දරුවන් ගැන ජාතිකළමාරක්ෂක අධිකාරියට දිනකට පැමිණිලි 30-60 ත් අතර!

ජාතික ළමාරක්ෂක අධිකාරියට ගත වූ මාස නවයට දරුවන් සම්බන්ධ පැමිණිලි 7958 ක් වාර්තා වී ඇති බවත් දිනකට පැමිණිලි 30 – 60 ත් අතර ලැබෙන බවත් ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ, නීතිඥ  සජීවනී අබේකෝන් මහත්මිය පවසයි.

ළමා වැරදි සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කිරීම සඳහා ළමා හිමිකම් පිළිබඳ අධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් අධිකරණ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කොට ඇති බව දරුවන් සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කිරීම සඳහා ක්ෂේත්‍ර කිහිපයක් යටතේ උපමාන හා නිර් ණායක  සකස්  කොට ඇති බවත් ඇය සඳහන් කර සිටියි.

ඒ අනුව ළමයෙකු වශයෙන් පිළිගන්නා වයස් සීමාව ජාත්‍යන්තර වයස් සීමාව හා සම තත්වයට ගෙන ඒම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඇතැයි හෙළි කළ ඇය කියා සිටියේ ළමා අධිකරණ ස්ථාපිත කිරීමේ වැඩසටහනට සමගාමීව ළමුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා පොලිස් විමර්ශන  ඒකකයක් ද ස්ථාපිත වනු ඇති බවය.

දරුවන් යළි වින්දිතයන් බවට පත් වීම වැළැක්වීම සඳහා පළාත් නමය තුළ දරුවන්ගේ ප්‍රකාශ සජීවී පටිගත කිරීම  ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව පැවසු ඇය දරුවන් අධිකරණ තුළට කැඳවා ප්‍රශ්න කිරීම වෙනුවට මාර්ගගත තාක්ෂණය හා සමාන තාක්ෂණයක් උපයෝගි කර ගනිමින් සජීවී පටිගත කිරීමේ වැඩසටහන් ‍ක්‍රියාත්මක කිරීම සුදුසු බවට උපමාන ලබා දී ඇති බවද ප්‍රකාශ කළාය.

ළමා වරදකරුවන්ට දඬුවම් ලබා දීමේදී ඒකාකාරී දඬුවම් ක්‍රමයක් ලබා දීමට හැකි සංශෝධන ඉදිරිපත් කරන බවත් එහිදී වැඩිහිටියන්ට ලබාදෙන දඬුවම් වලට සාපේක්ෂව ළමා දඩුවම් ලිහිල් වීම පිළිබඳව අවධානය යොමු කොට ඇතැයිද අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

දරුවන් හිංසනයට ලක්වීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පමණක් තනිවම විමර්ශනය කළ නොහැකි යැයි කී ඇය ඒ සඳහා පොලිස්පති දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව  යන ආයතන ඇතුළු ආයතන ගණනාවක් ක්‍රියාත්මක වන බවද කීවාය.

පසුගිය වසර ගණනාව තුළ ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි අතරින් පැමිණිලි හැටදහසක ප්‍රමාණයක් මේ දක්වා අවසන් වී නොමැති යැයි කී ඇය දෙපාර්තමේන්තුවේ පවතින නිලධාරී හිඟය ඊට එක් ප්‍රධාන හේතුවක් වී ඇතැයි ද සඳහන් කළාය. මෙම වර්ෂයේ සැප්තැම්බර් මස 30 වන දින වන විට අධිකාරියට ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය 7958කි.

ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි අතරින් අවසානයට ලැබුණු පැමිණිල්ල වයස අවුරුදු දහයක දැරියක් සිය පියා අතින් දුෂණයට ලක් වීමක් යැයි කී ඇය ඇගේ මව නිවසේ කුස්සියේ ආහාර පිසිමින්  සිටියදීම එම සිද්ධිය සිදු වීම බෙහෙවින් කණගාටු දායක යැයි සඳහන් කළාය.

මේ අයුරින් දිනකට පැමිණිලි තිහත් හැටක් අතර ප්‍රමාණයක් වාර්තා වන බව කී ඇය සමාජයේ ඊට වඩා සිද්ධීන් ගණනාවක් සිදු වන බවත් සඳහන් කළාය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාරිය කෲර වධ හිංසනයට පත් කොට ඝාතනය කිරීමේ සිද්ධිය සමගින් පසුගිය ජූලි මාසයේදී පැමිණිලි ගණනාවක් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුණු බවද කීවාය.

එවැනි පැමිණිලි ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරිය සතු පොලිස් ඒකකයක් ක්‍රියාත්මක වන නමුත් එහි පවතින නිලධාරී හිඟය හේතුවෙන් තිය ක්‍රියාත්මක කිරීමේ යම් යම් ප්‍රමාද සිදුවන බව සඳහන් කළාය.

දිවයිනේ පොලිස් ස්ථාන වලට ලැබෙන පැමිණිලි වලට සාපේක්ෂව ජාතිකයන් ළමාරක්ෂක අධිකාරියට සිදුකරන පැමිණිලි වඩා විශ්වාසනීය යැයි මහජනයා තුළ තයක් පවතින බවත් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළාය

ළමා ආරක්ෂාව හා ළමා හිංසනය වැළැක්වීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පමණක් තනිවම කළ හැක්කක් නොවන බවත් ඒ සඳහා සමස්ථ සමාජයේ ක්‍රියාත්මක වීමක් සිදුවිය යුතු යැයි  ජාතික ළමා රක්ෂක අධිකාරියේ නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ සජීවනී අබේකෝන් මිය පවසයි

ඇය මේ මේ බව කියා සිටියේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය හා අයිතිය වෙබ් අඩවිය විසින් ළමා අපයෝජන පිලිබඳ  අද (08) පැවැත් වු ” ළමයින් මල් වගේ ” සුම් සාකච්ඡාවේදීය. මෙම සාකච්ඡාව මෙහෙවවිම මාධ්‍යවේදී කේ. සංජීව මහතා විසින් මෙහෙයවන ලදි.

මෙම සංවාදය සඳහා රංගවේදිනී කෞෂල්‍යා ප්‍රනාන්දු, රංගවේදිනී නදී කම්මැල්ලවීර, මාධ්‍ය පර්යේෂකා දීපාංජලී අබේවර්ධන මහත්මීන් ද සහභාගී විය.

නදීක දයා බණ්ඩාර

Social Sharing
නවතම