කවුරු හරි මැටිල්ඩාගෙන් අහන් නැද්ද  ඔය අශ්වයා විකුණනවද කියලා?

ගන්න නෙමේ. අපිට ඔය අශ්වයා ගන්න රුපියල් කෝටි 142ක්වත්, යුරෝ මිලියන 6ක් වත් නෑ. හැබැයි ඒ ගාන දීලා අශ්වයෝ ගන්න මිනිස්සු ඕනේ තරම් ඉන්නවා.

මැටිල්ඩා කාල්සන් සහ එයාගේ සහකරුවයි කරන්නේ ජර්මනියේ හැම්බර්වල ඉදන් ඔය වගේ ඉහල මිලකට අලෙවිකල හැකි අශ්වයෝ හදන එකයි, පුහුණුකරන එකයි. ඒවා පොඩි පොඩි වෙලද ව්‍යාපාර නොවේ ඩොලර්/ යුරෝ/පවුම් මිලියන ගානක ව්‍යාපාර. 2012 වසරේදී කුඩාවට පටන්ගත්ත මැටිල්ඩලගේ Grönwohld Hof පුහුණුකරන ලද අශ්වයන් විකිණීමේ වෙලදාම මේ වනවිට කිසියම් විශාල සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා. මැටිල්ඩා කාල්සන් ඉදිරිපත්වූ මෙම ටෝකියෝ ඔලිම්පික් උළෙලේන්  අනතුරුව ඔවුන්ට අලුත් සල්ලිකාරයෝ වැහිවැහලා ඉන්න ආසියානු, මැද පෙරදිග කලාපවලත් හොද වෙලදපොලක් විවරකර ගන්න හැකිවෙන බව නොඅනුමානයි.

මැටිල්ඩා කාල්සන් පහුගිය දවස්වල ලංකාවේ වගේම විදේශීය මාධ්‍යයවලිනුත් ලබාගත්ත ප්‍රචාරණය ඊට හොද ඉඩ ප්‍රස්ථාවක් විවර කරන බව නම් පැහැදිලියි.

ඇත්තටම, මැටිල්ඩා ඔලිම්පික් පදක්කමක් දින්නත්, පැරදුණුත්, ඒ අය දිනුම්. ඒ අයගේ Grönwohld Hof ආයතනය යටතේ සිදුකරන පුහුණුකරන ලද අශ්වයන් විකිණීමේ වෙලදාම ඒ අය කලින් කලාටත් වඩා හොදට කරයි.

හැබැයි, අර ලංකාවට පදක්කමක් ගෙනත්දෙනකම් ඇස්දල්වා බලන්හිටිය, පහන් හැගුමෙන් පවන් සලපු, ‘අපේ කෙල්ලට පදක්කමක් ලබාදියන් චෝපින් වා’ කියලා අශ්වයාටත් පහන් පහන් පත්තුකරපු අපේ මිනිස්සුන්ට නම් පව්.

කොච්චර අමාරුවෙන් ජීවත්වුනත් මොහොතකට හරි ආත්මාභිමානයෙන් ආඩම්බර වෙන්න, රටේ ජයග්‍රහණයක් වෙනුවෙන් සංතෝෂ වෙන්න බලන් උන්නු අපේ රටේ මිනිස්සු පව්.

ඒ වගේම අර උනුත් කන ගමන් ජනතාවටත් කැවුම් කවන මාධ්‍යය සෙට් එකට නම් හොද වැඩේ…බලා නොබලා එන ඕනෑ කෙහෙල්මලක් කරේ තියන් දුවනවට හොද වැඩේ… කාව කාව හරි පුම්බමින්  අශ්වයින්ටත් වඩා වේගයෙන් දුවන, උන්ටත් වඩා උඩින් පැනලා ලංකාවේ මිනිස්සුන්ව අන්දන මාධ්‍යයකාරයින්ට නම් මේපාරත් උනේ දඩස් ගාලා බිමට කඩන්පාත්වෙන එක විතරයි. හැබැයි ඉතින් ඒ අයටත් ඒවා හොදට පුරුදුයි. ඒවා ඒ ඔගොල්ලෝ පුරුදුවෙන්න කරන වැඩ නෙමේ. හැබැයි මේ මෙහෙම වූනාම ඒ අයටත් ටිකක් බිම ඉදලා බැලුව හැකියි.

ඒත් ඒ අය තවමත් ලියන්නේ කියන්නේ පරන කයි-කතන්දර. ඩන්කන් වයිට්ලා ගැන, සුසන්තිකාලා ගැන. නැත්නම් ක්‍රිඩා තරගවලට ගිහිලා වෙන රටවලට පැන්න ‘මචං’ ලා ගැන.

ලෝකයේ ක්‍රිඩාවේ නව ප්‍රවනතා ගැන, තාක්ෂණික වර්ධනයන් ක්‍රිඩාවේ සහ ක්‍රිඩක/ක්‍රිඩිකාවන්ගේ දක්ෂතාවලට සිදුකර ඇති, සිදුකරමින් ඇති බලපෑම් ගැන, ඒ ඒ රටවල ක්‍රිඩාවේ අභිවෘද්ධියට වෙන්කර ඇති ප්‍රතිපාදන, ක්‍රියාමාර්ග ආදිය ගැන කිසිම අවධානයක් අපේ රටේ මාධ්‍යය යොමු නොකිරීම අපේ රටේ ක්‍රිඩාවේ කඩා වැටීමට එක් හේතුවක්. ඒ අය එහෙම හොයාබලා තොරතුරු ගෙන එනවා නම් අපේ රටේ ක්‍රිඩාවේ සහ ක්‍රිඩක/ක්‍රිඩිකාවන්ගේ අභිවෘද්ධියට මෙන්ම ක්‍රිඩාවේ තීන්දු තීරණ ගන්නා ආයතන සහ නිලධාරීන්/නිලධාරීනියන්ට   විශාල පිටුවහලක් වේවි. ඒහෙත් අපේ මාධ්‍යය වඩා කැමති කාව කාව හරි පිම්බීමට නැත්නම්, තියෙන එකම තලුමැරීමට විතරයි.

කොහොමවුනත්, රටේ ක්‍රිඩාව යකාට ගියත්  ව්‍යාපාරික අරමුණින් ක්‍රිඩාවට ප්‍රවිශ්ඨ වෙන ක්‍රිඩක/ක්‍රිඩීකාවන්ට නම් ලංකාව වගේ රටවල  ඉඩකඩ තවදුරටත් වැඩි වැඩියෙන් විවෘත කරන බව නම් පැහැදිලියි. ඒ අනුව මැට්ල්ඩා වුනත් ජර්මනියේ සිය ව්‍යාපාර හොදින් කරගෙන යන ගමන්  ලංකාවේ නම සහ කොඩිය යටතේ නැවත නැවත ක්‍රිඩාවේ  නිරතවෙයි. ක්‍රිඩකයෙක්, ක්‍රිඩාවක් වෙලද දැන්වීමකට පෙනී සිටිනවාට වඩා වැඩි මුදලක් ඒ අයට සිය ව්‍යාපාර ඔස්සේ ඉපැයීමට ඇති ඉඩ අතිවිශාලයි. ඒ අනුව ආසියානු වෙලද පොලේ ලොකු ඉඩක් විවරකරගන්නා තුරු ඔවුන් අශ්වයෝ පනියි. සමහරවිට ඇයගේ ඊලඟ ඉලක්කය ආසියානු ක්‍රිඩා උලෙළේ වෙන්නට පුලුවන්.

එදාටත්, ඒ අයගේ ව්‍යාපාර කෙසේවුනත්, දෙමව්පියෝ අපේ රටේනේ, අපේ කොඩියනේ ආදිය කියමින් ආත්මාභිමානයෙන් ආඩම්බර වියහැකි ඉඩප්‍රස්ථාවක් ක්‍රිඩා පිටියේද සොයමින් සිටිමු!!

මාකස් ප්‍රියන්ත පෙරේරා

Social Sharing
නවතම විශේෂාංග