මුල් පිටුව සහ අට පිටුව ජීවිතයෙන් සමුගනී…!

සුනිල් මාධව ප්‍රේමතිලක පත්තර ලෝකයේ පුරාවෘත්තයක් කියලා කිව්වොත් හරි. අද උදෑසන ආරංචි වුණේ ඔහු තමන්ගේ දිවිසැරිය නිමා කරලා සුව නින්දකට පිවිස ඇති බව. ඉතිං සුනිල් ඔබට සුබ ගමන් කියන ගමන් සුනිල් මාධවයන් පිළිබඳව ෆේස්බුක් බිත්ති පුරා ලියවුණ අදහස් කිහිපයක් උපුටන්නම්..

‘අවසාන රොමෑන්තික විප්ලවවාදියා !!!

සුනිල් මාධව ප්‍රේමතිලක ලංකාවේ චේ ගෙවාරා යනුවෙන් හැදින්වීමට පුළුවන. වෙනස වූයේ චේ ට වෙනස්ව සුනිල් මාධව ඔහු අයත් වූ කාලයට වඩා බොහෝ කළක් ජීවත් වීමයි. ඔහු අයත් වූයේ 1980 දශකයටයි. ඔහු අතින් ඉටු වූ ඓතිහාසික කාර්යභාරය වූයේ 1987-89 තරුණ කැරැල්ලට අවශ්‍ය ආවේග පුබුදුවා ලීමයි. ඔහුගේ “දිවයින 8වෙනි පිටුව“ කලේ එයයි. 1989 අග රෝහණ විජේවීරගේ මරණයත් සමග සුනිල් මාධවගේ ද සංකේතීය මරණය සිදුවිය. සුනිල් මාධව ගේ කාර්යභාරය හොදින්ම අවබෝධ කරගත් හැක්කේ ඔහුගේ Alter Egoව ලෙස සැලකිය හැකි, “8වෙනි පිටුවට“ කවි ලිවූ, චන්ද්‍ර කුමාර වික්‍රමරත්නගෙනි. චන්ද්‍රකුමාර වික්‍රමරත්න 89ත් සමගම සදහටම නොපෙනී ගිය අතර සුනිල් මාධව ඉතිරි විය. ඒ 87-89 කැරැල්ලේ ෆැන්ටෑස්මික අවතාරයක් ලෙසිනි. 80 දශකයේ රැඩිකල් දේශපාලනය 1989න් පසු සීඝ්‍රයෙන් රැඩිකල්හරණය වෙද්දී, 80 දශකයේ රොමෑන්තික රැඩිකල් දේශපාලනයට මානසිකව ලොල් කළ, තරුණ විය ගෙවා දවමින් සිටි, පරපුරකගේ ෆැන්ටසිය වෙනුවෙන් සුනිල් මාධය සිය ශරීරය ද ආත්මයද දිරාපත් කරගනිමින් තවත් කළක් ජීවත් විය’- මහාචාර්‍ය නිර්මාල් රංජිත්

‘මෙරට පුවත්පත් කලාවේ පහන් ටැඹක් බඳු සුනිල් මාධව ප්‍රේමතිලක ද මොහොතකට පෙර ස්වකීය ජීවිත අන්දරයට නැවතීමේ තිත තබා ඇත.

ඔහුගේ පියා වන ප්‍රවීණ මාධ්‍යවේදී මීමන ප්‍රේමතිලක විසින් පැටි වියේදී ම මිය ගිය ‘සමන්’ නම් පුතණුවන් අරභයා ‘මියගිය දරුවෙක්’ නම් කවි පංතියක් රචනා කළේය. එහි අවසාන කවියෙහි අවසන් දෙපදය මෙසේ නිම කළේය.

‘සුනිල් – සරත් – සමන් කියා රුවන් තුනක් තිබේ

එයින් එකක් ගියා අහෝ ! කොහේද ඒ ගියේ’

අද දින හෝරා කිහිපයකට පෙර එයින් තවත් පුත් රුවනක් ද සමන් පොහොට්ටුව පිවිසි ලෝකයට ම ගමන් කළ බව මීමන ප්‍රේමතිලකයන් හට සැල වූවා දැයි අප ප්‍රත්‍යක්ෂ වශයෙන් නොදනිමු. මේ සමුගන්නේ ‘හඬනු මැන නිදහස’ ‘මිනිසෙක්’ සහ ‘අන්ධකාරයේ දරුවා’ වැනි සදානන්දකර පරිවර්තන රැසක් ඒ යුගය වෙත දායාද කළ සාහිත්‍යවේදියෙකි. ස්ටීව් බිකෝ, ඩොනල්ඩ් වුඩ්ස් මෙන් ම අලෙක්සැන්ඩර් පනාගොලීස් ද එපමණක් නොව ජුලියස් ෆුචික් සහ කැරොලිනා මරියා ඩි ජීසස් ද මෙරට තරුණ පරපුරට හඳුන්වාදුන් පුරෝගාමියෙකි.

මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ ප්‍රාණය නිරුද්ධ මළ සිරුර මූදු තීරයකට ගොඩ ගසන, කාටූන් ශිල්පි ජෙෆ්රි යූනුස්ගේ මුහුණත මැහුම් දහසයක් ඉතිරිවන සේ කපා දමන එක්තරා භීම සමයක, කවර හෝ පසුබිමක් මැද සුනිල් මාධව ප්‍රේමතිලක ‘ලක්දිව’ පුවත්පතෙහි ‘ප්‍රේමදාස අපි සූදානම්’ නම් ඉතිහාසගත සිරස්තලය මුද්‍රණය කරන්නට සමත් විය.

ඔහු පිළිබඳ හදාරන අනාගත පරම්පරාව, කපිල එම්. ගමගේ විසින් 2016 වසරේ දී ‘ඉරිදා ලක්බිම’ පුවත්පතට රචනා කළ ‘ඇදහිලි සුරුවමක් නොවිය යුතු සුනිල් මාධව ප්‍රේමතිලක’ නම් ලිපිය අනිවාර්යයෙන් කියවිය යුතුයැයි යෝජනා කරන්නේ පසුකාලීන ජනප්‍රිය සමාජ සංස්කෘතිය විසින් ඔහුව හැඟවුමකට වඩා හැඟවුම්කාරකයක් ලෙස ඉස්මතු කළ බැවිනි.

සුනිල් මාධව විසින් සිංහලයට නැගූ ‘අන්ධකාරයේ දරුවා’ හෙවත් ‘කැරොලිනාගේ දිනපොත’හි මුල් ලේඛිකාව වූයේ කැරොලිනා මරියා ඩි ජීසස් ය. බ්‍රසීලයේ සැක්‍රමැන්තෝහි දුගී මුඩුක්කුවක උපත ලද එම අසහාය සාහිත්‍යවේදිනිය වරක් මෙසේ ප්‍රකාශ කර තිබිණ.

‘We have only one way to be born and many ways to die’

‘අප සියල්ලන් ම එකම ආකාරයකට ඉපදෙන නමුත් අපට මියැදෙන්නට ඕනෑ තරම් විධි ඇත’

මරියා ඩි ජීසස් ඉතා නිවැරදි ව එය ප්‍රකාශ කර තිබිණ.

ඔහු ඉපදුණේ හොරණ මීමන ග්‍රාමයේ කරුණාරත්න ප්‍රේමතිලකගේ වැඩිමහළු පුත්‍රයා ලෙස ය. ඔහු මිය ගියේ ශ්‍රී ලංකාවේ සුනිල් මාධව ප්‍රේමතිලක ලෙස ය.

ඔබට සුබ ගමන් ‘

– සහන් කසීර වික්‍රමසිංහ –

මේ අතර පත්තර ලෝකයේ තවත් දැවැන්ත චරිතයක් වෙච්ච බන්දුල පත්මකුමාර මහත්තයාත් අද උදෑසන දිවි සැරිය නිමාකර තිබෙනවා. ඔහුටත් සුබ ගමන් කියන ගමන්, ඔහු පිළිබඳව ෆේස්බුක් අවකාශයේ පළවූ අදහස් කිහිපයක් උපුටන්නම්..

‘පත්තර සිරස්තල වැඩසටහන් කලාව තුලින් ජනාදරයට පාත්‍ර වූ බන්දුල පද්මකුමාරයන් 80 දශකයේ  ජනප්‍රියත්වයට පත්වූ ‘කුමරි, අරලිය, සරසි,සත්සර, රැජිණ’ පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා ලෙසද කටයුතු කළේය. 90 දශකයේ ඇරඹි ‘ලක්බිම’ සතිඅන්ත ජාතික පුවත්පතේ ආරම්භක කතුවරයාද වූ මෙතුමා ලේක් හවුස් ආයතනයේ සභාපති ධූරය ඇතුලු තනතුරු ගණනාවක් හෙබවීය. ජනමාධ්‍ය කලාව තුළ නොමියන මතක රැසක් ඉතිරි කරමින් සිය දිවි සැරියෙන් සමුගන්නා ජේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාරයන් මිය යන විට 71 වන වියේ පසු විය. ජේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි’ – රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර

‘සුවහසක් පුවත්පත් රසිකයන් ඇමතූ ඔහු, කිසිවකුට නොදන්ව ම යන්න ගිහිං. සුබ ගමන් ජ්‍යෙෂ්ඨයාණනි…!’ මෙහෙම ලියන්නේ ඉන්ද්‍රනාථ තේනුවර මහත්තයා. බන්දුල කියලා කියන්නේ සුනිල් වගේම හැබැයි වෙනස් තලයකින් පත්තර කලාව වෙනස් කරපු පත්තරකාරයෙක්. ඔවුන් දෙදෙනාගේම පත්තරකාරකම අප හැමගේ මතකයන් අස්සේ සඳාකාලික බව කියන්න ඕනෑ.

Social Sharing
නවතම