 1/2ක් දක්වා වැඩිවී ඇත. මෙම තත්ත්වය ඉදිරියේදී පැය 12ක් උනත් පුදුමයක් නැත. අවසන් වරට පැමිණි ඩීසල් නැව හරවා ගිය බව මාධ්‍ය වාර්තා කළේය. හේතුව නැවට ගෙවන්නට ඩොලර් නැතිවීමය. අද පුවත්පත් වාර්තා කර තිබුණේ තෙල් ගේන්න ඩොලර් නොදෙන නිසා මහජන උපයෝගීතා කොමිසම මහ බැංකුවට සහ එහි ලොක්කා අජිත් නිවාඩ් කබ්‍රාල්ට විරුද්ධව උසාවි යන බවය. මේ අතර අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන වෙළෙඳ සංගමය ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී පිටරටින් ගෙන්වන බඩුභාණ්ඩ නැව්ගත කිරීම එම රටවල්වල සමාගම් නවතා ඇති බවය. මේ අනුව ඉදිරියේදී පිටරටින් ගෙන්වන කෑම ජාති වැනි දෑ හිඟවනු ඇත. ඊට අමතරව බෙහෙත් ගෙන්වීමත් මේවනවිට විශාල ප්‍රශ්නයක් බවට පත්වී ඇත. මේ සියල්ලට හේතුව කුමක්ද?

පසුගිය දා ආණ්ඩුවේ ප්‍රබලයෙක් පැවසූවේ මෙම ගැටලුවලට විසඳුම් ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ගෙනා යෝජනා කුණු කූඩයට වීසිකිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තීරණය කළ බවය. මෙම පුවත සනාථ කරමින් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් දිවයින පුවත්පතේ ශ්‍යාම් නුවන් ගනේවත්තට ප්‍රකාශ කර ඇත්තේ මෙම ගැටලු විසඳීමට මහබැංකුව මාස 06ක සිට ගෙනා යෝජනා වර්තමාන ආණ්ඩුව නොතකා හැර ඇති බවය.

ඔහු එහිදී මෙලෙස ප්‍රකාශ කර ඇත. ‘මේ ප්‍රශ්නය තෙල් නැවකට ඩොලර් ගෙවීම ගැන ප්‍රශ්නයක් පමණක් නොවෙයි. මේක දිගටම තිබෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට උත්තර හොයන්න ඕන තෙල් නැවකින් නොවෙයි. ඒකට අපි උත්තරයක් හොයා ගන්න ඕන. මේ ප්‍රශ්නය ගැන අපි මාස හයක් තිස්සේ රජයට දැනුම් දීලා තියෙනවා, අවශ්‍ය විසඳුම් ලබා දෙන්න කියලා. ඒ නිසා අන්තිමට එන තෙල් නැව ගැන කතා කිරීමෙන් පලක් නෑ. මේ අමාරු කාලයේ ඩොලර් අවශ්‍ය නම් ඩොලර් උත්පාදනය වන විදිහට වැඩ කරන්න ඕනෑ. ඒ එකක්වත් කරන්නෙ නැතුව ඩොලර් මැවෙන්නේ නෑ. දැන් මාස හයක ඉඳලා තෙල් මිල වැඩි කරන්න කියලා රජයට කියලා තියෙනවා. තෙල් මිල වැඩි කළොත් අඩු තරමින් තෙල් භාවිතය අඩු වෙනවා. එවිට තෙල්වලට ගෙවන්න ඕන ඩොලර් වියදම අඩු වෙනවා’

අත්‍යවශ්‍ය නොවන ආනයන භාණ්ඩ 700 කට පමණ රජය මගින් ඉහළ තීරුබදු පැනවීම, ඉන්ධන මිල වැඩි කිරීම, විදේශ විනිමය පේ‍්‍රෂණය කිරීම හරහා වාහන ආනයනයට අවසර දීම සහ එම වාහන සඳහා රජයට ගෙවන බදු විශේෂිත විදේශ විනිමය පේ‍්‍රෂණ මගින් ගෙවීම අනිවාර්ය කිරීම, සුර්ය හා සුළං බලක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම, විදේශ විනිමය හරහා නව ඉතුරුම් රට තුළට ආකර්ෂණය කර ගැනීමට නව අර්ථසාධක අරමුදල් යෝජනා ක්‍රමයක් ඇති කිරීම හා ඒ සඳහා විශේෂ දිරිගැන්වීම් හඳුන්වාදීම, උපාය මාර්ගික වශයෙන් වැදගත් නොවන සහ අඩුවෙන් භාවිතා කරන ලද ඇතැම් රාජ්‍ය වත්කම් මූල්‍යකරණය කිරීම සහ කාර්යාල සඳහා ස්වෙච්ඡා නම්‍යශීලී වැඩ කරන වේලාවල් හඳුන්වාදීම, නිවසේ සිට වැඩ කිරීමේ පියවර ගැනීම ආදී යෝජනා 07ක් මහබැංකුව රජයට ඉදිරිපත් කර ඇතැයි දිවයින සමග අජිත් නිවාඩ් කබ්‍රාල් ප්‍රකාශ කර ඇත.

එහෙත් මේ සියලු යෝජනා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විසින් නොතකා හැර ඇතැයි දැනගන්නට ලැබේ. මෙම කඹ ඇදිල්ලේ සෙල්ලම නිසා රට එන්න එන්නම අගාධයට යමින් තිබෙයි.

Social Sharing
නවතම