අපේකම හා සදාචාර පද්ධතිය -බැසිල් ප්‍රනාන්දු

‘‘හෝමෝසේපියන්ස්’’ නමින් හදුන්වනු ලබන මානවයා ඇතිවීමත්, ඉන් පසු දීර්ඝ කාලයක් ඔස්සේ එම මානවයන්ගේ අත්දැකීම් හා කල්පනා ධාරාවන් තුලින් වර්ධනය වූ ආධ්‍යාත්මික ගතිගුණත්, පසු කාලීනව ඇති වූ සියල්ලන්ගේම දායාදයක් බවට පත් විය. එම දායාදය ඉතාමත් පොහොසත් කාලයකට එලබෙන්නේ එම මානවයන් අතර ඇති වූ ආචාරධර්මයන් හෙවත් සදාචාරයන්ගේ වර්ධනයත් සමගය. ඇත්තෙන්ම එම මානවයන්ගේ සාමූහිකත්වයේ ඇගිලි සලකුණ වන්නේ එම සදාචාර පද්ධතියයි.

අප‍්‍රිකාවෙන් උපත ලැබූ එම මානවයා ලෝකයේ බොහෝ දිසාවලට ගමන් කලහ. ඉන් පසු ඔවුහු යම් යම් දේශවලට අවතීරණව එම දේශවල තිබූ සම්පත් යොදා ගනිමින් තමන්ගේ පැවැත්ම කරගෙන ගියහ. එම පැවැත්මේ දී මෙම මානවයා තුල තිබූ යම් ප‍්‍රධාන හැසිරීම් රටාවක් ජෝසෆ් ටෙනන්ට් නැමති විද්වතානන් විසින් ඔහුගේි‘සංකීර්ණ සමාජයන්ගේ කඩා වැටීම’’ (Collapse of complex societies)  යන සුප‍්‍රසිද්ධ කෘතියෙහි සදහන් කරයි. එසේ ඔහු සදහන් කරන මුල් මානවයන්ගේ ගතිගුණ මෙසේය. ඔහු එක් ප‍්‍රදේශයක බොහෝ කාලයක් ජීවත් වූහ.

එකම ප‍්‍රදේශයක දීර්ඝ කාලයක් ජීවත් වීම තුලින් එම ප‍්‍රදේශයේ දේශගුණය, එම ප‍්‍රදේශයේ පොලොවෙහි සරුසාරකම, එම පොලොවට ඔරොත්තු දෙන ගස් කොලන් පිළිබද දැනීම, එම ප‍්‍රදේශයේ ජීවත් වන සතුන් පිළිබද දැනීම හා වෙනත් ස්වාභාවික වස්තූන් ජලය, ඉර අව්ව ආදිය පවතින ආකාර පිළිබදව ඔවුහු අති විශේෂඥ ඥානයක් තමන් තුල ගොනු කර ගත්හ. මුල් කාලයේ මානවයා මෝඩයෙක්ය හා සීලාචාරයක් නොතිබුන කෙනෙක් යනුවෙන් නිර්මාණය කරගෙන ඇති අදහස මුලුමනින්ම වැරදි සහගත අදහසක් වන්නේ දීර්ඝ කාලීනව එක් ප‍්‍රදේශයක් තුල ජීවත් වීම තුල ඥානනයේ ඇතිවන මහා පරිමාණ වෙනස්කම හදුනා ගැනීමට නොහැකි වූ නිසාය.

මහා පරිමාණව දැනීමක් දියුණු කරගන්නා මානවයා තුල ඇතිවන ප‍්‍රධානම වෙනසනම් ඔහු තුල ඇතිවන්නා වූ ප‍්‍රාඥ්ඥ ගුණයයි. ප‍්‍රඥ්ඥාව වනාහි පොත පත බලා ඇති කර ගත හැකි ගුණාංගයක් නොෙව්.

එය ඇති වන්නේ සාමුහික ජීවිතයේ ප‍්‍රායෝගීකව නියැලීම නිසා හදුනා ගන්නා ගුණාංග පිළිබදව හා ජීවත් විය යුතු ආකාරය පිළිබදව සිදු වන අවබෝධය මගිනි. ලංකාවට දැනට අවුරුදු එක් ලක්ෂ විසි පන්දහසකට පමණ පෙර පැමිණි එම මානවයා දීර්ඝ කාලයක් ඔස්සේ සාමූහිකව ජීවත් වී ඇති කරගත් ඥානයේ පදනම දැන් ජීවත් වන හා අනාගතයේදී ඇතිවෙන්නා වූ සියලූම ලාංකිකයන්ගේ සදාචාර පද්ධතිය හා ආධ්‍යාත්මික ගුණයන් ඇති කල කාලය විය.

පසු කාලීනව පැමිණි සංක‍්‍රමණිකයන් කිසිවෙකුට එවනි දීර්ඝ කාලීන අත්දැකීම් තුලින් ලබා ගත් ආචාරධර්ම පද්ධතියක් නොමැති බව කිව හැක්කේ එවනි සදාචාර පද්ධතියක් නිර්මාණය වී මුල් බැස ගැනීම සදහා අතීශයින් දීර්ඝ කාලයක් ගත වන නිසාය. මුලින්ම ශාරීරික වශයෙන් කකුල් දෙකක් මත සිටගත් වානරයාගේ සිටි‘හෝමෝසේපියන්’’ නැමති මානවයා ඇතිවීම දක්වා වර්ෂ මිලියන තුනක් පමණ ගත වන්නට ඇතැයි විද්‍යාඥයෝ ප‍්‍රකාශ කරති.

ශාරීරික වර්ධනයේ පරිනාමික වෙනසක් ඇති කිරීමට එසේ දීර්ඝ කාලයක් ගත වූවා සේම සදාචාර පද්ධතියක් සමාජ ගත වීම සදහා ද විශාල කාලයක් ගත විය. ෙම් නිසා ලංකාෙව් ආචාරධර්ම පද්ධතිය මුලින්ම ඇති වූයේ මෙම ආදිකාලීන ස්වදේශීය මානවයාගේ දීර්ඝ කාලීන අත්දැකීම් ඔස්සේය.

මෙම මානවයන්ගේ දෙවනි ලක්ෂණය වූයේ ඔවුන්ගේ පැවැත්මට ඉතා බරපතල තර්ජනයක් ඇති වූ අවස්ථා වලදී  ඔවුහු වෙනත් තැන් වලට ගමන් කොට ඒ තැන් වල පදිංචිකරුවන් බවට පත් විය. අධික වර්ෂාව නිසා හෝ, මැඩ පැවැත්විය නොහැකි ජල ගැලීම් වැනි ස්වභාවික හේතූන් නිසා හෝ අධික වශයේ රස්නය ඇති වීම වැනි විටින් විට ඇති වන ප‍්‍රශ්ණයන්ගේ හෝ, උල්කාපාතයන්ගේ කඩා වැටීම තුල ඇති වන වෙනස්කම් නිසා ආදී වශයෙන් බරපතල තර්ජනයක් ඇති වන කල්හි ඔවුහු තවත් තැනකට ගොස් පදිංචි වූහ. එකල ජීවත් වූ මානවකයන්ගේ ප‍්‍රමාණය විශාල නොවූ හෙයින් හා පාලු බිම් ප‍්‍රදේශයන් පැවති හෙයින්, එසේ එක් තැනක සිට තවත් තැනකට ගොස් පදිංචි වීෙම් හැකියාව ඔවුන්ට තිබුනේය.

ඔවුන්ගේ පැවැත්මේ තවත් ලක්ෂණයක් වූයේ විශාල ගැටීම් නොපැවතීමය. මේ නිසා මෙයින් අදහස් කරන්නේ පුද්ගලික මට්ටමින් යම් ගැටීම් ඔවුන් අතර නොතිබුනාය යන්න නොෙව්. එහෙත් මහා ගැටීම් සිදු වන්නේ හුදු පුද්ගලික හේතූන් මත නොව සාමූහික ලෙස ජන කොටස් මත ඇති වන ගැටලු නිසාය. ආදිවාසී ස්වදේශික මානවයාට මෙවනි ගැටලුවක් ඇති වීමට හේතුවක් ඇති වුනේ නැත.

සරල හා සංකීර්ණ සමාජයන්

ඉහත සදහන් කරුණු නිසා ඔවුන් ජීවත් වූ සමාජය සරල සමාජයක් හැටියට සලකනු ලබයි. මෙහිදිී සරල යනුවෙන් අදහස් වන්නේ අතීශයින් සංකීර්ණ නොවූ යන අදහසය. මානව පැවැත්ම තුල සංකීර්ණ බාවයක් පවති. එම සංකීර්ණ බාවය ආදි කාලීන මානවයාද අත් දකින්නට ඇත.  සරල සමාජය හා සංකීර්ණ සමාජය අතර ඇති වෙනස පදනම් වන්නේ සමාජ සංවිධානයේ සරලභාවය හා සමාජ සංවිධානයේ සංකීර්ණ බව යන අර්ථ වලිනි.

නාගරික ආර්ථිකයේ වර්ධනය වීමත්, තාක්ෂණයේ ඇති වන්නා වූ විශාල වෙනස්කම් නිසාත් මානව සමාජ සංවිධානයන් වඩ වඩාත් සංකීර්ණ බාවයට පත් විය. අප ජීවත් වන මෙම කාලයේදී මෙම සංකීර්ණ බාවය අදහාගත නොහැකි ප‍්‍රමාණයෙන් ඉහලට ගමන් කොට ඇත. අද දාර්ශණිකයන් පවසන්නේ මානව වර්ගයා මුහුණ දෙන මහා පරිමාණ ගැටලුවක් බවට මෙම සංකීර්ණ බාවය පත් වී ඇත යන්නය.

මුල් කාලීන මානවයා හා ඊට බොහෝ කලකට පසු කාලීනව පැමිණි කණ්ඩායම් බොහෝ විට සංක‍්‍රමණිකයන් මෙන්ම විවිධාකාරයෙන් සෑම දේශයන්ටම ගලා එන වඩා සංකීර්ණ සමාජයන්ගේ බලපෑම ඇති වීමත් සමග සරල සමාජයක පැවති ජීවන රටාව මෙන්ම සදාචාරධර්ම පද්ධතිය සම්බන්දයෙන්ද ගැටලු ඇති විය.

එම ගැටලු හා අතීශයින් දීර්ඝ කාලයක් ඔස්සේ ගොඩ නැගුණු සදාචාර පද්ධතීන් අතර අන්තර් සම්බන්දයක් ඇති වීමට පටන් ගනී. එම අන්තර් සම්බන්දයේ දී බාහිරින් එන සමහර බලපෑම් මුලින් පැවති සමාජයේ ජීවත් වූවන් විසින් උකහා ගනු ලබයි. එසේ උකහා ගැනීම තුල සදාචාර පද්ධතියේ බිද වැටීමක් සිදුවන්නේ නැත. එයින් සිදුවන්නේ එක්තරා සංකීර්ණ බාවයක් වර්ධනය වීම හා පසු කාලීනව ඇති වන ගැටලු වලට මුහුණ දීමට ඇති වැඩි හැකියාවක් ඇති වීම පමණි.

එහෙත් පසු කාලීනව ඇති වී ගලා එන සමහර බලපෑම් විශාල කාලයක් ඔස්සේ වර්ධනය වූ සමහර ධර්මයන් සමග ගැටී ඇති අවස්ථාවන්ද ලෝකය පුරාම දැක ගත හැකිය. රෝම අධිරාජ්‍යය වර්ධනය වී බොහෝ කාලයකට පසු එවනි ගැටීමක් ඇති වූ ආකාරයත් එම ගැටීම තුලින් රෝම අධිරාජ්‍යවාදය කඩා වැටුනු ආකාරයත් ඉතිහාසයේ සදහන් වී ඇත. මෙවනි අවස්ථාවන් ලෝකය පුරාම දැක ගත හැකිය.

බෞද්ධ ආචාරධර්ම

බොහෝ කාලයක් වර්ධනය වූ ආචාර පද්ධතියක් හා ඒ සමග සාධනීයව බද්ද වන තවත් ආචාරධර්ම පද්ධතියකුත් අතර ඇති වන ඉතා උතුම් සම්බන්දතාවයක් හා වර්ධනයක් බුදු දහම ලංකාවට පැමිණීමත් සමග සිදු වූ බව පෙනී යයි. මෙම හමුවීෙම්දී කැපී පෙනෙන්නේ මුල් කාලයේ මානවයාගේ සරල සමාජය තුල නොතිබුනු අලුත් ගැටීම් ඇතිවන කාලයක දී, එනම් සංවිධානාත්මක කෘෂිකර්මය ඇති වීමත් ඒ මගින් අතිරික්තයක් නිර්මාණය වීමත් ඒත් සමගම, වානිජයේ ඇති වන වෙනස් කම් හා ඒ මගිනුත් ඒකරාශී වන ධනයේ වර්ධනයක් ඇති වීමත්, ඒත් සමගම ඇති වන රාජ්‍යත්වයත් සමගම පැන නගින රාජ්‍යයේ ඇති වීමත් හා ෙම් කරුණු වලට අදාල වෙනත් කරුණු ඇති වීමත් සමග සදාචාරාත්මකව පැන නැගුණු ගැටලු විසදීමෙහිලා බෞද්ධ දර්ශණය නව ප‍්‍රාණයක් ලාංකික ජනතාව වෙත ලගා කරන ලදී.  විශාල වශයෙන් තන්හාව හා කෑදරකම පැතිරී යාම මුල් කාලයේ මානවයා ජීවත් වූ සමාජය තුල පැවතියේ නැත. ධනය ඒකරාශී කිරීම මගින් ඇති වන සමාජ ගැටුම්ද එම සමාජයේ පැවතුනේ නැත.

එම ගැටීම් නිසා ඇති වන්නා වූ විශාල ප‍්‍රචන්ඩත්වයන්ද දරුණු විනාශයන්ට පවා අතීත කාලයේ සරල සමාජය තුල පැවතුනේ නැත. සමාජ සංවිධානයෙහි ඇති වුනු සංකීර්ණ මෙම ගැටලූ විසදීමෙහිලා විවිධ දාර්ශණික මතවාදයන් පැන නැග්ගේය. ඒවා අතරින් ඉන්දියාෙව්දී ඇති වූ බලවත්ම සාධකය වූයේ මුල් කාලීන බුදු දහමය.

මේ නිසා ඉතා පරිණත ආකාරයකින් සදාචාරධර්ම පද්ධතියක් සමාජගත කිරීෙම් දැඩි ප‍්‍රයත්නයක් දැක ගත හැකිය. බුදු දහම හැර ජෛන ආගමද මෙම සාධනීය වර්ධනයන්ට බලපෑ සාධකයක් විය. මෙම අවදියේදී සරල සමාජයක් තුලින් දීර්ඝ කාලීනව මුල් බැසගත් සදාචාරයක් වඩාත් පෝෂණය කිරීම බුදු දහම මගින් සිදු කරන ලදී.

පසු කාලීන ඉන්දීය බලපෑම

පසු කාලීනව ඉන්දියාවෙන්ම පැමිනි තවත් දර්ශණවාදයක් බුදු දහමට පටහැනි දාර්ශණික මූලධර්මයන් තුල පිහිටා තිබුනේය. එම දර්ශණවාදය නියෝජනය කෙරෙන්නේ අධිසංකර නමින් හැදින් වූ දාර්ශණිකයා තුලිනි. ඔහුගේ දර්ශණවාදයත් බෞද්ධ දර්ශණවාදයත් අතර ඇති වූ ප‍්‍රධාන දාර්ශණික වෙනස්කම වූයේ අධිශංකර්ගේ දර්ශණයේ පදනම වූයේ බාහිර ලෝකයත් මානසික ජානනයත් දෙකක් නොව එකක් යන අදහස මතය. බෞද්ධ ධර්මය පදනම් වී තිබුනේ බාහිර ලෝකය, ජානනය හා ආධ්‍යාත්මය අතර අන්තර් සම්බන්දතාවයක් ගැඹුරින් පවතින නමුත් මෙය එකක් නොව දෙකක්ය යන අදහස මතය.

මෙම දර්ශණවාද දෙක සදාචාර පද්ධතියක් සම්බන්දයෙන් ඉතා ගැඹුරු වෙනස්කම් නිර්මාණය කරයි. මෙම අධිශංකර් විසින් නියෝජනය කල දර්ශණවාදය ක‍්‍රි.ව. 8 වන ශත වර්ශයෙන් පසු කාලයේදී ඉන්දියාවේ පැතිර ඉන්දියාවේ පැවති බුදු දහම මුලු මනින්ම අතුරුදහන් කර දමන ලදී. එහි බලපෑම ම පසු කාලීනව ලංකාවටද පැමිනි නමුත් ඉන්දියාවේ මෙන් බුදු දහමේ බලපෑම මුලු මනින්ම යටපත් කිරීමට බැරි විය. මෙහිදී මෙම කතාව වැදගත් වන්නේ සදාචාරයක් වර්ධනයේදීත් සාධනීය වර්ධනයන් ඇති වන්නා මෙන්ම සාධනීය නොවන බලපෑමද ඇති වන බව පෙන්වීම සදහා පමනි.

යුරෝපීය යටත් විජිතවාදී බලපෑම

පසු කාලීනව ඇති වූ යුරෝපීය යටත් විජිතවාදීන්ගේ කාලය තුල සිදු වූයේද එවනි තත්වයකි. ඒ තුල සදාචාරධර්ම වලට ඇති වූ ප‍්‍රධාන වෙනස නම් රටේ ස්වදේශික ජනතාවගේ ප‍්‍රයෝජනය සදහා නොව පිට රටක ප‍්‍රයෝජනය සදහා යම් බිමක් හා එම බිමෙහි ඇති වන ඵලදාව යොදා ගැනීම තුලින් ඇති වන මහා පරිමාණ ගැටලූය.

එසේ එයද ධනය රුස් කිරීම වටා ඇති වන ගැටලුවක් විය. එම ධනය රුස්කරවා ගැනීම සදහා රටෙහි සුලූ කොටසක් අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවන් ඉටු කර දීමට යොදා ගන්නා ලද්දේ අධ්‍යාපන ක‍්‍රමය තුල ඇති කරන ලද වෙනස්කම් නිසාය. ඔවුන් තුලින් ඇති වූ අචාරධර්ම බොහෝ දුරට රටේ හා රටේ ජනතාවගේ සුභ සිද්ධිය නොව අධිරාජ්‍ය වාදීන්ගෙන් හා ඔවුන්ගෙන් යැපුණු මෙම සුලු කොටස සදහා යොමු විය. මේ අනුව මේ කාලය තුලද රටේ ආචාරධර්ම පද්ධතිය සම්බන්දයෙන් ගැටලු මතු විය.

කුල ක‍්‍රමයේ බලපෑම

අධිශංකර්ගේ බලපෑම යටතේ ඇති වූ ගැටලුත් අධිරාජ්‍යවාදීන්ගේ කාලේ ඇති වූ ගැටලුත් අතර මැද ඇති වූ තවත් විශාල ගැටලුවක් නම් ලංකාෙව් සමාජ රටාව කුල ක‍්‍රමය මත පදනම් කිරීම මගිනි. එය ලෝකයේ වර්ධනය වූ අතීශයින්ම සදාචාර ධර්මතාවන්ට පටහැනි වූ දෙයකි. බටහිර රටවල වහල් බාවයේ වර්ධනය වීමෙන් ඇති වූ අගතිකාමී බලපෑම වැනි තත්වයක් කුල ක‍්‍රමය යටතේ සිදු විය. එය ලංකා සමාජය තුල එකිනෙකා බෙදීම මත පදනම් වූ සමාජ සංවිධානයක් බිහි කලේය.

එම ක‍්‍රමය අවුරුදු දාහකට වැඩි කාලයක් රටේ ප‍්‍රධාන සංවිධාන රටාව සේ පැවතියේය. මින් පසු විවිධ කුල කණ්ඩායම් ‘අපේ මිනිසුන්’’ යනුවෙන් හදුන්වා ගත්තේ ඔවුන්ගේ කුලයට අයත් වූ අය පමණය. ආදි කාලීන ස්වදේශිකයාගේ කාලයේදී පැවති අපේ කම පිළිබදව අවබෝධයත් කුල ක‍්‍රමය ඇති වීමත් සමග අපේකම පිළිබදව ඇති වූ පටු අදහසත් අතර ගැටීමක් පසු කාලීන ලාංකීය සමාජය තුල දැක ගත හැකිය. කාන්තාවන් යටපත් කිරීම මගින් ඇති වූ අගතිකාමී බලපෑම හා මේ ආකාරයෙන් ඇති වූ අගතිකාමී බලපෑම් අතරට ඉහතකී කරුනු එකතු වේ.

අවසාන වශයෙන් ලංකාව යටත් විජිතභාවයෙන් ස්වාධීන වූ පසුද විවිද ක‍්‍රම වලින් රට තුල ඇති වූයේද ආචාරධර්ම සම්බන්දයෙන් සාධනීය නොවන බලපෑමය. මේ අනුව බලන කල රට තුල අපේ යැයි කියා ගත හැකි ඉතා පොහොසත් සදාචාරධර්ම පද්ධතියක් ඉතා ගැඹුරින්ම පදනම් වී තිබෙන අතරම ඊට පටහැනි වූ බලපෑම් වලද පැතිරීමක් සිදු වී ඇත.

ලංකාව තුල දැන් පවතින සියලුම අර්බුද හා ගැටලු සම්බන්දයෙන් විසදුම් සෙවීෙම්දී, ආචාරධර්ම පද්ධතිය සම්බන්ධයෙන් පවතින මෙම අතීශයින් සාධනීය වූ පැත්ත මෙන්ම අතිශයින් අගති ගාමී වූ පැත්තද සලකා බැලීම මග නොහැරිය හැකි කාර්යක් බවට පත් වී ඇත.

බැසිල් ප‍්‍රනාන්දු

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment