ජේආර්වේදය මීඩියාවලට ගෙනා මහරාජා…

රාජා මහේන්ද්‍රන් නැතිනම් කිලී මහරාජා මහතා අද උදෑසන කොවිඩ් ආසාදිතව මියගිය බව අසන්නට ලැබුණා. එතුමා පුද්ගලිකව ඇසුරුකර නැතිවුණත් එතුමා ලංකාවට ගෙනත් අතෑරපු මාධ්‍ය සාම්ප්‍රදාය අස්සේ වැඩකරන මාධ්‍යවේදියෙක් විඳිහට සහ එතුමා නිර්මානය කරපු මාධ්‍ය ලෝකය අස්සේ පයගසා ඇවිදයමින් සිටින ලාංකිකයෙක් විඳිහට එතුමා ගැන මට හිතෙන දේ ලියන්න ඕනෑ කියලා හිතුනා.

1994 මාර්තු සිරස රේඩියෝව පටන් ගන්නකොට මම අවුරුදු 12ක ගැටයෙක්. අවුරුදු 12ක් කියන්නේ ඇහෙන දකින දේ ටක් ටක් ගාලා ඇගට උරාගන්න කාලේ. ඒ විතරක් නෙවෙයි ඒ උරාගන්න සාරයට අනුව ජීවත් වෙන්නට නිරායාස ආයාසයක් ගන්නා කාලේ. මෙහෙම පටන් ගත්ත සිරස මාධ්‍ය ජාලය අපේ පරම්පරාවට හරි හෝ වැරදි පාර කිව්වා කියලා තමයි මගේ අද තක්සේරුව. 1990ට උඩින් ඉපදුන පුද්ගලයන්ට ශ්‍රී ලංකා ගුවන් විදුලිය බලපෑවේ යම් සේ ද 1990 න් පසු පරම්පරාවලට සිරස තමයි පාර කීවේ. ඇත්තටම සිරස මේ සමාජයට මොනාද කළේ?

මට හිතෙන්නේ ජේ ආර් ජයවර්ධන 1978 විවෘර්ත ආර්ථිකය හඳුන්වා දුන්නට එවක තිබුණේ සංවුර්ත මාධ්‍යක්. ඒ මාධ්‍ය ලෝකය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විවුර්ත වුණේ සිරසාගමනය එක්ක. ඒ වෙනකොට තිබුණ මාධ්‍ය සිංහයා නැට්ටෙන් ඇඳලා කනපිට ගැහුවේ සිරස. ඒකට ප්‍රග්ධනය විතරක් රාජා මහේන්ද්‍රන් මහත්තයා සම්පාදනය කළා කියලා කියන්න බැහැ. ඔහුගේ දැක්ම තමයි සිරස හරහා එළියට එන්නේ. ඔහු දැනුවත්ව නිමල් ලක්ෂපති වගේ පිරිස් එකතු කරගනිමින් නිර්මානය කරන සිරසට මාධ්‍ය අධිරාජ්‍යයක් ගොඩනඟා ගන්නට වැඩි කාලයක් යන්නේ නැහැ.

අනිද්දා වෙත ලිපියක් 2018 ලියන ටැබූ සබ්ජෙක්ට්ස් කියනවා, කිලී මහරාජා ඔහුට මෙහෙම කිව්වා කියලා. ‘ මා දක්ෂයෙක්. මා ඒ බව දන්නවා. මා සිංහලයෙක්ව උපන්නා නම් මේ රටේ ජනාධිපති පදවිය දක්වා අනිවාර්යයෙන්ම ගමන් කරනවා. මා සුළු ජාතියකට අයත් වීම නිසා එසේ කරන්ට බැරිවුණා’ මේ කතාව මාත් විශ්වාස කරන කතාවක්. මට හිතෙන්නේ ඔහුට සිය ජීවිතේදී සාක්ෂාත් කරගන්න බැරිවුණ හීනය අස්සේ තමයි ඔහු සිරස නමින් මාධ්‍ය අධිරාජ්‍යයක් ගොඩනඟලා එහි මහ රාජා වෙන්නේ. මේ මාධ්‍ය අධිරාජ්‍යය අස්සේ ඔහුට රජුන් තනන්න වාගේම රජුන් සිංහාසනයෙන් බිමට දාන්නත් හැකිවුණා. තවත් පැත්තකින් රජ්ජුරුවන්ට අඳින්න හිටිය අයත් පයිසෙකට නොවටිනා කතා යන්ත්‍ර විතරක් කළා.

1995 ඉඳලා 2005 වෙනකම් කිලී මහරාජා කියන්නේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පේවෙලා හිටිය ඒ වෙනුවෙන් තමන්ගෙ මාධ්‍ය අධිරාජ්‍ය මෙහෙයවපු කෙනෙක්. ඒක වැරදියි කියනවා නෙවෙයි. වී රිපෝට් යූ ඩිසයිඩ් කියනකොටම සිරස ඒක ඩිසයිඩ් කරලා තිබුණා. මට හිතෙන්නේ කිලී මහරාජාට තිබුණ මේ එජාප බැඳීම නිසා තමයි එජාපය,  විනාශ ඉක්මනින් වැළඳගන්නේ. අනෙක් පැත්තෙන් සිරස සතුවුණ විශාල ජනප්‍රියත්වය පල්ලමට දාගන්නේ.

යුද්ධය අවසාන වෙන අවධියේ සිරස මාධ්‍ය ආයතනයක්, මාධ්‍ය අධිරාජ්‍යයක් විඳිහට නිසි තැන ඉඳලා කටයුතු කළා කියලයි මට හිතෙන්නේ. එහිම ප්‍රථිපලයක් විඳිහට තමයි සිරස ගිනිගන්නේ. කොහොම වුණත් සිරස, මාධ්‍ය ලෝකයට දීපු දේවල් සෑහෙන්න වැඩියි. අද අපි කතාකරන ජඩ මාධ්‍ය සංස්කෘතිය උනත් හැදුවේ සිරස. ඒකට පාර කැපුවේ සිරස. ඒ හින්දා සිරසට තියෙන්නේ කළු සුදු දෙමුහුන් අතීතයක්. ඒ අතීතයේ විශාල බරක් දරන්නේ රාජා මහේන්ද්‍රන් කියලයි මටනම් හිතෙන්නේ. අද අපි කතාකරන ජනප්‍රිය සංස්කෘතියට පාර පෙන්නුවේ සිරස. නූතන මාධ්‍ය ලෝකය අස්සේ දුවන්නේ සිරස කියන ලේ.

බඩවැල් නාට්‍ය උනත් ආවේ සිරසින්. රියැලිටි වැඩසටහන් එන්නෙත් සිරස හරහා. මේ හැමදෙයක්ම පවත්නා ක්‍රමය උඩුයටිකුරු කරපු තැන්. සිරසට ඒ වෙනස කරන්න ශක්තිය දුන්න මනුස්සයා කොවිඩ් නිසා සිය ජීවිතය අතහැරියා කියලා ආරංචි වුණාම මාධ්‍ය ලෝකයේ ඉන්න මනුස්සයෙක් විඳිහට මට යම් කම්පනයක් දැනුනා. ලංකාවේ දේශපාලනයේ හොඳ හෝ නරක නිතරම කියවුණ නමක් තමයි කිලී මහරාජා කියන්නේ. ඉතිං ඔබට සුබ ගමන්…!

-කේ. සංජීව-

Social Sharing
නවතම විශේෂාංග