කොතලාවල පනත ගැන මා හිතන හැටි – අජිත් පැරකුම් ජයසිංහ

කොතලාවල පනත ගැන මා හිතන හැටි

මට නම්, අධ්‍යාපනය, උගත්කම වගේ සංකල්පවලින් වර්තමානයේ දෙන අදහස් පූජනීය දේවල් නෙමෙයි. මං නිදහස් අධ්‍යාපනයෙවත්, අධ්‍යාපනයෙවත් නිෂ්පාදනයකුත් නෙමෙයි. හේතුව මං විධිමත් අධ්‍යාපනයක් ලබලා නැහැ. මං ගියපු ඉස්කෝලෙත්, ඉන් පස්සෙ ගියපු ගුරු විද්‍යාලෙත් කියන දෙකේම හරිහමන් ගුරුවරුන් හිටියෙත් නැහැ. මං ඒවයින් විශේෂ දෙයක් ඉගෙන ගත්තෙත් නැහැ. මං ගියපු ඉස්කෝලෙට මං අදටත් ආදරෙයි. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඉස්කෝලෙ එක්ක තිබුණු කැලෑව නිසා.

ඉගෙනගත්ත පළියට බුද්ධිමතුන් බිහිවෙනවා නම් ලංකාව මේ වගේ අපායක් වෙන්න විදියක් නැහැ. ඒ නිසා මට නම් අධ්‍යාපනය කියන්නෙ ඔය ඉස්කෝලවලයි, විශ්වවිද්‍යාලවලයි කරන විකාර නෙමෙයි. අපි පොඩි කාලෙ මේ වගේ දීර්ඝ කාලයන් ඉස්කෝල වහලා තිබුණු අත්දැකීම් අපට ලැබිලා නැහැ. 1971 අවුරුද්දෙ පළමු ශ්‍රේණියේ හිටිද්දි 71 කැරැල්ල නිසා ඉස්කෝලෙ වහලා තිබුණා. මං හිතන්නෙ ඒ කාලෙ තමයි මගේ ළමා වියේ ප්‍රීතිමත්ම කාලය.

මං ළඟ පුංචි හරි නිර්මාණශීලීත්වයක් ඉතුරු වෙලා තියෙනවා නම්, මං ඒකට ස්තුතිවන්ත විය යුත්තෙ ඉගෙන නොගත්ත එකට. ඉගෙන ගන්නවා කියන්නෙම ගුරුවරුන්ගේ අධිකාරිවාදී ශික්ෂණය ඇතුළෙ නිර්මාණශීලීත්වය මොට කරගන්න එකට.

ටියුෂන්කාරයන් ගොඩ පහට විකුණන අධ්‍යාපනය කියන එක ඊට වඩා විධිමත් ආකාරයට විකුණන එකේ මට නම් අවුලක් පෙනෙන්නෙ නැහැ. මං විකුණනවට විරුද්ධත් නැහැ. ලාභයට විරුද්ධත් නැහැ. පොඩි පොඩි දේවල් ටිකක් අයිති කරගත්තට පස්සෙ තමයි මට තේරුණේ හිමිකාරීත්වය කියන එක කොයි තරම් කරදරයක්ද කියලා. ඔය ලොකු දේපල, විශාල සේවක මණ්ඩල අයිතිකාරයන් ගැන මං නම් හිතන්නෙ උන් කරන්නෙ අමාරු වැඩක්ය කියලායි. උන් නිසා තමයි අපි රස්සා කරන්නෙ. ඒ නිසා මට නම් උන් එක්ක කිසිම තරහක් නැහැ.

හමුදා ගැන මට විශ්වාසයක් නැහැ. ඒ නිසා අධ්‍යාපනය වගේ සිවිල් කටයුතුවලට හමුදා මැදිහත්වීම ගැන මං කැමති නැහැ. හැබැයි ඉතින් හමුදා කියන්නෙ පිටසක්වල ජීවීන් නෙමෙයි. හමුදා කියන්නෙ අභ්‍යන්තරිකව පුළුල්, සාමූහික ජීවන විලාසයක්. ඒක ඇතුළෙ අධ්‍යාපනය, ශික්ෂණය, මිලිටරි විනය වැනි දේවල් තිබෙනවා. හමුදාවලට පුළුවන් යුද්ද කරන්න විතරක් නෙමෙයි. යුද්ධ කරන එකත් අධ්‍යාපනයක්. ඒ නිසා හමුදාවට අධ්‍යාපනය විකුණන්නට පුළුවන්. ඔවුන් දැනටත් පාර අයිනෙ කඩ දාගෙන බනිස්, මාළු පාන් පවා විකුණන එකේ අධ්‍යාපනය විකිණිල්ල හමුදාවට නම්බුවක්.

කොතලාවල විශ්වවිද්‍යාලෙට උසස් අධ්‍යාපනය සඳහා යන සිවිල් ශිෂ්‍යයන් ගාලු පාරෙ බස්වල යනවා මං දැකල තියෙනවා. මිලිටරි නිල ඇඳුම හා සමානකම් තියෙන සිකියුරිටි නිල ඇඳුමක් වගේ එකක් ඇඳගෙන තමයි ඒ ළමයි විශ්වවිද්‍යාලෙ යන්නෙ. ඒ වගේ යුනිෆෝම් ඇඳන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවාය කියන එක මට නම් මළ විකාරයක්. ඔය හමුදා කඳවුර ඇතුළෙ තව සෑහෙන්න විකාර ඇති.

එතකොට රජයේ විශ්වවිද්‍යාලවල තත්වය මොකක්ද? මං තුන්මුල්ල හන්දියෙ සෑහෙන කාලයක් රස්සාව කළා. විශ්වවිද්‍යාල සිසුවියන් ගොඩේ විලාසිතාවේ දිග සායවල් ඇඳගෙන රබර් සෙරෙප්පු දාගෙන පාර දිගේ යනවා මං දැකලා තියෙනවා. ඒ තමයි, රජයේ විශ්වවිද්‍යාලවල නිලඇඳුම. ඒක දෙන්නෙ ඒක ඇතුළෙ තියෙන ශිෂ්‍ය සංගම් කියන අතුරු හමුදා පාලනය විසින්. කොතලාවල විශ්වවිද්‍යාලෙ හමුදා පාලනයෙ තියෙන ජාතියෙම මළවිකාර ගොඩක් රාජ්‍ය විශ්වවිද්‍යාලවල අතුරු හමුදා පාලනය තුළත් තියෙනවා.

විශ්වවිද්‍යාල රජයේ හා අතුරු හමුදා පාලනයෙන් නිදහස් කරන ලද, ඕනැ කෙනෙකුට තමන් කැමති දෙයක් ඉගෙනගන්නට උත්සාහ කරන්නට පුළුවන් විවෘත ශාස්ත්‍රීය අවකාශයක් විය යුතු බවයි මගේ නම් අදහස. විධිමත් අධ්‍යාපනය ලබපු කෙනෙකු නොවන නිසා, වැඩිහිටියෙකු වුණත්, මාත් කැමතියි යම් යම් දේ ඉගෙන ගන්න. ඒ වෙනුවෙන් කළ යුතු ගෙවීම් කරන්නත් මට පුළුවන්කම තිබෙනවා. දැනටත් මං කෝසෙරා පාඨමාලාවල් එහෙම හදාරනවා. ඊට වඩා විධිමත් ඒවා මේ රටේදි හදාරන්න තියෙනවා නම් හොඳයි.

මට නම් ඔය විශ්වවිද්‍යාල ගැන කිසිම අත්දැකීමක් නැහැ. ඒ නිසා මට ඒවා එක්ක කිසිම හෘදයාංගම බැඳිමකුත් නැහැ. පාසල් එක්කත් නැහැ. මොකද, මං පාසල්වලින්වත් ලබාගත්ත ‘අධ්‍යාපනය’ කියා විශේෂ දෙයක් නැති නිසා. මං ඉගෙනගත්තෙ පාරෙන්.

මගේ දරුවන් තුළ අපි දැනටමත් ශ්‍රමය ගැන යහපත් ආකල්ප ගොඩනගලා තියෙනවා. මම ඔවුන් දිරිගන්වා තිබෙන්නේ ව්‍යවසායකත්වය පැත්තට. ජීවිතයේ පරම අරමුණ වෛද්‍යවරයකු වැනි ධනවත් වෘත්තිකයකු වීම යයි ඔවුන් දැනට නම් සිතන්නේ නැහැ. කෙසේ වෙතත්, ඔවුන් කරන්නට ඉන්න දේ ඔවුන්ගේ තීරණයක් මිස මගේ එකක් නෙමෙයි. ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල තියෙන ගොන්පාට් සංස්කෘතිය හා අකාර්යක්ෂම අධ්‍යාපනය වෙනුවට වෙනත් විධිමත් අධ්‍යාපනයක් මිලදී ගැනීම වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහා විකිණිය හැකි දේපල පවුලක් වශයෙන් අප දැනටත් ඉතිරි කර තිබෙනවා. ඒකෙන් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය හෝ ගුවන් යානා නියමු පාඨමාලා හෝ කරන්නට බැරි බව ඔවුන් දන්නවා. හැමෝම එහෙම වෙන්නට අවශ්‍ය නැහැ.

රජයේ සේවයට සංවර්ධන සහකාරවරුන් හෝ වෛද්‍යවරුන් වැනි වෘත්තිකයන් හෝ නිර්මාණය කරන එක බිස්නස් එකක්. ඒක වෙනුවෙන් ටියුෂන්, තරග විභාග, ඉසෙඩ් ස්කෝර්, නිදහස් අධ්‍යාපනය කියල එකක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කරන සටන් ආදිය තිබුණට කමක් නැහැ. ඒවා ඔක්කොම බිස්නස්නෙ. මං බිස්නස්වලට විරුද්ධ නැහැ. මං ලාභයටත් විරුද්ධ නැහැ. ඔය නිදහස් අධ්‍යාපනයේ පූජනීයත්වය ගැන කතාකරන බොහෝදෙනෙක් එයින් ලාභ ලබන අය. ලාභ ලබපු අය. හොඳ ඉස්කෝලවලට ගියපු අය. නොමිලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට වාසනාව ලැබුණු අය. ඉතින් ඒ අයට නිදහස් අධ්‍යාපනය රැකගන්නට හේතු ඇති. මා වැනි බහුතරයක් ජනතාවට ඒකෙන් ලැබුණු විශේෂ දෙයක් නැති නිසා මට නම් ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න හේතුවක් නැහැ.

අධ්‍යාපනය ගැන විශේෂ ගෞරවයක් නැති නිසා, රාජපක්ෂ පවුල්වාදය වගේ ප්‍රතිගාමීත්වයන් විනාශ කරන්නට ඒකෙන් ඇදල අරින එක ගැන පවා මගේ විරුද්ධත්වයකුත් නැහැ.

රොහාන් සමරජීව මහාචාර්යතුමා මෙසේ පවසනවා. “විශ්ව විද්‍යාල අධ්‍යාපනය මුලික අයිතියක් ලෙස අර්ථ දක්වන්නේ නම්, මේ රටේ වයස අවුරුදු 20-24 අතර පසුවන මිලියන 1.5 ක් වන තරුණ කණ්ඩායමෙන් සියයට 4ක් වන රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළුවන කොටසට පමණක් නොව එම සමස්ත කණ්ඩායමටම එය සැපයිය යුතුව තිබේ.

“අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතුයැයි, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිතිය විසින් බල කර සිටි දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක ප්‍රමාණය ලබා දුන්න ද අධ්‍යාපනය සම්බන්ධයෙන් පුළුල් වූ “අයිතිවාසිකමක්” ලබා දෙන්නට හැකිවේයැයි සිතිය නොහැක.”

දැන් ඉතින් මේක කියවලා කවුරුවත් මා එක්ක තරහ වෙන්න ඕනැ නැහැ. මේ මට හිතෙන හැටි. මං හිතන හැටි වෙන සමාජ දැක්මවලින් ලේසියෙන් ෆෝමැට් කරන්න අමාරුයි.

උපුටා ගැනීම – praja.lk

Social Sharing

Related posts