ඔවුන්ට මව්රටට පැමිණීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ලැබෙයිද?

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම පිලිබඳ පහුගිය කාලය පුරාම කතාබහ කෙරුණි. කොවිඩ් 19 වසංගතය නිසා මෙරටට පැමිණීමට නොහැකි සිය දහස් ගණනක් එතෙර සිට ඇඬු කඳුලින් මෙරට ඇමතූ අවස්ථා බොහෝය.

මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 32,000 ක් පමණ මෙරටට ගෙන්වාගෙන ඇති අතර තවත් 34721 දෙනෙක් සිය මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටිති.

මේ අතර තම විදෙස්ගත දූ දරුවන්, සැමියන්, බිරින්දෑවරුන්, ඥාතීන් ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනී අමරසූරිය, සරෝජා පෝල්රාජ්, සමන්මලී ගුණසිංහ සහ ව්‍රායි බල්තසාර් ඇතුළු ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව සංවිධානයේ නියෝජිතයින් සහ විදේශ ගත ශ්‍රමිකයින්ගේ ඥාතීන් විසින් ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට පහුගිය දා  (19) විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලදි.

අගමැතිගේ විශ්වාසය

මේ අතර අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ පිලිබඳ අවධානය යොමු කර ඇත.  මෙරටට පැමිණීමට බලාපෙරොත්තුවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය ඊයේ (26) දින අදාල බලධාරීන්ට  උපදෙස් ලබා දී තිබේ.

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා කොවිඩ් 19 වැළැක්වීමට අදාළ ජනාධිපති කාර්යසාධක බලකාය සමඟ සාකච්ඡා කරමින් මෙම ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට කියා ඇත.

එහිදී ආර්ථික අපහසුතාවලින් පෙලෙන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව පීඩාවට පත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම ශ්‍රමිකයන් රැගෙන එන මඟී ගුවන් යානා සඳහා අවශ්‍ය අවසර ලබාදීම සහ ඔවුන්ගේ PCR පරීක්ෂණ ඉටුකර දීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වී ඇති අතර මෙසේ පැමිණෙන ශ්‍රමිකයන්ට අවශ්‍ය නිරෝධායන කටයුතු සඳහා තම තමන්ගේ නිවෙස්වල ඉඩ පහසුකම් අනුව අවසර ලබා දිය හැකිද යන්න පිළිබදවද ජනාධිපති කාර්යසාධක බලකායේ අවධානය යොමු කරන බව අගමැතිවරයා සඳහන් කර ඇත.

නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩ ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් මේ දක්වා එම ශ්‍රමිකයන්ට මෙරටට පැමිණීමේ ගුවන් පහසුකම් සැලසූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙහිදී  පැවැසීය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සේවය කරන ලාංකික නිලධාරීන් වෙනුවෙන් වසරකට මිලියන 800?

මේ අතර මේ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම පිලිබඳව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) අවධානය යොමු කර ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යංශය සතු අරමුදල් භාවිතා කොට කොවිඩ් ව්‍යසනය නිසා අසරණව සිටින විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලන ලෙස පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් වෙත දැනුම් දී ඇත්තේ ඒ අනුවය.

විදේශ රැකියා ක්ෂේත්‍රයෙහි වර්තමාන තත්ත්වය අධ්‍යනය කිරීම සඳහා වූ විශේෂ විගණන වාර්තාව විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (22) රැස්වූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරුණි.

විදේශ සේවා නියුක්ති කාර්යංශය රැස් කොට ඇති රුපියල් බිලියන 14ක ජංගම වත්කම් යොදවා මේ වන විට කොවිඩ් ව්‍යසනය හේතුවෙන් විවිධ රටවල අසරණව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට කිසියම් නෛතික බාධාවන් තිබේ ද යන්න කමිටුව විසින් විමසන ලදී. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිව සිටින විදෙස්ගත ශ්‍රමිකයන් සිය අරමුදල් භාවිත කොට මෙරටට ගෙන්වා ගැනීමේ කිසිදු බාධාවක් නොමැති බව කාර්යංශ සභාපතිවරයා අනාවරණය කළේය.

මැදපෙරදිග තෙල් මිල පහල යාම හේතුවෙන් රැකියා අහිමිවූවන් සහ කොවිඩි ව්‍යසනය හේතුවෙන් රැකියා අහිමි වූ ශ්‍රමිකයන් 34721කගෙන් තමන්ව මව් රටට ගෙන්වා ගන්නා ලෙස මේ වන විටත් විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ඉල්ලීම් කොට තිබේ.

කොවිඩ් වසංගතය හමුවේ රට විවෘත කිරීමේ සාකච්ඡා පවතින මොහොතක සහ මේ වන විටත් ගුවන් තොටුපල විවෘතව ඇති නිසාවෙන් මෙසේ මව් රටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් කරන විදෙස්ගත ශ්‍රමිකයන් පිළිබඳ සොයා බැලීම සඳහා කාර්යංශය විසින් සුදුසු ආකෘතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ද කෝප් සභාපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

2019 වර්ෂය සඳහා පමණක් විදෙස් රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සේවය කරන ලාංකික නිලධාරීන් වෙනුවෙන් වියදම් කොට ඇති මුදල රුපියල් මිලියන 800 ක් බව අනාවරණය වූ අතර එතරම් විශාල මුදලක් වැයකොට නඩත්තු කරන සේවක පිරිසෙන් අපේක්ෂිත සේවාවන් ඉටු වනවාදයන්න සොයා බැලිය යුතු බව කෝප් කමිටුව නිලධාරීන් වෙත දැනුම් දුන්නේය.

ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව

ශ්‍රී ලංකික ශ්‍රමිකයන් විදේශ රටවලට යැවීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සහ රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කළහැකි රක්ෂණ ක්‍රමයක් සහ අදාල පාර්ශව සමග ගිවිසුම් වලට ඒළඹීමේ අවශ්‍යතාවය අවධාරණය කළ කමිටුව නිර්දේශ කළේ ඒම අවශ්‍යතා සපුරාලන නව රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීම සඳහා කටයුතු කිරීම ඉතා වැදගත් බවය. ඒහිදී විදේශ රැකියා සඳහා යවනු ලබන ශ්‍රමිකයන්ගේ මානවීය අවශ්‍යතා සහ ආරක්ෂාව සහ සුභ සාධනය තහවුරු කිරීම සඳහා විදේශ අමාත්‍යංශය හා ඒක්ව මීට වඩා වගකීමකින් විදේශ සේවා නියුක්ති කාර්යංශය කටයුතු කළ යුතු බවද කමිටුව අවධාරණය කළේය.

තානාපතිවරුන්ගේ අක්‍රමිකතා

විදේශ රටවල පවතින ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල වල සේවය කිරීම සඳහා නිලධාරීන් බඳවා ගැනීමේදී විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන ලෙස කොප් කමිටුව දැනුම් දුන් අතර එසේ නොකිරීම නිසා පසුගිය කාලය පුරාම විවිධ අක්‍රමිකතා සිදු වී ඇති බවද අවධාරණය කළේය. ඒ සඳහා සුදුසු බඳවා ගැනීමේ පටිපාටියක් කළමණාකරන සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත කරවා ගන්නා ලෙස කමිටුව අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දි තිබුණි.

ගුවන්තොට විවෘත කළ පසුත් අනුමැතිය ඉල්ලීම

ගුවන් තොටුපොළ යළි විවෘත කරනු ලැබුවත් විදේශ ගතවී සිටින ශ්‍රී ලාංකිකයන්ට සිය මව්රටට පැමිණීම සඳහා තවමත් විදේශ අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමට සිදුවී ඇත.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ, ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සභාපති ජනක විජයපතිරණ මහතා පවසන්නේ දැනට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් විදේශ අමාත්‍යාංශයේ අනුමැතිය මත පැමිණි බවය.

විදේශිකයන් සඳහා එවැනි අනුමැතියක් අවශ්‍ය නොවන අතර විදේශවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා මෙම නියමය ක්‍රියාත්මක වන බවද විජය පතිරණ මහතා පවසයි.

Social Sharing
නවතම