
බොරැල්ල, වැලිකඩ බන්ධනාගාරයට අයත් නිලධාරීන්ගේ පහරදීමකට ලක්ව සිර දඬුවමක් විඳිමින් සිටි ඕෂධ සංජීව (40) නමැති සිරකරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
බොරැල්ල මැගසින් පාරේ පදිංචිකරුවෙකු වන ඔහු, බන්ධනාගාරයෙන් පිටත රාජකාරියකට යොදවා සිටියදී පලා ගොස් ඇති අතර, පසුව නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ බව කියන පහරදීමකින් බරපතළ තත්ත්වයට පත්වූ ඔහු ඊයේ (03) බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති අතර අද (04) අලුයම මියගොස් ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සඳහන් කරයි.
කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර මහතා පවසන්නේ, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරීන් සමග ඇතිවූ පොරබැදීමකින් පසුව රෝගී වී මියගොස් ඇති බවයි.
මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් මාස 3ක සිරදඬුවමකට යටත්ව සිටි මෙම සිරකරුවා, මේ මස අගදී නිදහස්වීමට නියමිතව තිබූ බවද වාර්තා වේ.
එමෙන්ම, මැගසින් බන්ධනාගාරය තුළ ඉකුත් 27 වැනිදා ද පහරදීමකින් තවත් රැඳවියෙකු මියගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් ජේලර්වරයෙකු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර තිබේ.
