අසේල සම්පත් පැහැර ගනියි.

සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක, මහජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු, ජනබල පවුර සංවිධානයේ විධායක සභික අසේල සම්පත් මහතාව අද (25) සවස සුදු වෑන් රියකින් පැමිණි පිරිසක් ඔහුගේ නිවසට කඩා වැදී ඒ මහතාව පැහැරගෙන ගොස් ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි.

කොට්ටාව, පැලැන්වත්ත පිහිටි ඒ මහතාගේ නිවසට අද සවස සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයින් 20 කු පමණ CID යෙන් බව පවසා  නිවැසියන්ට පහර දී අසේල සම්පත් මහතාව පැහැර ගෙන ගොස් ඇත. පැහැරගත් වාහනයේ අංකය ඔවුන් හඳුනාගෙන ඇති අතර මේ වනතුරුත් (රාත්‍රී 9.30) ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ගොස් නැති බවද නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි.

සිව්දරු පියෙක් වන අසේල සම්පත් මහතා පහුගිය දින කිහිපය පුරාම රජයෙන් මහජනතාවට සිදුවන හිරිහැර, පීඩා සම්බන්ධව හඩ නැගු අයෙකි. අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ බඩු මල්ල ගැන කථා කිරීමටද ගොස් ඔහු පොලිස් අත්අඩංගුවට පත් විය.

එසේම පහුගිය දිනවල ඔහු රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගේ කොවිඩ් එන්නත් සම්බන්ධයෙන්ද ප්‍රශ්න කිරීමක් සිදු කර තිබුණි. එහිදී රාජ්‍ය අමාත්‍යවරයාට දැඩි අපහාසයක් වු බවට චෝදනා කරමින් ඔහු අසේල සම්පත් මහතාට එන්නතරවාසියක්ද එවා ඇත. එසේම ඔහු මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිද කර ඇත.

මෙවන් පසුබිමක් තුල අසේල සම්පත් මහතාව පැහැර ගැනීමට ලක්ව ඇත. ඔහුගේ දියණිය මේ වන විට පිලියන්දල පොලිස් ස්ථානය  වෙත ගොස් ඇත්තේ සිය පියාගේ පැහැර ගැනීම පිලිබඳ පැමිණිලි කිරීමටය.

වධහිංසාවට පාත්‍රවුවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ජුනි (26) උදා වීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණි.  එවන් පසුබිමක මෙවන් පැහැර ගැනීමක් සිදු වීම කෙතරම් ඛේදජනක වන්නේද?

-ශානි-

Social Sharing
නවතම