ලංකාවේ සෑම පැයකටම කොවිඩ් මරණ 03 ක්!

කොවිඩ් වෛරසයේ තිඹිරිගෙය වන්නේ චීනයේ වූහාන් නගරයය. චීනයේ කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 4636 ක් මිය ගොස් තිබුණි. නමුත් මේ වන විට චීනයට වඩා ලංකාවේ සිදුවන මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇත.

ඊයේ (04) වන විට පමණක්  මෙරට මරණ 4727 ක් වාර්තා වී තිබුණි. එමෙන්ම ශ්‍රී ලංකාවේ මෙතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ඊයේ වාර්තා විය. ඒ්  මරණ 82 ක් ලෙසිනි.

ඊට පෙර දින ද කොරෝනා මරණ 74 ක් වාර්තා වූ අතර දින 02 ක් තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 154 ක් විය.

මේ සම්බන්ධව අවධානය යොමු කරන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතික පවසන්නේ රටේ පවතින තත්ත්වය අනුව සෑම පැයකට වරක් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු මිය යෑමේ ප්‍රවනතාවයක් ඇති බවය.

මෙය ඉතාම ඛේදජනක තත්ත්වයකි.  මේ වන විට කොවිඩ් රෝගීන්ගෙන් පිරි ඉතිරි ගිය රෝහල් වල ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය ජාලා වලද සංසරණය  වෙමින් තිබේ.  ඒ් අතර රාගම රෝහල හා කලුබෝවිල රෝහලේ දසුන් වලින් පෙනී යන්නේ අද කොවිඩ් රෝගීන්ට අත්ව ඇති ඉරණමය.

ගතවූ පැය 24 මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද 2,561 දෙනෙකු දක්වා ඉහළ ගිය අතර මෙලෙස මෙරට දෛනික ආසාදිතයින් 2,000 සීමාව ඉක්මවා ගියේ අඛණ්ඩව 07 වන දිනටය. ඉකුත් 29 වනදා සිට මේ දක්වා ගතවූ දින 07 තුළ දෛනික ආසාදිතයින් 2500 සීමාව ඉක්මවා ගිය දෙවන අවස්ථාව ද මෙය බවද සෞඛ්‍ය අංශ හෙළි කරයි.

විශේෂඥ වෛද්‍ය මනිල්ක මහතා පවසන්නේ වත්මන් තත්ත්වය අනුව එන්නත්කරණ වැඩසටහන වේගවත්ව සිදුවුවත් ඉන් පුද්ගලයෙකුට ලැබෙන ආවරණය ලැබීමට කාලයක් ගතවන බැවින් මේ වන විට වෛරසය දිනන තත්ත්වයක් ඇතිවී තිබෙන බවය.

ශානි

Social Sharing
නවතම