ජනාධිපති සමාව දෙන්නේ නීතියට පිටින්ද – නීතිඥ දුලාන් දසනායක

2019 නොවැම්බරයේදී ජනාධිපතිතුමාගේ විජයග්‍රහණයෙන් පසු අපේක්ෂා කල පරිදි දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ලබා දී තිබේ. තරමක් කල් ගත වුවත් අපේක්ෂා කල ප්‍රථිඵලය ලැබී තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති සමාව ලබා දුන් දෙවන ප්‍රසිද්ධ පුද්ගලයා දුමින්ද සිල්වාය. පළමු වැන්නා සුනිල් රත්නායකයි. මෙම පුද්ගලයන් දෙදෙනාටම ත්‍රි පුද්ගල මහාධිකරනයන් මගින් මරණ දඩුවම ලබා දුන් අතර ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මණ්ඩලයන්ගෙන් එකී තීන්දුද තහවුරු කරනු ලැබ තිබුණි.

ජනාධිපති සමාව ප්‍රසිද්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ පළමු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ නොවේ. එය සියළුම ජනාධිපතිවරුන් පාහේ සිදු කර ඇත. නමුත් කෙටි කලක් තුලදී මෙරට උපරිමාධිකරණය වූ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කරනු ලැබූ දඩුවම් දෙකක් ආපස්සට හැරවූ එකම ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ලෙස ඉතිහාසගත වනවා නොඅනුමානය. ඔහු එසේ කරන්නේ කිසිම අවස්ථාවක අධිකරණයකදී සාධාරණ නඩු විභාගයක් සදහා අවස්ථාව ලබා නොදෙමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරදඩුවම් විඳින තවත් මිනිසුන් ගණනාවක් සිටියදීය.

යාපනය අර්ධද්වීපයේ මිරුසවිල්හිදී වසර 13ක කුඩා දරුවකු ඇතුළු නිරායුධ සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු කරමින් මුල් අවස්ථාවේදී සුනිල් රත්නායක මහතාට තීන්දුව ලබා දුන්නේ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලයකින් වන අතර පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලකින් එකී තීන්දුව තහවුරු කර තිබුණි. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් මහමගදී ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු කරමින් ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලයකින් මුල් අවස්ථාවේදී දුමින්ද සිල්වා මහතාට එරෙහිව තීන්දුව ලබා දුන් අතර අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයකින් එකී තීන්දුව තහවුරු කර තිබුණි.

සුනිල් රත්නායකට ලබා දුන් ජනාධිපති සමාව ශිෂ්ට සම්පන්න මිනිසුන්ට අනුමත කල නොහැකි වුවත් ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් ජනවරමක් තිබුණු බව නම් කිව හැක. ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය තුළම සුනිල් රත්නායකගේ දඩුවමට එරෙහිව අදහස් පළ වූ අතර සුනිල් රත්නායකගේ ජනාධිපති සමාව ජනවරමට සාධාරණය කල හැක. නමුත් නීතියට පිටින් සිදු කරන සිදු වීම් කිසිදු ජනවරමකට සාධාරනීය කල නොහැකි අතර ජනවරමද නීතියට යටත්ය.

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමක් පිළිබඳව නම් ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රසිද්ධියේ සාකච්ඡාවට ලක් වුනේ නම් නැති අතර සිදුවීම් පෙළ ගැසී ඇති ආකාරය අනුව නම් පෙනෙන්නේ අප්‍රසිද්ධීයේ ඒ පිළිබඳව සාකච්ඡා සිදු වී ඇති බවයි. දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම වෙනුවෙන් තීීන්දුව ලබා දුන් විනිසුරුවරුන් ඉලක්ක කර බරපතළ අපහාසාත්මක ප්‍රචාරයන් සිදු වූ අතර, එකී පරීක්ෂණ භාරව කටයුතු කල ශානි අබේසේකර පොලිස් අධිකාරීවරයා සම්බන්ධයෙන්ද අපහාසාත්මක ප්‍රචාරයන් දියත් විය. දුමින්ද සිල්වා ගේ අයියාගේ නාලිකාව විසින් එකී ප්‍රචාරයන් ඉතාම ඕනෑකමින් සිදු කරන ලදී. දේශපාලන පළිගැනීම් කොමිසමක්ද පිහිටවූ අතර එහිදී දින කිහිපයකින් දුමින්ද සිල්වා සිදු වීම පරීක්ෂාවට ලක් කෙරුනි.

ජනාධිපතිවරයකුට ජනාධිපති සමාව ලබා දීමේ හැකියාව ඇතත්, මරණීය දණ්ඩනයට ලක් වී සිටින පුද්ගලයකුට ජනාධිපති සමාව ලබා දීමේ නිසි පටිපාටියක් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දී ඇත. රෝයල් පක් ඝාතකයාට සමාව දීම සම්බන්ධයෙන්ද, සුනිල් රත්නායකට සමාව දීම සම්බන්ධයෙන්ද එකී ජනාධිපති සමාව නිසි ක්‍රියාපටිපාටිය අනුව සිදු නොකිරීම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් ශ්‍රේෂඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වී ඇත. එකී පෙත්සම් සම්බන්ධ තීන්දු මේ වන තෙක් ලබා දී නොමැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති සමාව ගැන සඳහන් වන්නේ 34 වන ව්‍යවස්ථාවේ වන අතර 34 (1) (අ) ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ කවර වූ අධිකරණයක වරදකරුවකු වූ වරදකරුවකුට සම්පූර්ණ හෝ කොන්දේසි සහගත සමාවක් ලබා දීමට, දඩුවමක් කල් තැබීමට, ලබා දුන් දඩුවම වෙනුවට ලිහිල් දඩුවමක් නියම කිරීමට, නියම කරන ලද දඩුවමක් නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමට දඩුවමෙන් රජයට අයවිය යුතු දණ්ඩණයක් ඇත්නම් එය මුළුමනින්ම නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමට, එකී දණ්ඩනය අනුව කිසියම් වස්තුවක් රාජසන්තක කිරීමට නියම කර ඇත්නම් එකී රාජසන්තක කිරීම මුළුමනින්ම අත්හිටුවීමට හෝ එසේ වස්තුවෙන් කොටසක් පමණක් රාජසන්තක කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත.

එසේ නමුත් එකී ව්‍යවස්ථාව අනුවම යම් වරදකරුවකුට මරණ දඩුවම නියම වු විටක එවැන්නකුට ජනාධීපති සමාව ලබා දීමේදී කටයුතු කල යුතු සුවිශේෂී ක්‍රමවේදයක් දක්වයි. එය විශේෂයෙන් සදහන් කර ඇති කරුණකි. ඒ අනුව,

ජනාධිපතිවරයා විසින්,

  • ඒ නඩුව විභාග කල විනිශ්චයකාරවරයාගෙන් වාර්තාවක් ලබා ගැනීමට සැලැස්විය යුතුය.
  • ඒ වාර්තාව ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය.
  • නීතිපතිවරයාගේ උපදෙස් සමග එය අධිකරණ විෂයභාර අමාත්‍යවරයාට වෙත යොමු කල යුතු බව නියම කොට එය නීතිපතිවරයා වෙත යැවිය යුතුය.

 

* ඉන්පසු අධිකරණ අමාත්‍යවරයා විසින් සිය නිර්දේශ සමග එම වාර්තාව ජනාධිපතිවරයා වෙත යොමු කල යුතුය.

මරණිය දණ්ඩනය ලැබූවකුට ජනාධිපති සමාවක් ලබා දීමේදී අනුගමනය කල යුතු ව්‍යවස්ථානුකූල ක්‍රමවේදය මෙයයි.

19වන සංශෝධනය සම්මත කරන තෙක් ජනාධිපතිවරයාට සම්පූර්ණ අධිකරණ මුක්තිය හිමි වූ අතර මූලික අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධයෙන් හෝ ජනාධිපතිවරයාගේ ක්‍රියාවක් ප්‍රශ්න කිරීමේ නෛතික බාධාවක් පැවතුණි. එම නිසාම මෙම ජනාධිපති සමාව අත්තනෝමතික ලෙස විධායක ජනාධිපතිධූරය හඳුන්වා දුන් දින සිට සිදු වූ කරුණක්.

නමුත් 19 වන සංශෝධනය සම්මත වීමත් සමග ජනාධිපතිවරයාගේ ක්‍රියා මගින් මූලික අයිතිවාසිකමක් කඩ වන්නේ නම් එකී ක්‍රියාව අවලංගු කර ගැනීම සදහා ජනාධිපතිවරයාගේ ලේකම්වරයා වගඋත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරීමට හැකියි. මෙම සංශෝධනය ආපසු හරවමින් 20 වන සංශෝධනය වත්මන් රජය සම්මත කලත් එකී සංශෝධන පනත් කෙටුම්පත පූරවයෙන් විමර්ශනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලේ ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් වගකිව යුතු තත්වයකට පත් කිරීමේ යටකී ප්‍රතිපාදනය සංශෝධනය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක්ද අවශ්‍ය බවයි. ඒ අනුව ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් සුරැකීමේ සෘජු වගකීමට යටත් කල ප්‍රතිපාදනය අදටත් වලංගුය.

ඒඅනුව අපරාධ හා අනෙකුත් සිවිල් නඩු කටයුතුවලදී ජනාධිපතිවරයාට පූර්ණ මුක්තිය හිමි වුවත් මූලික අයිතිවාසිකම්හිදී එය එසේ නොවේ. ඒ අනුව ජනාධිපතිවරයා සෑම විටම නීතියට ඉහළින් සිටින්නේ නැත. ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම්වලට යටත්ය. ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි නීතිය ඉදිරියේ සර්ව සාධාරණ හා සමාන රැකවරණය සියළු පුරවැසියන්ට හිමි වන අතර එය ලබා දීමට ජනාධිපතිවයා බැඳී සිටියි. එනම් ජනාධිපතිවරයාද කටයුතු කල යුත්තේ නීතියෙන් නියම කල ආකාරයට මිස විශේෂ පක්ෂපාතීත්වයක් හෝ විශේෂ සැලකිල්ලක් එක් අයකුට ලැබෙන නීතියෙන් නියම කරනු ලැබූ පටිපාටියට පිටින් නොවෙයි.

දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ලබා දීමේදී ඉහත කී ක්‍රියාපටිපාටිය අනුගමනය කළා යැයි සිතීම උගහටය. එසේ සිදු කරන ලද්දෙ නම් ජනාධිපති ලේකම් කාර්යාලයට එකී සියළු ලේඛන හෙට දින ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට පෙර හෝ ජාතිය ඇමතීමේදී ඉදිරිපත් කල හැක. කෙසේ හෝ සුනිල් රත්නායක හිටපු යුදහමුදා සාජන් වරයාට ජනාධිපති සමාව දීමේදී ඉහත කී නීතියෙන් නියම කරනු ලැබූ ක්‍රියාපටිපාටිය අනුගමනය කල බවට කිසිදු ලියවිල්ලක් මේ වන තෙක් ඉදිරිපත් කර නැත. ඒ සම්බන්ධයෙන් පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩුවට හෝ ඒ සම්බන්ධයෙන් ලියවිල්ලක් ඉදිරිපත් කර නොමැත.

බැලූ බැල්මට පෙනී යන දෙයක් නම් මෙම ජනාධිපති සමාවත් මීට පෙර සියළු ජනාධිපතිවරුන් මරණීය දණ්ඩනයට ලක් වී ඇති ප්‍රසිද්ධ පුද්ගලයන් විෂයෙහි ලබා දුන් ජනාධිපති සමාවනුත් සියල්ල ලබා දී ඇත්තේ නීතියෙන් නියම කරනු ලැබූ පටිපාටියට පිටින් බවයි. නීතියට පිටින් කටයුතු කරනු ලැබූ හා කරනු ලබන ජනාධිපතිවරන් පාලනය කරන රටක් කොතරම් භාග්‍යවන්තද? අධිකරණ ක්‍රියාදාමයකට භාජනය නොකර ආයුධ පෙන්වන්න යද්දී පොලීසියෙන් මරණ දණ්ඩනයට ලක්වන නිර්ප්‍රභූ ජන කොටසක්ද, කිසිදු අධිකරණ ක්‍රියාදාමයකට යොමු නොකර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන අත්තනෝමතික ලෙස සිර දඩුවම් ලබමින් සිටින තවත් නිර්ප්‍රභූ ජන කොටසක්ද, තම ළගම ඥාතියාට මරණය සිදු වූයේ නැතහොත් අත්තනෝමතික මරණ දඩුවමක් හිමි වූයේ කෙසේද යන්න නොදන්නා නිර්ප්‍රභූ ජනතාවක් සිටින රටක රටේ උපරිමාධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් තහවුරු කරනු ලැබූ තීන්දු පවා නීතියට පිටින් ආපසු හැරවීමට ජනාධිපතිවරුන්ට හැකියාව ලැබී තිබේ. මේ කොතරම් නීතිගරුක විනය ගරුක රටක්ද?

-නීතිඥ දුලාන් දසනායක-

Social Sharing
නවතම විශේෂාංග