මෛත්‍රීට යාපනයෙන් ජන ගඟක්

යාපනේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට යාපනේ ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබී ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වන්නි සමුළුව වව්නියාවේ දී පසුගිය 20 දා පැවති අතර ඉන් අනතුරුව යාපනය වඩමාරච්චි, කරවෙඩ්ඩි නෙල්ලිඅඩි ක්‍රීඩාංගනයේදී පැවති යාපනය දිස්ත්‍රීක් සමුළුවට විශාල ජන සහභාගීත්වයක් ලැබී ඇත. එහිදී යාපනේ ජනතාව හිටපු ජනාධිපතිවරයා උණුසුම්ව පිළිගෙන ඇත.

මෙහිදී උතුරේ ධීවර ගැටලුව පිළිබඳව කතාකර ඇති හිටපු ජනාධිපතිවරයා රජය විසින් කඩිනමින් ඉන්දියාව සමග සාකච්ඡා කොට විසඳුම් ලබා දිය යුතු බව එහිදී ප්‍රකාශ කර ඇත.

‘ මුලින්ම මම උතුරේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග අලුත් ගමනකට එක්වෙන්න කියලා. උතුරේ ජනතාව 95%ක් මට ඡන්දය ලබා දුන්නා හංසයා ලකුණට. මගේ ජයග්‍රහනය 2015දී මේ රටේ සියලුම දේශපාලන පක්ෂවල නායකයින්ගේ ඇස් ඇරුනා. ඊට පසුව තමයි හැම දේශපාලන නායකයෙකුටම හිතුනේ උතුරු නැගෙනහිර ජනතාවටත් දකුණෙ ජනතාවට වගේම සංවර්ධනයක් ඕන කියලා. හොරකම නැති දූෂණය නැති දේශපාලඥයින් සිටින පක්ෂයක් විදිහට අපි මේ පක්ෂය ජනතාවාදීව ඉදිරියට ගෙනයනවා. හොඳ ගමනක් යන්න, ශ්‍රීලංකා නිදහස් පක්ෂය රටේ තරුණ පරපුරට භාර දෙනවා’ යැයි එහිදී ප්‍රකාශ කර ඇති හිටපු ජනාධිපතිවරයා රටේ කෘෂිකර්මාන්තය විශාල අර්බුදයකට වර්තමාන ආණ්ඩුව රැගෙන ගොස් ඇතැයිද තමන්ගේ කාලයේදී ජනතාව ප්‍රශ්නයක් නොමැතිව හොඳින් ජීවත්වුණ බවද ප්‍රකාශ කර ඇත.

උතුරේ මෙම සංචාරයට අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් යන අය සහභාගීවී ඇත.

slfp meeting

Social Sharing
නවතම පුවත්