ලෝක කුසලාන පවා දීමේ සිද්ධියෙන් මහින්දානන්ද පරදියි.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණය අද (03) අවසන් කර තිබේ.

මෙකී පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මේ දක්වා ලබාගත් කටඋත්තර තුනෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඉදිරිපත් කළ කරුණු 14 සනාථ කරන්න හැකියාවක් නොමැති බව පෙනී ‌ගොස් ඇතැයි එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා පවසයි.

ඒමෙන්ම අයි.සී.සී. එකට යොමු කළ ලිපිය සම්බන්ධයෙනුත්  අයි.සී.සී. මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති අතර  අයි.සී.සී. පරීක්‍ෂණයක් කරලත් නැති බවට පෙනී ගොස් තිබෙනවා යැයිද ඔහු පවසයි.

සියලුම ක්‍රීඩකයන් ගෙන්වා ගෙන  කටඋත්තර ගැනීම හරහා ආදෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය කිරීමක් බවට මෙය පත් වී ඇතැයිද  මෙය ගැටලුවක් ඇති විය හැකි දෙයක් බවද ඔහු පෙන්වා දෙයි.

විශේෂ විමර්ශන ඒකකයය විසින් කටඋත්තර ගත්ත තිදෙනාම සාධාරණ හේතු කියා ඇති බවත්  විශේෂයෙන්ම කණ්ඩායම් මාරු කළේ ඇයි කියා සඳහන් කර ඇතැයිද ඔහු කියා සිටියි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය නොකර මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ආමාත්‍යංශයේ ලෙක්ම්වරයාට වාර්තාවක් යැවීමට නියමිතය.

Social Sharing
නවතම