පොලීසිය දුෂිත නම්  ඔවුන්ට අනෙකාගේ දුෂණ සොයන්න බැහැ! – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

රටක නීතීය ක්‍රියාත්මක කෙරෙන්නේ පොලීසිය හරහා බැවින් ශිලාචාර පොලීසියක් රටට අවශ්‍ය බව ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති, නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි.

පුද්ගලයින්ට සිදුවන වදහිංසා සම්බන්ධයෙන් වෙනස ඇති විය යුත්තේ පොලීසිය තුල පමණක් නොව එය මහජනයා තුලද ආකල්පමය වෙනසක් ඇති විය යුතු බව ඒ මහතා පෙන්වා දෙයි.

තමන්ට වදහිංසා කිරීමට කිසිවෙකුටත් නොහැකිය, තමන් මේ රටේ පුරවැසියෙක් නම් තමන්ටද ඇති අයිතිවාසිකම් තිබෙන බව මහජනතාව අවබෝධ කරගෙන ක්‍රියා කළ යුතු බවත් එසේම වෙනකෙකුට සිදුවන වදහිංසාවකදී පවා ඊට එරෙහිව හඬ නැගීමේ ශක්තියක් තිබිය යුතු බව පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ ජනතාවගේ ආකල්ප තුලින් ශිලාචාර පොලිසීයක් බිහි කළ හැකි බවය.

පොලීසිය ක් අශිලාචාර වුවහොත් සමාජයට යහපතක් නොවන බවත් පොලිසිය දුෂිත නම් අනෙකාගේ දුෂිත සෙවීමටද ඔවුන්ට නොහැකි බව ඔහු අවධාරණය කර සිටියි.

අතීතයේ හොඳ ගරුත්වත්යකින් යුතු පොලිසීයක් මෙරට තිබුණද දැන් ඇත්තේ අවනීතිය බවත් ඒ මහතා කියා සිටියි.

පුද්ගලයෙකුගේ පුරවැසිභාවය යනු ගරුත්වය වන අතර ඊට පොලිසිය පහර දෙන්නේ නම් මෙය යහපත් සමාජයකට බාධාවක් බවත් ශිලාචාර පොලීසියක් තිබේනම් දේශපාලඥයින්ද ඉබේම හැදෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

මෙහිදී නීතිඥ ලක්ෂාන් ප්‍රනාන්දු වධහිංසාවට එරෙහි නීතිමය පසුබිම පිළිබඳව ද, නීතිඥ දුලාන් දසනායක මෑත කාලීනව පොලිස් නිලධාරියෙකු සරසවි සිසුන්ගේ උද්ඝෝෂණයක් අතරතුර කළ තර්ජනාත්මක ප්‍රකාශයක් මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමේ සිදුවීම උදාහරණයට ගනිමින් ද කරුණු පැහැදිලි කළහ. නීතිඥ දුලාන් දසනායක විසින් අවධාරණය කරනු ලැබුවේ, රාජ්‍යය විසින් මහජනයාගේ බලය යොදවමින්, මහජනයාට එරෙහිවම මර්දනය මෙහෙයවන බවයි.

මොවුන් මෙම අදහස් පළ කර සිටියේ වදහිංසාවට ලක් වුවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මොණරාගල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරක අචල පියුමන්ත මහතා විසින් සංවිධානය කර තිබු වදහිංසාවද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් යන මැයෙන් සුම් තාක්ෂණය ඔස්සේ පැවති සංවාදශිලි කතිකාවතේදීය.

ශානි / යශෝධරා

Social Sharing
නවතම