ලෝක ගුරු දිනයට පෙර වදනක්.

රටක අද ලබන අධ්‍යාපනය එරට අනාගතයේ කැඩපතක් ලෙස සැලකෙයි. එම අධ්‍යාපනය බිම් මට්ටමේ ක්‍රියාවට යොදවන්නේ ගුරු ප්‍රජාව විසිනි. වර්තමානයේ ගුරුවරුන් නිර්මාණය කරන පාඨමාලාත් ඔන්ලයින් මගින් ම ක්‍රියාත්මක වෙයි.

අපේ රටේ ගුරු අධ්‍යාපනයේ වර්තමානය ගැන  සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමයේ විධායක සභික කථිකාචාර්ය එස්.එම්.පී. බණ්ඩාර මහතා  දැක්වූ අදහස් මෙසේ සටහන් කරමු.

“ලෝකයේ ඕනැම රට ගුරු අධ්‍යාපනය ප්‍රධාන ආකාර දෙකකින් යුක්තයි. එකක් තමයි සේවයට පත් වෙන්නට පෙර ගුරු පුහුණුව ලැබීම ඒක පූර්ව සේවා ගුරු අධ්‍යාපනය(pre-service teacher education) කියලා හදුන්වනවා. අනික සේවාස්ථ ගුරු අධ්‍යාපනය(in-service teacher education) නැතිනම් සේවයේ යෙදෙමින් ගුරු පුහුණුව ලැබීම මෙම දෙ අංශයෙන් ම අපේ රටේ ගුරුවරුන් ගුරු සේවයට එකතු වෙනවා.

ගුරුවරුන් බදවා ගැනීමේ මූලික ආකෘතියක් ගුරුසේවා ව්‍යවස්ථාව හරහා ලබා දි තිබෙනවා. එහි සදහන් වෙනවා ගුරු සේවයට ඇතුළත් විය හැක්කේ කාටද කියලා. නමුත් අපේ රටේ ගුරු සේවා ව්‍යවස්ථාවට පිටිනුත් විටින් විට ගුරු සේවයට බදවා ගැනීම් ඉතිහාසය පුරාම සිදු වී තිබෙනවා. කෙසේ වුවත් ගුරු සේවයට ඇතුළත් වුණාම එම සේවයේ විශිෂ්ටතාව ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ ගුරු පුහුණුව තුළින්. ගුරු සේවයට ඇතුළත් වුණාම ඒ අයට සේවයේ යෙදී සිටියදී පුහුණුව ලැබීම ට අවස්ථාව තිබෙනවා. මෙරට ගුරු විද්‍යාල වගේම විශ්වවිද්‍යාල හා තවත් එවැනි උසස් අධ්‍යාපන ආයතන ඒ සදහා අවකාශ සලසා දි තිබෙනවා.

උපාධිධාරියෙක් නම් ඔහුට හෝ ඇයට හෝ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවක් විශ්වවිද්‍යාලවලින් හෝ වෙනත් එවැනි උසස් අධ්‍යාපන ආයතන තුළින් හෝ ලබා ගන්න පුළුවන්. එය ශාස්ත්‍රීය පරිචය ලබා දීම පමණක් නොව ප්‍රායෝගික පුහුණුව ද සහිත ගුරුවරයෙකු ලෙස නිපුණතාවන් ලබා දීමක් වෙනවා. එම පුහුණුවෙන් පසු තමයි ගුරුවරයාට ලැබෙන්නේ වෘත්තීය සුදුසුකම් ලත් උපාධිධාරීයෙකු හෝ පුහුණු ගුරුවරයෙකු යන නාමය. මේ සංඛ්‍යාව සාමාන්‍යයෙන් ගුරුසේවයට ඇතුළත් වෙන පිරිසෙන් සියයට 30කටත් අඩු සංඛ්‍යාවක්.

අනිත් කණ්ඩායම තමයි පූර්ව සේවා ගුරු පුහුණුව ලබන අය. මේ අයත් වර්ග දෙකක් ඉන්නවා. එක කණ්ඩායමක් අපේ රටේ තිබෙන විශ්වවිද්‍යාලවල අධ්‍යාපන පීඨ මගින් බිහිකරනු ලබන අධ්‍යාපනවේදී උපාධිධාරින්. මෙම සංඛ්‍යාව වසරකට සියයක් එකසිය පනහක් පමණ සංඛ්‍යාවක්. අනිත් කණ්ඩායම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් පිටවන 4000ත් 6000ත් අතර සංඛ්‍යාවක් වන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින්. එහෙම බැලුවාම පැහැදිලිව ම පෙනෙන දෙයක් තමයි මෙරට පූර්ව සේවා ගුරු පුහුණුව සපයන ප්‍රමුඛම ආයතන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ බව.

නමුත් අද වන විට මේ පූර්ව සේවා ගුරු අධ්‍යාපනය ඉතාම සෝචනීය ලෙස විනාශ වෙමින් පවතින බව නිරීක්ෂණය වෙනවා. 2014 දී ජාතික අධ්‍යාපන  කොමිසන් සභාව(NEC)විසින් කළ පර්යේෂණයකින් යෝජනා කර තිබෙනවා මෙරට පූර්ව සේවා ගුරු අධ්‍යාපනයේ ගුණාත්මක බව හා එහි ප්‍රමිතීන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ  විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කර ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව වෙනුවට අධ්‍යාපනවේදී විශේෂ උපාධියක් ලබා දීම සුදුසු බව. එහෙම තිබුණත් මේ කතා බහ වසර 35ක් තිස්සේම සිදු වුණා.  අපට මතකයි 2000 වසරට පෙර අප විද්‍යාපීඨවල ඉගෙන ගන්න කාලෙත් මේ ප්‍රශ්නය මුල් කරගෙන විද්‍යාපීඨවල විරෝධතා පැවතියා. නමුත් අධ්‍යාපන විද්‍යාපීඨවල ප්‍රශ්න දවසින් දවස උග්‍ර වුණා මිස ඒවාට විසදුම් සෙවීමට කටයුතු කර නෑ.

පූර්ව සේවා ගුරු අධ්‍යාපනය අධ්‍යාපන විද්‍යාපීඨවලට පැවරෙන්නේ 1986 අංක 30 දරන ජාතික අධ්‍යාපන විද්‍යායතන පනතින්. ඊට අනුව මුලින් ම විද්‍යාපීඨ 5ක් ස්තාපිත කෙරුණා,එය වර්තමානය වන විට 19 දක්වා වර්ධනය වී තිබෙනවා. දල වශයෙන් වසරකට 4000ත් 6000ත් අතර ගුරු සිසුන් සංඛ්‍යාවක් මෙම ආයතන තුළ දෑවුරුදු නේවාසික හා එක් අවුරුදු සීමාවාසික  පුහුණු කාලයකට යටත් ව බිහි කිරීම සිදුවෙනවා. විශේෂයෙන් ම නේවාසික කාල සීමාව තුළ අඛණ්ඩව ශාස්ත්‍රීය පරිචය ලබනවා. වෘත්තීය විෂයයන්,විශේෂ විෂයයන් හා සාමාන්‍ය විෂයයන් යටතේ. ඒ වගේම එම විෂයයන්වල න්‍යාය හා මූලධර්ම ප්‍රායෝගිකව අත්හදා බලමින් නිවැරදි ගුරු පෞරුෂයක් නිර්මාණය කර ගැනීමට අඛණ්ඩව ක්‍රියාකාරකම් සමූහයක යෙදෙනවා. ඒ කාළය තුළ දින 40 ක ප්‍රායෝගික ඉගැන්වීම් පුහුණුවට යොමු වෙනවා. විද්‍යාපීඨ ඇගයීම් ක්‍රියාවලියත් සංකීර්ණයි.අභ්‍යන්තර අඛණ්ඩ ඇගයීම් ක්‍රියාවලියක් ද බාහිර විභාග ද පැවැත්වෙනවා. ඉන් පසු තමයි සීමාවාසික පුහුණුව සදහා ගුරු සිසුන් පාසල්වලට යොමු කරන්නේ. එහි දි ඔවුන් වෘත්තිය ව්‍යවහාර දියුණු කර ගැනීමට විශාල කාර්යභාරයක් ඉ‍ටු කරන්න ඕන. මේ සියල්ලෙන් පස්සේ තමයි ඔවුන් විද්‍යාපීඨයෙන් නික්මෙන්නේ.

දැන් ඇතිවී තිබෙන ප්‍රශ්න දෙස බැලුවාම එහි ප්‍රමුඛම ගැටලුව තමයි අධ්‍යාපන විද්‍යාපීඨ පරිපාළනය, නියාමනය, විෂය මාලා සංවර්ධනය, ධාරිතා සංවර්ධනය,අවසන් විභාග පැවැත්වීම ඇතුළු කටයුතු ආයතන 4ක් මගින් ක්‍රියාත්මක කිරීම. අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යාපීඨ  ශාඛාවෙන් හා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පරිපාළනමය කටයුතු සිදු කෙරෙනවා .ජාතික අධ්‍යාපන ආයතනයෙන් විෂය මාලා සංවර්ධනය ,විෂය මාලා නවීකරණය හා ධාරිතා සංවර්ධනය,විභාගවලින් කොටසක් පැවැත්වීම,ඩිප්ලෝමා ප්‍රදානය සිදු කෙරෙනවා .ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් අවසන් විභාගය පවත්වනවා. ගුරු සිසුන් ගේ අධ්‍යයන හා සම්පූර්ණ ගුරු පුහුණු කටයුතු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් සිදු කෙරෙනවා. එතකොට මේ ආයතන 4 හි කාර්යක්ෂමතාව හා ඔවුන්ගේ සහාය,මැදිහත්වීම මත තමයි විද්‍යාපීඨයක සියලු කටයුතු සිදු වෙන්න ඕන.

එහෙත් සැබැවින් ම සිදුවන්නේ එය නෙමෙයි. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විද්‍යාපීඨ පරිපාළන කටයුතු මෙහෙයවා ගන්න පත් කර සිටින ප්‍රධානියාත් අධ්‍යාපන විද්‍යාපීඨ ගැන දැනුමක්, අවබෝධයක් නැති කෙනෙක්. පාසල් පරිපාළනය කර තිබෙන කෙනෙකුට ගුරු අධ්‍යාපනය ගැන නිවැරදි වැටහීමක් ඇති කියලා සිතන්න බෑ. එය ඔවුන් ගේ ලිපි ලේඛනවලින් පවා ඔප්පු කරනවා. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක ප්‍රධානියා ඒ ශ්‍රේණියේ ආයතනයක කළමනාකරුවෙක්. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට හිමි බලතල පැවරෙනවා. නමුත් මොවුන් එවන රාජකාරි ලිපිවල පවා අවසානයට තියෙන්නේ විද්‍යාපීඨ පීඨාධිපති කියලා. ඒක උදාහරණයක් විතරයි. දැන් 2018 – අ.පො.ස. (උ.පෙ.) විභාගය සමත් සිසුන්ගෙන් සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් වසර 03ක් ගෙවල්වල. ඔවුන් බදවා ගැනීමට තවමත් අමාත්‍යාංශයට හැකි වෙලා නෑ. එතකොට එහි අකාර්යක්ෂමතාව හොදටම පැහැදිලියි.

වසර 2004 දී සංශෝධනය කළ විෂය මාලා නවීකරණයක් තමයි 2010 සිට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ක්‍රියාත්මක වෙන්නේ. 21 වන සියවසට ගැලපෙන නවෝත්පාදක ගුරුවරයෙකු(Innovative Teacher) බිහි කර ගැනීමට අවශ්‍ය ශාස්ත්‍රීය හා ප්‍රායෝගික කුසලතාවන් ලබා දෙන්න හැකි වෙන්නේ විෂය මාලාව තුළින්. එහෙම එකක් වසර ගණනාවකින් සිදු වෙලා නෑ. මේ කටයුත්ත ඇතුළු කාර්යයන් ‍රැසක් ජාතික අධ්‍යාපන ආයතනයට පැවරෙනවා. ඒ අය ඒක කලට වේලාවට සිදු නොකළොත් සිදුවන අගතිය අමුතුවෙන් කියන්න ඕන නෑ. ගුරු සිසුන්ගේ අවසන් ඇගයීම් හා විද්‍යාපීඨය මගින් සිදු කරන අඛණ්ඩ ඇගයීම් සියල්ලෙහි ම ලකුණු සාමාන්‍යකරණය කර ඔවුන්ට ඩිප්ලෝමා ප්‍රදානය සිදු කරන්නේ ද මෙම ආයතනයෙන්. ඒකත් කලට වේලාවට සිදුවනවා දැයි සොයා බලන්න පුළුවන් ඕනම කෙනෙකුට.

තුන්වන ආයතනය තමයි විභාග දෙපාර්තමේන්තුව .. පසුගිය අගෝස්තු දක්වා සීමාවාසිකව සිටියේ 2015 අ.පො.ස.(උ.පෙ.)විභාගය ලියා 2017 දී විද්‍යාපීඨ  එන්න ඔන අය. ඒ අය ආවෙ 2018 දී.ඔවුන්ගේ බාහිර විභාගය නැතිනම් අවසන් විභාගය පැවැත්වෙන්න තිබුණෙ ඔවුන්ගේ නේවාසික දෑවුරුදු කාලය අවසන්ව සීමාවාසික පාසල්වලට යොමු කිරීමට පෙර .ඒක පවත්වන්න හොදටම ඉඩකඩ තිබුණත් ඒක විභාග දෙපාර්තමේන්තුව නොසලකා හැරියා. අදටත් ඔවුන්ගේ අවසන් විභාගය පවත්වන දිනයක් වත් නියම වෙලා නෑ.  පසුගිය වසරවල ඌන සාමාර්ථලාභී ගුරු සිසුන් 123ක් ඉන්නවා මේ අයට විභාගයක් තියලා නෑ. දැන් ඔවුන්ගේ වයස අවුරුදු 30කටත් වැඩියි. කවුද මේ අකාර්යක්ෂමතාවට වගකියන්නේ.?

අනෙක් ආයතනය විද්‍යාපීඨය. එහි කථිකාචාර්යවරුන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉතාම දක්ෂ ශාස්ත්‍රීය පරිචය හා ඉගැන්වීමේ මේ කුසලතා සහිත ඉහළ සුදුසුකම් ලත් පිරිසක්. අපේ විද්‍යාපීඨවල දර්ශනශූරි උපාධි(PhD) තිබෙන ආචාර්යවරු 35ක් පමණ සේවය කරනවා. දර්ශනපති(M.Phil.)  තිබෙන සෑහෙන පිරිසක් ඉන්නවා. ඊට අමතරව පශ්චාත් උපාධි කිහිපයක් ම ලබපු අය ඉන්නේ. අති බහුතරයට ඉහළම සුදුසුකම් තිබෙනවා. ඔවුන් ඒ ඒ පීඨයට අනන්‍ය උ පසංස්කෘතින් ඇතුළේ ඒ ඒ විෂයයන් සදහා ගුරු සිසුන් පුහුණු කිරීම සිදු කරනවා. අඛණ්ඩ ඇගයීම් කරනවා. ප්‍රායෝගික ඉගැන්වීම් පුහුණුව ඉතාම ඉහළ පළදායිතාවකින් ක්‍රියාත්මක කරනවා.

නමුත් තිබෙන ප්‍රශ්නය ඔවුන්ට නිදහසේ තම ගුරු ශිෂ්‍යයන්ගේ කුසලතා සංවර්ධනයට ඉඩකඩ අහුරලා තියෙනවා ඉහත කී ආයතන විසින්. ඒ නිසා තමයි අපි කියන්නේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල කොමිසන් සභාව යටතේ ස්වාධීන විශ්වවිද්‍යාලයක් කරන්න කියලා. ගුරු ශිෂ්‍යයන්ට වඩාත් උසස් ගුණාත්මක  හා ඉහළ ප්‍රමිතියෙන් යුත් ගුරු පුහුණුවක් දෙන්න නම් නිදහසේ වැඩ කරන්න මේ ආයතනවලට ලබා දිය යුතු මයි.

මෙය සිදු කළ යුතුයි කියන්නේ ඒකට විතරක් නෙමෙයි. දැන් පවතින 2014 සංශෝධිත ගුරු සේවා ව්‍යවස්ථාව අරගෙන බැලුවොත් ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව ලබා ගුරු සේවයට එකතු වන ගුරුවරුන් සිටිනේ (3-11ආ) පංතියට අයත්වයි. ඔවුන් ගුරු පුහුණුව ලබා  ඉන් පසුවයි ගුරු සේවයට එන්නේ. නමුත් කිසිදු පුහුණුවක් නැතිව ගුරුසේවයට එන උපාධිධාරියා ඊට උඩින් ඉන්නේ. මේක ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවට(SLQF) අයත් ධූරාවලිය අනුව සකස් කරපු එකක් වෙන්න පුළුවන්. ඒ නිසා පුහුණුව වඩාත් ප්‍රශස්ත මට්ටමකට ලබා දීලා තවත් එක් පියවරක් ඉදිරියෙන් මේ පිරිස තියන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනා දෙයක්. ඒ කියන්නේ එයාලත් ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ 7 වන මට්ටමට තියන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවේ තත්ත්වය උසස් කර එයට අධ්‍යාපනවේදි විශේෂ උපාධිය පිරිනැමීමයි.

මේක කරන්න නම් අර ඉහතින් කී ආයතන 3කින් මේ ආයතන නිදහස් විය යුතුයි. මොකද අධ්‍යාපන විද්‍යාව දන්න අධ්‍යාපනයේ ප්‍රාමාණික අවබෝධයක් තියෙන අයට එහී පරිපාලනය, සංවිධාන ගත වීම හා නියාමන කටයුතු භාර විය යුතු නිසා. දැන් විද්‍යාපීඨ ගුරුවරයාට පීඨයෙන් පාසල් පද්ධතියට එකතු වී තවත් වසර 5ත් 7 ත් අතර කාලයක් ගත කරන්න සිදුවෙනවා උපාධි , පශ්චාත් උපාධි ඩිප්ලෝමා   ලබන්න. එතකොට ගුරු ජීවිතයේ හොදටම වැඩකරන්න තිබෙන තරුණ කාලය වැයවෙලා ගිහින් ඉවරයි.

මේ අසාධාරණයට තමයි විද්‍යාපීඨ ගුරු ශිෂ්‍යයා එදා ඉදන් වසර 35ක් තිස්සේ අරගල කරේ. ඒක මතුපිටට පෙනෙන්නේ නැත්තේ විද්‍යාපීඨ ශිෂ්‍යයාට අනිත් විශ්ව විද්‍යාල සිසුන් මෙන් නිදහසක් ස්වාධීනත්වයක් නැති නිසා. අපේ අදහස නම් විද්‍යාපීඨවල දැන් පවත්වාගෙන යන ප්‍රමිතීන් හා නියමයන් ආරක්ෂා කර ගනිමින් අලුත් ගුරු විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම සුදුසුයි. ඒක ආයතන ගොඩකට නොදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පිහි‍ටුවිය යුතු තවත් වැදගත් කරුණක් තියෙනවා. ඒ තමයි ජාතික අධ්‍යාපන ආයතනය මේ අවුරුදු 35 තුළ විද්‍යාපීඨ ගුරුවරුන් ට අධ්‍යාපනවේදි විශේෂ උපාධීය පිරි නමනවා. එය වසර 4ක 5ක කාලයක් ගතවන එකක්. නමුත්  කාලය,ශ්‍රමය,මුදල් සියල්ල කැප කරමින් ගුරු වෘත්තික බව ලබන්න මේ සුදුසුකම් සම්පූර්ණ කරන්න වීම අනවශ්‍ය බරක්. අනිත් කරුණ මෙම ආයතනයෙන් පිරිනමන උපාධි හෝ පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහතිකය ලංකාවේ විශ්වවිද්‍යාලවල පිළිගැනීමකට ලක් වෙන්නේ නෑ. විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල දී ලෝක මට්ටමෙනුත් ලංකාව වශයෙනුත් ජාතික අධ්‍යාපන ආයතනය බොහොම පහලින් ඉන්නේ. ඒ නිසාත් විද්‍යාපීඨ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යටත් කළ යුතුයි.

දැන් තිබෙන තත්ත්වය නම් විද්‍යාපීඨ සියල්ලම තව දුරටත් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කර පවත්වාගෙන යනවා. සීමාවාසී කාල සීමාව අවසන් කළ ගුරු සිසුන්ගේ අවසන් විභාගය පවත්වා නෑ. දැන් දෙවන වසර ගුරු සිසුන්ගේ නේවාසික කාල සීමාව ඔක්තෝබර් 21න් අවසන් කරන්න කියලා අමාත්‍යංශයෙන් දැනුම් දීලා තියෙනවා. දෙවන වසරේ සිටින ගුරු සිසුන් ගත්තොත් ඔවුන්ට මාර්ග ගතව නැතිනම් ඔන්ලයින් මගින් තමයි න්‍යායික අධ්‍යයනයන් සිදු කෙරුනේ. කිසිදු ප්‍රායෝගික පුහුණුවක් ලබා දී නෑ.

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස විද්‍යාපීඨය පවරා ගත් අවසන් දිනයේත් අලුතින් විද්‍යාපීඨයට බැදුනු ගුරු සිසුන් හිටියා. ඔවුන් කිසි දෙයක් දන්නේ නෑ. ඒ නිසා අපි කියන්නේ දැන් පාසල්වල ගුරුවරුන් එන්නත්කරණය කර වයස අවුරුදු 12 ට වැඩි සිසුන් ට එන්නත් කිරීම ගැන අවධානය යොමු වී තිබෙනවා. පාසල් ආරම්භ කිරීමෙත් ඉගි ලැබී තිබෙනවා. විද්‍යාපීඨත් ඊට සමගාමීව ආරම්භ කළ යුතුයි.ගු රු සිසුන්ට හා අධ්‍යයන,අධ්‍යයන සහාය සේවා සේවකයින්ටත් එන්නත්කරණය සිදු කර වහාම මේවා ආරම්භ කරන්න පියවර ගන්න ඕන. වසර එකහමාරකට වැඩි කාලයක් විද්‍යාපීඨ වහලා. ඒවා විවෘත කරන්න කිසිම සැලැස්මක් නෑ.

මුලදී කොරෝනා රෝගීන් ලෙස එම මධ්‍යස්ථානවලට ගෙනා රෝගීන් ගුරු සිසුන්ගේ පෞද්ගලික දේපල හා පොත් පත් නේවාසිකාගාර ඇතුළු බොහෝ දේවල් විනාශකරලා තියෙන්නේ. එක උදාහරණයක් කිව්වොත් පුලතිසිපුර විද්‍යාපීඨයේ ගුරු සිසුන්ගේ ඇදුම් පැළදුම්,පෞද්ගලිකව පරිහරණය කළ දෑ, පොත් පත් සියල්ල විනාශ කරලා. එක් ගුරු සිසුවෙකුගේ මේ අලාභය රුපියල් 60 000 ක් පමණ වෙනවා. නේවාසිකාගාරවල අනෙකුත් දේවල් පවා විනාශ කරලා මේවා ප්‍රතිසංස්කරණයට කිසිදු වැඩපිළිවෙලක් නෑ. ඒ නිසා මේ කටයුතු දැන්වත් ආරම්භ කරන්න. මුලින් ම විද්‍යාපීඨ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් නිදහස් කරන්න. මේ ගුරු සිසුනුත් දැඩි මානසික පීඩනයක ඉන්නේ. ඔවුන් කිසිම ප්‍රායෝගික අත්දැකීමක් නැතුව සීමාවාසික යවයි කියලා.මේ  මානසික අවපීඩනය ඒ තරුණ ළමයි හැමෝටම එක විදිහට දරා ගන්න අමාරුයි.

මේ අසාධාරණය සිදු වී තිබෙන ඉච්ඡාභංගත්වයට පත්ව සිටින පිරිස ආසන්න වශයෙන් අධ්‍යයන වර්ෂ 03 ම 15000කට වැඩියි. ඇයි මේ ගැන නොබලන්නේ. තරුණ ජීවිතවල මේ පීඩනය මේ විදිහට දරාගෙන සිටීමට කොතෙක් දුරට හැකිවෙයි ද කියන්න කාටවත් බෑ. සීමාවාසික කාල සීමාව අවසන් කළ ගුරු සිසුනුත් ඌන සාමාර්ථලාභී ගුරු සිසුනුත් විතරක් නෙමෙයි  දෙවන වසර දක්වා ම ඔන්ලයින් ඉගෙන ගත්ත ගුරු සිසුනුත් අනාගතයේ ගුරු සේවයට එකතු වෙන්න බලාගෙන හීන දකිමින් ඉන්න තරුණ තරුණියනුත්  සියලු දෙනාම පාහේ ඉන්නේ දැඩි මානසික  අසහනයකින් ඉච්ඡාභංගත්වයකින්. ඒක තේරුම් ගන්න කෙනෙක් නැති වීම කණගා‍ටුවට කරුණක්. ඒ නිසා අධ්‍යාපන ඇමතිවරයාගේ , ලේකම්වරයාගේ අවධානය වහා යොමු විය යුතුයි.

ඊළගට 2018 අ.පො.ස.(උ.පෙ.) විභාගය ලියලා විද්‍යාපීඨ එන්න බලාගෙන ඉන්න තරුණයින් මානසික පීඩනයකට ලක් වෙලා ඔවුන්ට නිකන් ම වයස ගෙවෙනවා. කිසිදු බලාපොරොත්තුවක් නැතුවම. මේවාට ඉක්මනින් පිළියම් යෙදෙව්වේ නැත්නම් අපේ රටේ අධ්‍යාපනික අර්බුදය (Educational Crisis) තවත් උග්‍ර වෙනවා.

වසරකට ගුරුවරුන් 8000ක් පමණ විශ්‍රාම යනවා. ඒ විශ්‍රාම ගන්නා ගුරුවරුන්ගේ පුරප්පාඩුව යම් පමණකට පිරිමහ ගන්නේ විද්‍යාපීඨවලින් පිටවන ගුරුවරුන්ගෙන්. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා දැන්වත් පූර්ව සේවා ගුරු අධ්‍යාපනය නගා සි‍ටුවන්න. වහාම විද්‍යාපීඨ ආරම්භ කරන්න. ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වටපිටාව සකසන්න කියලා.  ඒ වගේම විද්‍යාපීඨ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කරන්න කියලා.

අවසාන වශයෙන් ගුරුවරුන් ගැන ගුරු ගෞරවය ගැන වැඩිපුරම කතා කරන ලෝක ගුරු දිනය යෙදෙන දිනයේ හෝ ඊට ආසන්න දිනක දීවත් මේ ගැන නිල ප්‍රකාශයක් ලබා දෙන්න කියලා  බලධාරින්ගෙන් ඉල්ලා සිටින්න කැමතියි .ගුරුවරයාට නිසි ගෞරවය දැක්වීම හුදෙක් වචනයට පමණක් සීමා නොකර වැ‍ටුප් අරගලයේ යෙදෙන ගුරුවරුන්ගේ ප්‍රශ්න ගැනත් අනාගත ගුරුවරුන් බිහිකරන ආයතන ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍යම කාලයක අප පසු වෙන්නේ. එබැවින් මේ ප්‍රශ්න විසදා ගන්න එක්ව සාකච්ඡාවෙන් විසදුම් සොයමු කියා යෝජනා කරන්න කැමතියි.

Social Sharing
නවතම සාකච්ඡා