යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට මහජන අදහස් විමසීම මැයි 6 දක්වා

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මේ වසරේ දෙවන හා තුන්වන කාර්තුවල විදුලිය නිෂ්පාදන පිරිවැය පිළිබඳ සංශෝධිත ඇස්තමේන්තුවක් ජාතික පද්ධති පාලන සමාගම විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති අතර, එම ඇස්තමේන්තු පදනම් කර ගෙන ක්‍රියාවට නැගීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපදේශනයක් පැවැත්වීමට තීරණය කර ඇති බව කොමිෂන් සභාව පවසයි.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාළ උපදේශන පත්‍රිකාවේ කරුණු කිහිපයක් ඇතුළත් කර ඇති අතර, රුපියල් බිලියන 15ක රජයේ සහනාධාරය මැයි 10 වනදා සිට විදුලි පාරිභෝගිකයන්ට ලබාදීම එයින් ප්‍රධාන කරුණක් වේ. ගෘහස්ථ හා ආගමික සිද්ධස්ථාන ඇතුළු විදුලි පාරිභෝගිකයන්ගෙන් 95%කට රජයේ සහනාධාරය මත ගාස්තු ඉහළ නොදැමීමේ නිර්දේශද එම උපදේශන පත්‍රිකාවට ඇතුළත් කර ඇත.

එමෙන්ම පොදු කාර්ය, රාජ්‍ය ආයතන හා සංචාරක හෝටල් යන කාණ්ඩවල මාසික පරිභෝජනය ඒකක 180ට වඩා අඩු අනු කාණ්ඩ සඳහාද ගාස්තු ඉහළ නොදැමීමට නිර්දේශ කර ඇති අතර, කර්මාන්ත අංශයේ පළමු අනු කාණ්ඩය සඳහාද විදුලි ගාස්තු ඉහළ නොදැමීම තවත් නිර්දේශයක් ලෙස දක්වා තිබේ. ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් සිදුවන අතිරික්ත පිරිවැය විදුලි ගාස්තුවලට ඇතුළත් නොකිරීම තවදුරටත් තහවුරු කිරීමේ පියවරද නිර්දේශ අතරට ඇතුළත් කර ඇත.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරන්නේ 2026 දෙවන හා තුන්වන කාර්තු සඳහා විදුලි ජනන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ජාතික පද්ධති පාලන සමාගමට රුපියල් බිලියන 38ක හිඟයක් ඇති වන බවට ඇස්තමේන්තු කර ඇති බවයි. එම හිඟය තුළ ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් විදුලි ජනනය සඳහා බලපෑ අතිරේක වියදම් අඩංගු කර නොමැති බවද සඳහන් වේ.

සමස්ත හිඟයෙන් රුපියල් බිලියන 15ක් සහනාධාර වශයෙන් ලබාදීමට රජය ගත් තීරණය මහා භාණ්ඩාගාරය විසින් කොමිෂන් සභාව වෙත දැනටමත් දැනුම් දී ඇති බවද එම කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සකස් කළ උපදේශන පත්‍රිකාව පරිශීලනය කර සියලු පාර්ශ්වයන්ට මැයි 6 වනදා දක්වා ලිඛිත හෝ වාචික අදහස් ලබාදිය හැකි අතර, එම යෝජනා තැපෑල, ඊමේල්, වට්ස්ඇප් හෝ ෆැක්ස් මගින් ඉදිරිපත් කළ හැකි බවද සඳහන් වේ. වාචික අදහස් දැක්වීම සඳහා පූර්ව ලියාපදිංචියට 0764271030 දුරකථන අංකය අමතා ලියාපදිංචි විය හැකි බවද දැනුම් දී ඇත.

ලැබෙන අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන ඉදිරි විදුලි ගාස්තු සම්බන්ධයෙන් අවසන් තීරණය මැයි 9 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව තවදුරටත් නිවේදනය කර ඇත.

Social Sharing
නවතම පුවත්