බඩුමිල රොකට් එකේ, අපි තව සල්ලි අච්චු ගහමු මිතුරේ…

ඉහළ යන බඩුමිල නිසා මිනිසුන්ගෙ ජීවන අරගලය තව තවත් සංකීර්ණ වෙලා. මිල ඉහළයාමට අමතරව වරින්වර ඇතැම් භාණ්‌ඩ වෙළඳපොළ තුළ හිඟ වෙනවා. එහෙම හිඟයකට පස්සෙ ඒ හැම භාණ්‌ඩයක්ම ආපහු වෙළඳපොළට එන්නේ දෙතුන් ගුණයක මිල වැඩිවීමකුත් එක්ක. පහුගිය කාලේ ඇතිවුණ ගෑස් හිඟයට පස්සේ, වරුවක් පෝලිමේ ඉඳලා වැඩි මිලට ගත්ත ගෑස් එකත් කොයිවෙලේ පුපුරයිද කියලා බයෙන් තමයි දැන් මිනිස්සු ඉන්නෙ. කමිටුවක් පවා පත් කරලා මේ ගැන හොයලා බැලුවට පස්සෙ දැන් කියන කතාව තමයි ගෑස් සංයුතියේ ඇති වූ වෙනසක් නිසා ගෑස් සිලින්ඩර පුපුරාලා යනවා කියලා.

ඊළඟට නටපු කාබනික නාඩගම අවසන් වෙලා. නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ අද වෙනකොට. පොහොර නැතිනිසා මෙවර ආහාර නිශ්පාදනය බාගෙට බාගෙකින් අඩුවෙලා කියලා තමයි ගොවියෝ කියන්නේ. ඒක එහෙම උනොත් ඉස්සරහට එළවළු සහල් වගේ ගොඩක් ජාතී ආනයනය කරන්න වෙයි. ඒත් ඒකට කෝ ඩොලර්.  ඉන්ධන, ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍යය භාණ්ඩ පවා ආනයනයේදී මුදල් ගෙවා ගන්න බැරි තත්වයක් තමයි තියෙන්නෙ. නෙක අවශ්‍යතාවයන් සඳහා පිටරට යන අයට ගෙනියන්න ඩොලර් නැහැ. තමන්ගේ ගිණුමේ තියෙන සල්ලි පවා ගන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ. භාණ්ඩ හිඟය එක්ක සමහරවිට අතේ මුදල් තියෙන කෙනෙකුට පවා තමන්ට ඕන කරන දේවල් මිලට ගන්න ක්‍රමයක් නැහැ. අනෙක් පැත්තෙන් දුප්පතාට බඩු ගන්න විදිහක් නෑ විදිහට බඩුමිල අසාමාන්‍ය විදිහට ඉහළ ගිහින්. බඩු මිල ඉහළ යන්න බඩු වෙළඳපොළට නොඒම වගේම  සල්ලි අසීමිතව මුද්‍රනය කිරීමත් හේතුවක්. මේ ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ අද වෙනකොට රුපියල් ට්‍රිලිය්න 3.6ක මුදලක් මුද්‍රනය කරලා තියෙනවා.

Cost of living rising in Sri Lanka

ලංකාවේ උද්ධමනය මැනීමට යොදාගන්නා මිනුම කොළඹ පාරිභෝගික මිල දර්ශකය. ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව මගින් 2021 නොවැම්බර් 30දා නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2021 ඔක්තෝම්බර් මාසයේදී පැවැති 7.6%ක අගයේ සිට 2021 නොවැම්බර් මාසයේදී 9.9% දක්වා ඉහළ ගිහින් තියෙනවා. 2021 නොවැම්බර් මාසයේදී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස 2.57% ක් ලෙස වාර්තා වුණා. මේකට ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, 1.76 කින් සහ 0.81% කින් ඉහළ යෑම හේතු වෙලා තියෙනවා.

2021 නොවැම්බර් මාසයේදී ආහාර කාණ්ඩය අස්සේ, එළවළු, සහල්, කිරිපිටි, ලොකු ලූණු, කුකුල් මස් සහ නැවුම් මත්ස්‍ය මිල ගණන් ඉහළ ගියා. ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන ( එල්.පී.ගෑස්, නඩත්තු කටයුතු / නැවත ඉදිකිරීම් ) සහ විවිධ භාණ්ඩ සහ සේවා ( කොණ්ඩා කැපීම සහ රැවුල බෑම ) යන උප කාණ්ඩවල අයිතමවල මිල ගණන් 2021 නොවැම්බර් මාසයේදී ඉහළ ගොස් තිබෙනවා. උදාහරණ විදිහට මේ සතියේ එළවළු මිල ගනිමු.  මුරුංගා  – රු 400.00,  කැකිරි   –  රු  200.00,  ලීක්ස්    –  රු 500.00,  බීට් රූට්   –  රු 500.00,  ගෝවා   –  රු 600.00,   කැරට්  –  රු  543.00, බෝංචි –  රු. 643.00, බටු    –  රු. 443.00

Cost of living rising in Sri Lanka

Cost of living rising in Sri Lanka

මේ සාමාන්‍යයෙන් ජනතාව එදිනෙදා සුලබව ආහාරයට ගන්න එළවලු වර්ග කිහිපයක්. බහුතරයක් ප්‍රධාන ආහාරය විදිහට බත් කන අපේ රටේ බතට එළවලු කිහිපයක් උයනවා. එළවලු මිල ගණන් මේ සා පරිමානෙකින් ඉහළ යාම හැමෝටම දරා ගන්න අමාරුයි. අනෙක් අතට ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාම හින්දා ආපනශාලා / හෝටල්වල විකුණන පිසූ ආහාරවල මිලත් කිහිප ගුණයකින් ඉහළ දමන්න වෙනවා. එතකොට ඒ අදාල ව්‍යාපාරිකයන්ට ලාභ ලැබීම ඉතාම අසීරුයි. මේ නිසා ආහාරවල ප්‍රමිතිය නිසි ලෙස පවත්වා ගැනීම ගැන ගැටලුවකුත් මතු වෙනවා. ආහාරවලට අමතරව වෙනත් අත්‍යවශ්‍ය  ද්‍රව්‍ය සැලකුවත් ඒ මිල ගණනුත් දිනපතාම ඉහළ යනවා.

වර්තමාන ඩොලර් අර්බූදය නිසා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 27ක් අද රෝහල්වල නෑ කියලා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. මේ සියලු තත්ත්වයන් දිහා බලනකොට පේන්නේ ආණ්ඩුවට කිසිම ආර්ථික සැළැස්මක් නැහැ කියන දේ. වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියන විදිහට මේ අස්ථාවරත්වය ඇති කරලා තියෙන්නේ ඇසට නොපෙනෙන බලවේගයක්. මේ යන විදිහට දුප්පත් ජනතාවටනම් අබ සරණම තමයි.

-යශෝධරා වීරසිංහ-

Social Sharing
නවතම විශේෂාංග