රට නැගීමට රජෙකු සොයන රාජ මිත්‍යාව – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

dr. ajith

අනේ කුහුඹින්නේ

තොපටත් රජෙකු ඉන්නේ

අපට නැත එන්නේ

ඒ නිසාවෙනි අපි තැවෙන්නේ

රජෙකු ලැබුනෝතින්

කැවුම් කිරිබත් කන්ඤම්

පෙරහැර කරන්ඤම්

සාදු නාදෙන් ගිගුම් දෙන්ඤම්

නුවර රජකම් කල ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පිටුවහල් කල පසු, එකල විසු කුංකුනාවේ හිමිනම කියූ කවියක් යැයි, මෙය පතලය. නන්දා මාලිනිය “පවන” ප්‍රසංගයේ ගැයූ ගීයක මුල් පද කිහිපය වූ නිසා, මෙම කවිය නැවත කරලියට පැමිණියේය. පසුගිය සමයේ මැතිවරණ වේදිකාවල මෙම කව ගිරවුන් මෙන් ගැයූ ඇතැම් “ලලනාවන්”, රට කිරීමට රජෙකු පැතීය. ඒ මෙම කව ලියු හිමිනම ගැන හෝ ලංකාව පාලනය කල රජවරුන්ගේ බහුතරයකින් රටට සෙතක් වීද නැද්ද යන්න ගැන, නිසි අවබෝධයකින් තොරව විය යුතුය.

කුංකුනාවේ හිමි

පළමුව මෙය ලියු කුංකුනාවේ ධම්මරක්ඛිත හිමිනම ගැන විමසමු. 1963 වර්ෂයේ එම්. ඩී. ගුණසේන සමාගම විසින් පලකරන ලද ඇම්. මේලියස් සිල්වා මහතාගේ “අපේ අන්තිම රජතුමා” පොතෙහි, කුංකුනාවේ හිමිනම ගැන වැදගත් තොරතුරු රැසක් ඇත. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ වන්දිභට්ට කවි කීමට තිබු කවිකාර මඩුවේ සාමාජිකයෙකුවූ උන්වහන්සේ වඩා ප්‍රසිද්ධව සිටියේ වස් කවි කීමටය. නුවර නාථ දේවාලයේ වහලට බාධාවක්වූ බෝ අත්තක් උන්වහන්සේ වස්කවියක් කීමෙන් ඉවත් කල බව එහි සඳහන් වේ. මල්වත්තේ මහනාහිමි පුද්ගලික තරහකට කුංකුනාවේ හිමිනම සිටි වල්ලාගල පන්සලින් ඉවත් කල විට, උන්වහන්සේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට සෙත් පතා පාලි බසින් “රාම සංදේශය” නම් කව් පොතක් ලිවීය. තමන් අතිශෝක්තියෙන් වර්ණනා කෙරෙන ගාථා හැටකින් යුතූ එයින් සතුටුවූ රජු, උන්වහන්සේට අලුත් පන්සලක් තනාදුනි. එමනිසා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සුද්දන් විසින් පැහැරගෙන යාම ගැන උන්වහන්සේ දුක්වීම සාධාරණය. උන්වහන්සේ බ්‍රිතාන්‍යයන් විසින් සිරගත කලබැව් සනාථ වන මුලාශ්‍රයක් මා හට හමුවී නැත. මුක්කමක් සහිත මුහුණක් තිබු, විපත් ගෙනදෙන වස්කවි ලියු, උන්වහන්සේ අමනාප කරගැනීමට රජු පවා බියවිය. ගැමි විශ්වාසයන්ට අනුව වස්කවි ලියන්නෙක්ගෙන් සෙත්කවි ලියාගැනීම ඉතා අසුබය. ඔවුන් සිතන ආකාරයට එවන් කවියකින් සිදුවන්නේ අවැඩකි. වස්කවියක් බඳු මෙම කවිය අපට අවැඩක් කර ඇත්තේ එය “රට නැගිය හැක්කේ රජෙකුට පමණි” යන මිත්‍යාව හොඳින් ජනගත කර ඇති නිසාය.

ලංකාවේ රජවරුන් කලේ මොනවාද ?

ලංකාවේ සිටි රජවරුන් නිසාත්, රාජවංශයන් දැහැමෙන් සෙමෙන් රට පාලනය කල නිසාත් ලංකාව චිරාත් කාලයක් තිස්සේ ලොවෙහි මුදුන් හිනිපෙත්තේ වැජඹුණු බව ශ්‍රී ලංකික බොහෝ දෙනාගේ විශ්වාසයයි. ලංකා ඉතිහාසය සම්බන්ධයෙන් ජනගත වී ඇති මිත්‍යාව වන්නේ “වසර දෙදහස් පන්සියයක් තිස්සේ මේ උතුම් දිවයින සිංහල, බෞද්ධ, ධාර්මික, අභීත, ජනතා සුවසෙත සැලසූ රජවරුන් විසින් පාලනය කර විජාතිකයන් ගෙන් රැකගෙන නිර්මල, ථෙරවාදී බුදුදහමද ආරක්ෂා කළේය. අනාගතයේදීද මේ රට රැක ලොව විශිෂ්ඨම දේශයක් කළ හැක්කේ එවන් රජකුට පමණි.”යන්නයි. ලංකාවේ සත්‍ය ඉතිහාසය දෙස විමසිල්ලන් නොබැලීම මෙම වැරදි වැටහීමට හේතුවයි. මෙම විශ්වාසයේ සත්‍ය අසත්‍යතාවය විමසා බැලීම සිදුකළ යුතු කල එළඹ තිබේ.

විජය රජුගෙන් ඇරඹෙන ලාංකික රාජවංශය අවසන් වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙනි. මේ කාලය තුල ලංකාවේ අගනුවර ලෙස පැවති ස්ථානයන්හි රජවූ රජවරුන් ගණන 182 කි. මෙම අය අතුරින් ඉතිහාසයේ සනිටුහන් වන යමක් කල රජවරුන් ඇත්තේ දහයකට අඩු වැඩි ප්‍රමාණයකි. ඒ පණ්ඩුකාභය, දේවානම්පියතිස්ස, දුටුගැමුණු, සද්ධාතිස්ස, වළගම්බා, වසභ, මහාසේන, ධාතුසේන, සිගිරි කාශ්‍යප, විජයබාහු, පණ්ඩුකාභය, සවැනි පැරකුම්බා, මායාදුන්නේ, රාජසිංහ රජුන් පමණි.

බේබදු රජවරුන්

සිංහල රාජ වංශයට අයිති වන්නේ යැයි සැලකෙන රජවරුන්ගෙන් සත් දෙනෙකු ඉන්දියාවේ උපත ලද දේශීය සම්භවයක් නොමැති අයයි. සිංහසනාරුධ වූ අයගෙන් විසිහය දෙනකු බලයට පැමිණ ඇත්තේ ඊට පෙර සිටි රජු බලයෙන් පහකර දැමීමෙනි. ලක් ඉතිහාසයේ තමන්ට පෙර සිටි රජු මරාදමා බලයට පැමිණි රජුන් විසිනම දෙනෙකි. අප රජවරුන් අතුරින් තිස්නම දෙනෙකු සෙනෙවියන්, තම සොයුරන්, දරුවන් හෝ තම බිරිඳ අතින් ඝාතනය විය. තවත් එක් රජෙකු (කානිරජානුතිස්ස- ක්‍රි.ව. 30-33) මිහින්තලා විහාරයේදී භික්ෂුන් වහන්සේලාගේ හැට නමකගේ මුෂ්ටි ප්‍රහාරයකට ලක්ව අසීරුවෙන් දිවිගලවා නොගත්තේ නම්, මෙම ලැයිස්තුව තවත් එකකින් දිගුවනු ඇත.අප රජුන් අතුරින් ආක්‍රමණිකයන් අතින් ඝාතනය වී ඇත්තේ කිහිපදෙනෙකි. විසිතුන් දෙනකු අභ්‍යන්තර කැරළි කෝලාහල නිසා බලයෙන් පහවිණි. ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගයවූ අනුරාධපුර යුගයේ විසු රජවරුන්ගෙන් දෙදෙනෙකු මියගියේ බීමත්කමිනි. මෙයට නුවර යුගයේ නරේන්ද්‍රසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ එක්වුවිට ලංකාවේ රජවරුන්ගෙන් සතර දෙනකු ප්‍රසිද්ධ බේබද්දන්විය. අනුරාධපුරයේ රජවරුන්ගෙන් සතර දෙනෙකු සතුරන් සමඟ යුදයට ගොස් පරාජය වී සිය දිවි හානි කර ගති. ඒ පරසතුරන් සමඟ නොව තම රටෙහි සතුරන් සමඟ සටන් කොටය.

විජාතික ආක්‍රමණයන්

වසර 2300 පමණ වන අප ඉතිහාසයෙන් බ්‍රිතානයයන් යටත් කර ගැනීමට පෙර කාලයේදී පවා වසර 181ක් සිරිලක අගනුවර පාලනය කලේ දකුණු ඉන්දියානු ආක්‍රමිකණයන්ය. ලංකාවේ රජවරුන් බොහොමයක් විජාතිකයන්ට විරුද්ධව සටන්කොට රට රැකි බවද අසත්‍යයකි. විජාතික ආක්‍රමිකණයන් පන්නා දමා බලයට පැමිණ ඇත්තේ රජවරුන් හය දෙනකු පමණි. මෙයට ආක්‍රමිකණයන්ට විරුද්ධව සටන්කළ දඹදෙණි පරාක්‍රමබාහු, මායාදුන්නේ, සීතාවක රාජසිංහ, විමලධර්මසුරිය හා දෙවැනි රාජසිංහ රජවරුන්ද එක්කල විට එය දහයකට අඩුවැඩි ගනනක් වේ.

විජය රජු ලංකාවේ ලිඛිත ඉතිහාසයේ සඳහන් වන ප්‍රථම රජු වුවත් ඔහුගේ ක්‍රියාකලාපය අගය කරන අයෙකු නැති තරම්ය. අපගේ විමසුමට ලක්වන රජවරුන් අතරින් අගය කලයුතු රජෙකු ලෙස ජනගත වී ඇති පළමු රජු පණ්ඩුකාභයයි. ඒ අනුරාධපුරය නගරය ගොඩනැගීමත්, ලංකාවේ ප්‍රථම වැව යැයි සැලකෙන බසවක්කුලම තැනීමත් නිසාය. මෑත කලක එතුමා ලංකාවේ විසු යක්ෂ ගෝත්‍රිකයන් හා ඉන්දියානු සංක්‍රමිණකයන් එක්කොට සිංහල ජාතියට අඩිතාලම දැමුවේ යැයි මතයක් ඇතිවී තිබේ. එතුමා පවා බලයට පැමිණියේ තම මාමාවරුන් අටදෙනෙකු සහ මහා පිරිසක් මරා දමාය. අවසන් යුධයේදී කැපු හිස් ලබු ගෙඩි මෙන් එක් කල “ලබ්බුගාමක”, අද දින ලබුනෝරුවයි.

දේවානම්පියතිස්ස රජු ලංකාවේ බුදුදහම ස්ථාපිත කිරීමට කල මෙහෙය අතිමහත්ය. ඉන්පසු දුටුගැමුණු, සද්ධාතිස්ස දෙබෑයන් අබෞද්ධ එළාර පලවා හැර රට එක්සේසත් කල අයුරු මහාවංශයේ මැනවින් පැහැදිලි කරයි. එයට පරම්පරා තුනකට පසු වළගම්බා රජු දවස නැවත පරසතුරන් අගනගරය යටත් කර ගත්තේය. වළගම්බා රජු රට නැවත අත්පත් කරගැනීමට සටන් කල නමුත්, දැඩි මානයෙන් යුතු අයෙකු නිසා, ඔහුගේ සෙබළුන් කිහිපවිටක් ඔහුට විරුද්ධව කැරලි ගැසුවේය. මහායානය ලංකාවේ ස්ථාපිත වීමට මුල්වූ අභයගිරිය තැනුවේ එතුමාය.මෙයින් ථෙරවාදයට වන හානිය වටහාගත්, නියඟයකින්ද බටකෑ භික්ෂුන්වන්සේලා ත්‍රිපිටකය ග්‍රන්ථාරූධ කලේ රාජ්‍ය අනුග්‍රහයෙන්, අගනුවර වූ අනුරාධපුරයේදී නොව, ඇමතිවරයෙකුගේ උදවුවෙන් මාතුල දනවුවේ දිය.

අනුරාධපුර යුගයේ විසු රජවරුන්ගෙන් අවම වශයෙන් දස දෙනෙකු මහාවිහාරයට පිටුපා, ථේරවාදයට වඩා මහායානයට උදවු දුනි. මෙයිනුත් මහාසේන රජුගේ අනුග්‍රහයෙන් ලෝවාමහාපාය කැබලි වුනි. මහාසේන ප්‍රසිද්ධයට පත්වුයේ විශාල වැව් තැනූ නිසා වුවත් මහා වංශය ඔහුගේ කතාව සමාප්ත කරන්නේ හොඳ නරක දෙකම කල රජෙකු ලෙස සඳහන් කරමිනි. මින්නේරි දෙවියන් ලෙස වැඳුම් ලබන එතුමා, මියයන විටද මහායානය අත් නොහැරිබැව්, මහාවංශ කථාවෙන් පැහැදිලිවේ.

ඥාතීන් මරා රජවීම

වසභ රජු ගැන බොහෝ අය නොදැනගත්තත්, ඊට පෙර රජකල සුබ රජු මරා බලයට පැමිණි ඔහු, විශාල වාරිකර්මාන්ත ආරම්භ ආරම්භ කළේය. පරදේශක්කාර සතුරන් පලවා හැර, කලාවැව වැනි මහා වාපි කර්මාන්ත කෙරූ නිසා ගෞරවයට පාත්‍ර වන ධාතුසේන රජතුමාද, තම සොයුරිය නොකළ වරදකට පණපිටින් පුළුස්සා දැමීමටද, අහිංසක තවුසෙකු පණපිටින් වලලා දැමීමට තරම් සැහැසි විය. අවසානයේදී තම පුතුගේ අනින් කලාවැවේ බැම්මට තබා වැළලුනු එතුමාගේ පුත් කාශ්‍යප, සිගිරිය තනා ඉතිහාසගත වුවත්, තම සොයුරා සමඟ යුද වැද සියදිවි හානි කරගත්තේය.

මේ රජවරුන් අතර මහා විජයබාහු අද්විතීය ස්ථානයක් ගනී. රජෙකුට දාව නොඉපද, දකුණු ලක දුෂ්කර පෙදෙසක ගඩා ගෙඩි කමින් ජීවත්ව, තම උත්සාහයෙන් ගරිල්ලා හමුදාවක් තනා, ඉන්දුනීසියාව දක්වා තම බල පරාක්‍රමය පතුරුවා සිටි චෝල අධිරාජ්‍යය පරාජය කිරීමට එතුමාට හැකිවිය. සසුනට වැඩ කලද, මහා දාගැබ් නොතැනූ නිසාදෝ, එතුමාගේ නම විරු නාමාවලියේ සඳහන් වන්නේ මඳක් පහලිනි.වැවු අමුණු තනා රට සශ්‍රීක කල, බුරුමයට පවා පහරදුන්, බලවත් ශාසන සංශෝධනයක් කල මහා පරාක්‍රමබාහු රජතුමා අපගේ ගෞරවයට පාත්‍රවේ. එහෙත් එතුමා ජනතාවගෙන් අධික ලෙස බදු අයකළ බව, ඉන්පසු බලයට පැමිණි රජවරුන්ගේ සෙල්ලිපි කිහිපයකින් පැහැදිලිවේ. එතුමා රුහුණෙහි පැවති රාජධානිය විනාශකොට, එහි අගනුවර මුළුමනින්ම ගිනිබත් කොට, නැවත හිස නොඔසවන තැනට බිම හෙලීමට, විජාතික භටයන් ගෙන් සැදි හමුදාවන් යෙදවූ අයුරු “පුරාතන රෝහණය” ග්‍රන්ථයෙහි ආචාර්ය අලුත්වැව සෝරත හිමියන් මැනවින් පැහැදිලි කරයි.

ඊනියා රජුන් සොයා යාම

අපගේ ඉතිහාසය, විමසිල්ලෙන් හදාරා පාඩම් උගත යුතු විෂයයක් නොකොට, නොවිමසා පිදිය යුතු පූජා භාණ්ඩයක් බවට පත්කිරීම, මෑත කාලීන ප්‍රවණතාවයකි. මෙම ප්‍රවණතාවයේ ප්‍රථිපලයක් ලෙස පරම සුන්දර දශරාජ ධර්මයෙන් රජ කර, අප රට නැවතත් ලොවෙහි උතුම් රට බවට පත්කරන, රජෙකු සොයමින් අද දින ලාංකිකයන් අඳුරෙහි අතපතගායි.

15 වෙනි සියවසේ ලියැවුණු “පැරකුම්බා සිරිත” කව් පොතෙහි සඳහන් වන කවි පදයක් ඇසුරින් 1950 දශකයේ සිට ජනතාව තුල පැලපදියම් කල “දියසෙන් කුමරු” මිත්‍යාවද, මෙයට පොහොර දමයි. අද දින ලාංකිකයන්ට වඩා තම රජුන් ගැන යථා අවබෝධයකින් සිටි අනුරාධපුර යුගයේ මිනිසුන්, ගරු කලයුත්තන්ට ගරු කලත්, රජවරුන්ට වන්දනාමාන නොකළ බව මහාවංශයේ ඔවුන් හැඳින්වෙන වන ඇතැම් නම් වලින් පැහැදිලි වේ. වංකනාසික (ඇද නහයක් ඇති) තිස්ස, චෝර (හොර) නාග, ගෝථාභය (මිටි අභය), කුඨකණ්න (ඇද කනක් ඇති) තිස්ස මෙවන් නම් වේ. එනමුත් ඇතැම් රජවරුන්ගේ ගුණාංග අගය කිරීමටද ඔවුන් පසුබට නොවූ වග සමහර රජවරුන්ගේ පුර්ව නාම වලින් පෙනේ. සධ්ධා(ශර්ධාව ඇති )තිස්ස, වෝහාරික (නීති ගරුක) තිස්ස, ආමන්ද (සිත් සතුටු කල) ගාමිණී මෙවන් නම් වේ. පාලි බසින් ලියැවුණු නිසාදෝ වත්මන බොහෝ දෙනා “මහා වංශය” වංශකතාවක් ලෙස නොසලකා ආගමික ග්‍රන්ථයක් ලෙස පුදයි. එනමුත් මහාවංශ කතුතුමා පවා රජවරුන්ගේ ක්‍රියා දෙස වියුක්තව බැලූ බව මහාවංශයේ එක් එක් පරිච්චේදයෙහි සමාප්ත වාක්‍යයන් කියවන විට පැහැදිලිවේ. උදාහරණයක් ලෙස විජය රජුගේ කතාව අවසන් කරෙන්නේ ඔහු ” විෂම වූ සිය පෙර සිරිත් අතහැර” රාජ්‍යය කල බව පැවසීමෙනි. ලංකාවේ රජකළ රජවරුන් දෙස විමසිල්ලෙන් බැලූ විට පෙනීයන්නේ මෙරටට විශිෂ්ඨ සේවයක් කල රජවරුන් අතලොස්සක් සිටියද, බහුතරයක් කිසිදු වැදගත් දෙයක් නොකළ අය බවයි.

මෙය අත්විඳි, ලොව ඇති බහුතරයක් රටවල මිනිසුන් රජුන් බලයෙන් පහ කලහ. ඇතැමුන් මරාදැමුණි. අද රජුන් වසන සෑම රටකම ජනතාව ඔවුන්ගේ බලය අඩුකොට, නාමික රජුන් බවට පත්කොට ඇත. ආසියාවේ පවා රජවරුන් සිටි රටවල් ස්වෞත්සාහයෙන් රජවරුන් එළවා දමා හෝ බල සුන්කර තිබේ. ජපානය, මැලේසියාව, තායිලන්තය වැනි රටවල එවන් දළ සිඳුණු රජුන් සිටින අතර, බ්‍රිතාන්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතුකළ ඉන්දියාවේ මහාරාජාවරුන්ගේ දළ බිඳුනේ නිදහස ලැබුණු පසුයි. මෙම රටවල් බටහිර අධිරාජ්‍යවාදීන් විසින් හඳුන්වා දෙන ලද නිසා අපට නොගැලපෙන්නේ යැයි ඇතැම් ඊනියා දේශප්‍රේමින් පවසන, පාර්ලිමේන්තු ප්‍රජතන්ත්‍රවාදය තුලින් ඉදිරියට ඇදෙයි. ජනතාව විසින් බලයෙන් පහකිරීමට පෙර බ්‍රිතාන්‍යයන් විසින් රැගෙන ගිය නිසා, ශ්‍රී ලාංකික අපගේ සිතින් මිත්‍යාවක් වන “සුන්දර රාජ සිහිනය” තවමත් පහව ගොස් නොමැත. අද දින ලොවෙහි සැලකියයුතු පිරිසක් රට තැනීමට රජෙකු සොයන යම් රටක් ඇත්නම්, එය ශ්‍රී ලංකාව පමණක් විය යුතුය. බටහිර වේවා පෙරදිග වේවා හොඳ දේ අනුගත කරගැනීමට තරම් විචාර බුද්ධියක් අපට නොමැත.

අලුතින් රජුන් සොයා යන ලාංකිකයින්

මෙම “රාජ මිත්‍යාව” දෙස නැවත සිත්යොමු කිරීමට ශ්‍රී ලාංකිකයන් පෙළඹුණු අනෙක් හේතුව නම් රජෙකුට තරම් බලතල ඇති ජනපති ධුරයක් 1978 දී ඇති කිරීමයි. අලුතෙන් තැනු ඒ රජ පුටුවේ වාඩි වියයුත්තේ රජෙකු පමණි යැයිද , ඔහු රජෙකු ලෙස හැසිරිය යුතුයැයිද, ඇතැමුන් සිතා සිටී. ගෙදරින් තම කෑමවේල ගෙන ඒම රජෙකුට නොහොබින්නේ යැයිද, රජෙකු ආහාර ගත යුත්තේ රජෙකු ලෙස බැවු කියමින්, ඇතැම් ජනපතිවරුන් විහිළුවටද ලක්වුණි. උද්ධච්ච කමද, දැඩි මානයද, අධික ලෙස ජනතාවගේ මුදල් වියදම් කිරීමද සැබෑ රජෙකු සතු ගුණධර්ම ලෙස සිතා, රජු බලයේ සිටි කල සිදුවූ සියලු හොඳ දේ රජුගේ ගිණුමට පමණක් බැර කර,රජු දුටු තැන වැඳ වැටීම යහගුණයක් යයි සිතන ජනතාවක් සිටින තුරු නවීන ලෝකය සමඟ ඉදිරියට යාම සිහිනියකි.

නිහතමානිකම,අන් මත වලට සවන්දී තීරණ ගැනීම, දරදඬු නොවීම,නොදන්නා දේ නොදන්නේ යැයි පැවසීම, “රජෙකුට” නොගැළපෙන ගතිගුණ යැයි සිතන “රජුන් “අපට මග පෙන්වන තුරු, රට ගොඩනැගිය නොහැක. මෙවන් “රජෙකු ලෙස හැසිරෙන රජෙකු” පතන ශ්‍රී ලාංකිකයන්, ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස විමසිල්ලෙන් බැලුවහොත්, අප පත් කර ගන්නා රජෙකු හොඳ රජෙකු වීමේ සම්භාවිතාව සියයට හතකට (7%) වඩා අඩු බව වටහා ගනු ඇත. අප ඉතිහාසයෙන්, අප උගතයුතු පාඩම එයයි.

(මෙම ලිපිය ලිවීමට මහාවංශයේ විවිධ සංස්කරණත්, University of Ceylon- History of Ceylon ග්‍රන්ථ ද්විත්වයත්, එහි සංක්ෂිප්ත සංස්කරණයත් උපයෝගී කර ගතිමි)

 

 

 

 

 

 

Social Sharing

Related posts