සුලු ජාතීන් ඉලක්කර කර සිදුවෙන ලංකාවේ කොවිඩ් ප්‍රතිපත්තිය වහා නවත්වන්න – UN

කොවිඩ් 19 වයිරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය සුළු ජාතීන් ඉලක්ක කරගත් මානව හිමිකම් උල්ලංඝනයක් ලෙසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙලා දැක ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් වන  අහමඩ් ශහීඩ්, ෆර්නැන්ඩ් ඩී වැරෙන්නස්, ක්ලෙමන්ට් නයලෙට්සොස්සි වූලේ සහ ලැලෙන්ග් මොෆෝකෙන්ග් සිව්දෙනා  ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇත්තේ මෙම ක්‍රියාවලිය වහාම අත්හිටුවන ලෙසටය.

එම විශේෂඥයින් සිව්දෙනා ජිනීවා නුවර සිට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ කොවිඩ් මළසිරුරු ආදාහනය කිරීම මුස්ලිම් ජනතාව ඇතුළු සුළු ජාතිකයින්ගේ විශ්වාසයන්ට පටහැනි බවයි.

එය මුස්ලිම්වරුන්ගේ සහ රටේ වෙනත් සුළු ආගමිකයන්ගේ ඇදහිල්ලට හරස්ව යන බවත්, දැනටමත් පවත්නා අගතීන්, නොරුස්නා කම් සහ ප්‍රචණ්ඩතා තවත් පැසවන්නට මග පෑදිය හැකි බවටත් ඔවුහු අනතුරු අඟවති.

එසේම කොවිඩ් ආසාදිත හෝ සැක කෙරෙන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම එකම විකල්පය ලෙස ශ්‍රී ලංකා රජය විසින් සැළකුව ද එම සිරුරු මිහිදන් කිරීමෙන් වයිරස ව්‍යාප්තිය ඉහළ යන බවට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් කිසිදු රටකින් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී නොමැති බවද ඔවුන් පෙන්වා දෙති.

කොවිඩ්  ආසාදිත මෘතදේහ සියල්ලම ආදාහනය කිරීමේ ශ‍්‍රී ලංකා රජයේ තීරණය හෙළා දකින බවත් , කොවිඩ් හේතුවෙන් මිය ගිය අයගේ මෘත දේහ ශ්‍රී ලංකාව තුළ ඒ ආකාරයෙන් ආදාහනය අනිවාර්ය කිරීමෙන් ජාතීන් අතර සුහදත්වයට බාධාවක් ඇතිවීම මෙන්ම එය මානව හිමිකම් කඩ කිරීමක් ද වන බව එම නිවේදනයේ සඳහන් වේ.

ඇතැම් අවස්ථාවලදී වාර්තා වල නිරවද්‍යතාව තහවුරු කිරීමට පවා කාලයක් ඉතිරි නොකර අදාළ ආදාහන කටයුතු සිදුකිරීම් ගැනද මෙම කමිටුව අවධානය යොමුකර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රජා වෛද්‍යවරුන් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනය විසින්ද පිළිගන්නා ලද එක් දේශීය විද්වත් මණ්ඩලයක් භූමදානය අනුමත කරමින් ලබා දුන් නිර්දේශය නොතකා ආණ්ඩුව විසින් පත් කරන ලද වෙනත් මණ්ඩලයක් පිලිස්සීමම තහවුරු කරමින් දුන් නිර්දේශය පමණක් රජය විසින් පිළිගෙන තිබීම එක්සත් ජාතීන්ගේ අවධානයට ලක්වී ඇත.

කොවිඩ් වසංගතයෙන් මියයන සියල්ලන්ගේම මළ සිරුරු පිළිස්සීම සුළු ජාතීන් ඉලක්ක කරගත් මානව හිමිකම් උල්ලංඝනයක් ලෙසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බරපතල ලෙස හෙලා  දකිද්දී, ශ්‍රී ලංකා රජයේ එම බලහත්කාර ප්‍රතිපත්තිය අහෝසි කර ගැනීමට මුස්ලිම්වරුන්  එක්සත් ජාතීන්ගේ පිහිට පතා තිබුනි. ඒ ඊයේ (26) දින දහවල් කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සංදේශයක් බාර දෙමිනි.  එම ඉල්ලීම කර තිබුණේ මුස්ලිම් වාමාංශික පෙරමුණ  විසිනි.

එක්සත් ජාතීන්ගේ නිවේදනය

https://www.ohchr.org/EN/NewsEvents/Pages/DisplayNews.aspx?NewsID=26686&LangID=E

Social Sharing
නවතම