කොන්දොස්තරගෙන් මාධ්‍යවේදියාට කණේ පහරක්!

කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනයවූ පෞද්ගලික මගී බස් රථයක ගමන්කළ ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු තම ගමන්වාරයට අදාලව නිකුත් කළ ටිකට් පතේ ඉතිරි මුදල් ඉල්ලා සිටීම නිසා කෝපයට පත්වූ කොන්දෙස්තරවරයා මාධ්‍යවේදියාගේ කණට පහරදී ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

පහර කෑමට ලක් වූ රෝහණ චන්ද්‍රදාස මලවරආරච්චි මහතා මේ සම්බන්ධයෙන් ඊයේ (26දා) රාත්‍රියේ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අනුරාධපුර පදිංචි මෙම මාධ්‍යවේදියා සිය දියණියගේ අවශ්‍යතාවක් සදහා කොළඹ ප්‍රදේශයට ගොස් කිරිබත්ගොඩ නගරයෙන් නැවත අනුරාධපුර නගරයට පැමිණීමට බස් රථයට නැග තිබේ. අංක 41230 යටතේ කොන්දොස්තරවරයා විසින් රුපියල් 338 ක ප්‍රවේශ පත්‍රයක් නිකුත් කළ අවස්ථාවේ මාධ්‍යවේදියා එම මුදල පියවා ගැනීමට රුපියල් 500ක නෝට්ටුවක් ඔහුට ලබාදි තිබේ.

ඉතිරි මුදලවු රුපියල් 162ක මුදල පිළිබදව ටිකට් පතේ සටහන් යොදා පසුව එම මුදලින් රුපියල් 150ක මුදලක් ගමන අතර තුරදී මාධ්‍යවේදියාට ලබාදිමට කොන්දොස්තරවරයා කටයුතු කර තිබේ.

පහරකෑමට ලක්වූ මාධ්‍යවේදියා අනුරාධපුර දහයියාගම හංදිය ආසන්නයේදී කොන්දොස්තරවරයාගෙන් ඉතිරි රුපියල් 12 පිළිබදව විමසූ අවස්ථාවේ මගීන් ඉදිරියේ ඔහුට බැනවැදී පසුව එම මුදල ලබාදීමට කටයුතු කර ඇතත් මාධ්‍යවේදියා එය ප්‍රතික්ෂේප කර කොන්දොස්තරවරයාට අප්‍රසාදය පලකළ අවස්ථාවේ කොන්දොස්තරවරයා විසින් ඒ මහතාගේ කණට පහරදී ඕන නම් වරෙන් මම ඉන්නේ බස්ටෑන්ඩ් එකෙ යනුවෙන් පවසා බැනවැදී තිබේ.

පහරදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියා විසින් අනුරාධපුර පිහිටි ඩී.එස් ගුණසේකර බස් සමාගමේ බස් රථ ලියාපදිංචි අංකය වන N.C 5329 අංකය පොලිසියට ලබාදෙමින් පැමිණිල්ල සිදුකර තිබේ.

පහරදීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති නිලන්ත කුමාර මහතාටත් මාධ්‍යවේදියා පැමිණිලි කර තිබේ. ඒ සම්බන්ධයෙන් සභාපතිවරයාගෙන් දුරකථනයෙන් කළ විමසීමකිදී කියා සිටියේ අදාල බස් රථයේ ගමන්වාරයක් අවලංගුකර කොන්දොස්තරවරයාගේ බලපත්‍රය අවලංකු කරනා බවයි.

මාධ්‍යවේදියාට පහරදුන් සැකකාර කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගැනීම අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය පරික්ෂණ සිදුකරයි.

අනුරාධපුර මහේෂ් විජේසුරිය

Social Sharing
නවතම