උපන්බිමේ අතරමංවූවන්ගේ ඛේදවාචකය.

මාස ගණනාවකින් වැහි බිඳුවක පහස නොලැබූ කිළිනොච්වි බිම වතුර පිපාසාවෙන් පෙළෙමින් තිබුණි.මහපොළව සමඟ පොර බදන ජෝසප් ඉර මුදුන් වෙනු දැක උදලු කෙටියද රැගෙන සෙවනක් සොයන්නට වූවේය.ඉදහිට හමන ගිණියම් වූ සුළඟ ජෝසප් ගේ තෙහෙට්ටුව මකන්නට සමත් වූයේ නැත.

යුද්ධය නිමාවී වසර තුනක් පමණ කල් ගත වූ කළ ජෝසප් දකුණු ඉන්දියාවේ සරණාගත කදවුරට සමු දුන්නේ නැවතත් තමන් උපන් රටට පැමිණෙන්ට වරම් ලැබීම පිළිබදව වූ අප්‍රමාණ සතුටකිනි. ලංකා ආණ්ඩුවෙන් සකස් කර දෙන ලද ගුවන් බලපත්‍රයෙන් කටුනායකට පැමිණි ජෝසප් තමන්ට හුරු පුරුදු නැවුම් සුළගින් පපුව පුරවා ගත්තේය.

එදා නැවුම් බලාපොරොත්තු රැසක් සමඟ මෙරටට පැමිණි ජෝසප් අද කියන්නේ කුමක්ද ?

“ඉන්දියාවේ ඉදල මම ඇවිදින් දැන් අවුරුදු පහකට වැඩියි. අදත් මට ජීවත් වෙන්න ක්‍රමයක් නෑ. ඉන්දියාවේ ඉදල මම විතරයි මුලින්ම ආවේ. අපේ ගේදොරවල් සියල්ල විනාශ වෙලා ඇති කියල මම හිතුවා. ඇවිත් බලන කොට අපි ජීවත් වුණු තැනක් හොයා ගන්න මට බැරි වුණා.

නැවත ගමට එන කොට ආණ්ඩුවෙන් කිවුවෙ ජීවිතය ගොඩ නගා ගන්න අවශ්‍ය සියලු පහසුකම් දෙනව කියල. ඒ වචන විශ්වාස කරල මම නැවත ගමට ආව. ළමයි හතර දෙනයි මගේ බිරිදයි තවම සරණාගත කදවුරේ. පවුලේ ඔක්කොම ඇවිල්ල එක වරට මෙහේ ජීවත් වෙන්න පහසුකම් නැති නිසා මම විතරයි ආවේ. මං වගේම අපේ ගමෙන් පිට වූ පවුල් පණහක් විතර ආපහු ආවා. දැන් හිතෙනවා ඉන්දියාවේ සරණාගත කදවුරේ හිටියානම් හොදයි කියල.අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි ජීවත් වෙන්න කිසිම මාර්ගයක් නැති එක. තනි මට ජීවත් වෙන්න අද කිසිම ක්‍රමයක් නෑ. කිසිදු ආදායම් මාර්ගයක් නැතිව පරඩැල් වගේ අපි කිළිනොච්චියේ ජීවත් වෙනවා.”

“සරණාගත කදවුරේ ඉන්න මගේ නෝනා නිතර නිතර කතා කරල කියනවා දුක් විඳින්නේ නැතිව ආයේ කොහොම හරි ඉන්දියාවට එන්න කියල. ඒ අය මෙහේ දුක් විඳින්න එන්න කැමති නෑ. දැන් ඒ අයට සරණාගත කදවුර හොදයි කියල තමයි කියන්නේ ”.

1989 වසරේදී ජෝසප් තලෙයිමන්නාරම් තොටුපලෙන් මහමුහුද තරණය කරන්නේ තම දරුවන් සිවු දෙනාද බිරිඳ ද කැටුවය. එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් හැම තැනම තුවක්කු අමෝරාගෙන සිටියදීය. පළායන්නන්ට හිමි වන්නේ මරණය බව ජෝසප් හොදින් දන්නේය. එමෙන්ම කිළිනොච්චියේ ජීවත්වන්නන්ටද හිමි වන්නේද මරණයම බව ජෝසප් හොඳින් දැනසිටියේය. තම දරුවන් ළමා සොල්දාදුවන් වශයෙන් ඔවුන් උපන් බිමේ මැරී වැටෙනු දකින්නට ජෝසප් අකමැති වූවේය. එනිසා ජීවත් වීම සදහා පළා යා යුතු යැයි ජෝසප් කල්පනා කළේය.

දශක දෙකකට අධික කාලයක් තිස්සේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවති  යුධ ගැටුම් අවසන් වූයේ 2009 වසරේ දීය. මුහුණට මුහුණ සටන අවසන් වුවද එම ගැටුම නිසා කලක් තිස්සේ ඔද්දල්ව පැවති සමාජයීය ගැටුම අවසන්  කරන්නට යුද්ධය අසමත්ව තිබුණි. යුද්ධය නිසා පීඩා විදි ජනතාවට නැවත උතුරු නැගෙනහිර ජීවත් වීමට ඉඩ සැලසීම ආණ්ඩුවේ ප්‍රධානම වගකීම විය. එම වගකීමේ ප්‍රධාන තැනක් ගනු ලැබුවේ යුද්ධය නිසා පළාගිය ජන කොටස් නැවත තමන් උපන් භූමියේම පදිංචි කරවීමත් ඔවුනට අවශ්‍ය මූලික පහසුකම් ලබා දීමත්ය.

රජයේ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය තුළ උතුරු හා නැගෙනහිර ප්‍රදේශයේ පවුල් 253,542 ක පුද්ගලයින් 882,823ක් 2016 සැප්තැම්බර් මස අවසානය වන විට පදිංචි කොට තිබුණු බවත් නැවත  ඔවුන්ට ලෝක ආහාර වැඩසටහන යටතේ මාස 06 කට ප්‍රමාණවත් තරමේ වියලි ආහාර ලබා දීම,එක්සත් ජාතීන් ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහයෙන් යටිතල පහසුකම් සදහා රුපියල් 25000 ක් හා නිවාස ආධාර සදහා ඇමරිකන් ඩොලර් 1000 ( ආසන්න වශයෙන් රුපියල් 130,000)ලබාදීම මූලික පහසුකම්  හා ආහාර සදහා රජයෙන් රුපියල් 38000ත් ලබාදීම  සිදු කළ බවත් නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය කියයි.

යුද්දෙට පෙර මේ ප්‍රදේශයේ ජනතාව ජීවත් වුණේ ගොවිතැනෙන් බව ජෝසප් පවසයි.වී ගොවිතැනෙන් මෙන්ම හේන් වගාවෙන්ද කිළිනොච්චියේ ජනතාව තෘප්තිමත් ජීවිතයක් ගත කොට තිබුණි.

“ඉරණමඩු ජලාශයෙන් වතුර අරගෙන කිළිනොච්චියේ ජනතාව ගොවිතැන් කළා. කිළිනොච්චියේ පොළට ගෙනහින් අස්වැන්න විකුණා ගත්තා . ඒ ආදායම අපිට ජීවත්වෙන්න හොදටම ප්‍රමාණවත් වුණා”ජෝසප් පවසයි.

“මේ වන විට ගොවිතැන් කරල වැඩක් නෑ. ගස්ලබු කිලෝ එක රුපියල් 10 ට යි විකුණන්න වෙන්නේ. ගස්ලබු මල්ල මෝටර් සයිකලේ තියන් කිලිනොච්චියේ පොළට ගෙනහින් ඒක රුපියල් 10 ට විකුණල වැඩක්  තියෙනවාද? පොළට යන ගොවියා ණය කාරයෙක් වෙනවා. දැන් මෙහේ මිනිස්සු ගොවිතැන අතහැරලා.”

ගොවිතැන අතහැරපු ජෝසප් මේ වන විට කුලී කාරයෙක් වී ඇති බවයි ඔහු පවසන්නේ. කුලියක් කර ගන්න නැති වුණු  දවසට පුරුද්දට වගේ මම පොළව කොටනවා.

“ සරණාගත කදවුරේ ඉන්න මගේ නෝනා නිතර නිතර කතා කරල කියනවා දුක් විඳින්නේ නැතිව ආයේ කොහොම හරි ඉන්දියාවට එන්න කියල. ඒ අය මෙහේ දුක් විඳින්න එන්න කැමති නෑ.දැන් ඒ අයට සරණාගත කදවුර හොදයි කියල තමයි කියන්නේ”.ජෝසප්ගේ හඬෙහි මෙන්ම  ඔහුගේ වචනවලද ඇත්තේ දැඩි පරාජිත බවකි.

ක්‍රිෂ්ණපුරම් හි පදිංචි කලමේෂ්වරී දරුවන් තිදෙනෙකු ගේ මවකි. වැඩි මහල් දියණියගේ වයස මේ වන විට වයස අවුරුදු 17 ට ආසන්න වෙමින් තිබේ.

“අපි දකුණු ඉන්දියාවේ ඉදල ආවේ 2013 වසරේ. පදිංචි වෙන්න ආණ්ඩුවෙන් උපකාර කළා. නමුත් මේ වන විට අපිට ස්ථිර ආදායම් මාර්ගයක් නෑ. මහත්තයා කුළී වැඩ කරනවා. මෙහේ ඉදල අපිට කරන්න දෙයක් නෑ.

ජීවත් වෙන්න විදියක් නැතිව හිතවත් අයගෙන් ණයට මුදල් ගත්තා. ඒව ගෙවා ගන්න විධියක් නැතිව ගමට ආව ණය දෙන ආයතන වලින් කන්ඩායම් ණය ගත්තා. දැන් ඒව ගෙවා ගන්න විදියක් නෑ. ණය ඉල්ලන්න එන මහත්වරු ණය දෙනකම් ගෙදරින් යන්නේ නෑ. ගෙදර දැන් ලොකු ගෑණු ළමයෙක් ඉන්නවා. එයා කියනවා. අපි ආපහු ඉන්දියාවට යමු කියලා . එහේ කදවුරු මීට වඩා හොදයි කියලා  දුව කියනවා.

මහත්තයත් නිතරම කියනවා ගමට ඇවිල්ල අපි කර ගත්තේ මෝඩ කමක් කියලා. මගේ වුවමනාවට තමයි අපි ගමට ආවේ. දැන් මහත්තය මට නිතරම බනිනවා හැමෝම  අමාරුවෙ දැම්මේ මම කියලා. අපිට සරණාගත කඳවුරේ ඉන්දෙද්දි මාසෙකට ගාණක් දෙනවා. සරණාගත කාඩ් එකක් ලැබෙනවා. ඒක පෙන්නලා සරණාගත කදවුරෙන් පිටතට  යන්න පුළුවන්. එහෙම ගියපු සමහර අය වෙනත් රට වලට ගිහින් තිබෙනවා. එහෙම ගියානම් මීට වඩා හොදයි කියල දැන් හිතෙනවා.”

කිළිනොච්චියේ මළයාලපුරම් ගම්මානයේ ක්‍රිෂ්ණා පවසන්නේ ජීවත්වෙන්න බැරිම තත්ත්වයක් වුණොත් මුහුදු මගින් නැවත ඉන්දියාවට පළා යාමට තම පවුලට සිදුවෙන බවයි.

“මගේ මහත්තය ධීවරයෙක් . මහ මුහුදේ ඔක්කොම මාළු ඉන්දියාවේ ධීවරයන් බේරගෙන යනවා. දැන් මාළු අස්වැන්න හොදටම අඩුයි. ධීවර රැකියාවෙන් මගේ මහත්තයට අපේ පවුල ජීවත් කරවන්න කොහෙත්ම බෑ. දැන් ණය නොවී ඉන්න කෙනෙක් අපේ ගමෙන් හොයා ගන්න බෑ.”

වෙළද අමාත්‍ය බන්දුල  ගුණවර්ධන මහතා පවසන්නේ උතුරු නැගෙනහිර ජනතාව දැවැන්ත ණය උගුලකට හසුව තිබෙන බවයි. මෙම ණය උගුලෙන් ඔවුන් මුදවා ගැනීම සදහා ප්‍රදේශයේ ග්‍රාමීය බැංකු හා සමූපකාර ණය දෙන සමිති විසින් එම ප්‍රදේශවල ක්‍රියාත්මක කරනු  ලබන වැඩ සටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරවන බව ඔහු පවසයි.

ආණඩුවේ වෙළද ඇමතිවරයා එසේ පැවසුවද උතුරු නැගෙනහිර ජනතාවගේ ආර් ථික  පීඩනයේ ප්‍රධානම සාධකයක්ව පවතින ක්ෂුද්‍ර මුල්‍ය ණය අර්බුදය විසදී ඇති බවක් පෙනෙන්නට නැත. මෙම ණය උගුලෙන් ගැලවීමට මඟක් නැති  නිසාම තම ජීවිතයෙන් වන්දි ගෙවූ උතුරු නැගෙනහිර වැසියන්ගේ ප්‍රමාණය දෙසීයකට අධිකය.ණය ඉල්ලීම සදහා පැමිණෙන සමාගම් නියෝජිතයාගෙන් බේරීම සදහා  එක් කාන්තාවක් ගිණි තබා ගැනීමේ සිද්ධියක්ද වාර් තා  විය.

නැවත පදිංචි වූවන්ගේ ගැටළු සම්බන්ධයෙන් කළ විමසීමේදී කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් සැලසුම් අධ්‍යක්ෂ ශ්‍රී පාස්කරන් මහතා පවසන්නේ මේ වන විට රට තුළ පවතින කොවිඩ් වසංගත තත්වයත් සමඟ කිළිනොච්චි යේ සාමාන්‍ය ජනතාව ද පීඩනයට ලක්ව ඇති බවයි.

ආණ්ඩුව විසින් කිළිනොච්චි දිස්ත්‍රික්කය තුළ යටි තල පහසුකම් දියුණු කිරීම සදහා විශාල වැඩ කොටසක් කරනවා. ඒ සදහා පෞද්ගලික ආයතනද සහාය දෙනවා. ග්‍රාමීය පාර වල් පිළිසරක කිරීම සදහා ආණ්ඩුව උනන්දුවක් දක්වනවා. ඒ හැරනු කොට ආණ්ඩුවේ කාබනික වගා ප්‍රතිපත්තිය දියුණු කිරීම සදහාද දිස්ත්‍රික් කෘෂිකර් ම  අධ්‍යක්ෂක වරයා උත්සාහ ගන්නවා. පොදුවේ ගත්තාම ප්‍රදේශයේ ගොවිජනතාව ගේ ගැටළු විසදී ඇති බවක් කියන්න අමාරයි.

නැවත පදිංචි කිරීම කිළිනොච්චි දිස්ත්‍රික්කය තුළ අවසන් කොට තිබෙනවා. යුද තත්වය නිසා විශාල ලෙස වෙනත් ප්‍රදේශවලට ගියේ මන්නාරම ප්‍රදේශයේ ජනතාවයි. බොහෝ පිරිසක් ඉන්දියාවේ සරණාගත කදවුරු වල තවමත් ඉන්නවා. සමස්තයක් ලෙස ගත්තාම මේ ප්‍රදේශයේ ජනතාවට තවත් කළයුතු දේ බොහෝ තිබෙනවා.

උතුරු නැගෙනහිර පැවති ගැටුම්කාරී තත්ත්වය යුද්ධයෙන් අවසන් කළ මහින්ද රාජපක්ෂ රජය පැවසුවේ දැන් තමන්ට ඇති වගකීම වන්නේ උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීමේ  වගකීම බවයි. ඒ අනුව ‘උතුරු වසන්තය’ නම් සංවර්ධන ක්‍රියාවලිය පැමිණියේය. යුද්ධයෙන් විනාශ වී ගිය පාලම් බෝක්කු හා මාර්ග ලහි ලහියේ උතුරු වසන්තය තුළින් සංවර්ධනය වූවේය. එහෙත් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්ත්වය සංවර්ධනය කරන්නට උතුරු වසන්තය සමත් වූයේ නැත. දකුණු ඉන්දියාවේ සරණාගත කදවුරු වල සිටි බොහෝ ජනයාට උතුරු වන්සතයෙන් වසන්තය උදා වුයේ නැත.

චන්ද්‍රසේන ගමගේ

 

ඡායාරූප

01 සිදී ගිය ජලාශයක්

 

 

 

 

 

 

 

02  ධීවර පවුලක්

 

 

 

 

 

 

 

 

 

03 කිසිදු පහසුකම්ක් නැති උතුරේ නව ජනපද

 

 

Social Sharing

Related posts