මේ ආණ්ඩුව ගොඩගැනීමට වඩා මුහුදු බත් වූ පර්ල් නැව ගොඩගැනීම පහසුයි – එක්සත් ජාතික පක්ෂය

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කඩිනමින් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බවත් වත්මන් ආණ්ඩුව ගොඩගැනීමට වඩා මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැව ගොඩ ගැනීම පහසු බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ මහතා කියයි.

ඒ මහතා මේ බව පැවසුවේ  (23 ) පොලොන්නරුවේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාලක කොලොන්නේ මහතා මෙසේ ද කීය.

“අද අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජන්ම දිනය. එතුමාට නිවන් සුව පතනවා. ඉස්සර අපි හැමෝම ලෑස්ති වුණේ එතුමා ආරම්භ කළ ගම් උදාව බලන්න යන්නයි. එතුමාගේ ජන්ම දිනය දවසේ අද විශේෂයෙන් ම එක්සත් ජාතික පක්ෂය යෝධ පියවරක් තබන්න යන්නේ. පසුගිය මහා මැතිවරණයේ දී විවිධ අවලාද නගලා බොරු චෝදනා නගලා විවිධ බොරු ප්‍රචාර කරලා ජනතාව නොමග යවලා අත් වුණ පරාජයත් එක්ක පක්ෂයට හිමි වුණු එකම මන්ත්‍රී ධූරය අපේ පක්ෂයේ නායකතුමා එම මන්ත්‍රී ධූරය බාරගන්න කිසි සේත් ම කැමති වෙලා හිටියේ නෑ. පහුගිය කාලයේ ඒ මන්ත්‍රී ධූරය හිස්ව තිබිලා අද රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ ජන්ම දිනය දවසේ මේ රට වැටිලා තියෙන අගාදයෙන් බේරා ගන්න පාර්ලිමේන්තුවේ හඩක් නගන්න අද එතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට දිවුරුම් දෙන දවස. එතුමාට අපි සුභ ප්‍රාර්ථනා කරනවා. වැඩකටයුතු සාර්ථක කර ගෙන ඉදිරි කාලයේ දී මේ රට නිවැරදි දිශාවකට ගෙන යන්න ශක්තිය ලැබේවා කියලා. ඒ වගේම තමයි වර්තමාන ආණ්ඩුව බිහි වුණේ රටේ පැවති මැතිවරණවලින් වැඩි ම බොරු ප්‍රමාණයක් කියලා තමයි වර්තමාන ආණ්ඩුව බලයට ආවේ. ඒකේ ප්‍රතිපලයක් විදිහට අද අපට පේනවා මුලු රටම අද කඩාගෙන වැටිලා. තෙල් මිල ඉහළ ගිහිල්ලා. ඒවගේම බඩු මිල ඉහළ ගිහිල්ලා. රැකියා නැතිවෙලා. විශේෂයෙන් ම මේ කොවිඩ් තත්ත්වය කළමනාකරණය කරගන්න බැරි වෙලා. බෙහෙත් ටික විදගන්න බැරි වෙලා. රටම අරාජික වෙලා තියෙන්නේ. විශේෂයෙන් ම ව්‍යාපාරිකයින් ට තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යන්න භාණ්ඩ ආනයනය කිරීම සදහා මුදල් නැතුව බැංකුවලින් ණයවර ලිපි නිකුත් කිරීම මේවන විට අත්හිටුවලා තියෙනවා. ඒකේ ප්‍රතිපල තව මාස දෙක තුනකින් දැකගන්න ලැබෙයි. විශාල භාණ්ඩ හිගයකට ලක්වෙනවා. අපේ දෙමවුපියන් අපි පොඩි කාලේ කිව්ව 1977 ට එහා තිබ්බ යුගයට යයි. ගිය සතිය වෙනකොට සියලුම වානිජ්‍ය බැංකු ණයවර ලිපි නිකුත් කරන එක අත් හිටවලා තියෙන්නේ. ඒ වගේම ආණ්ඩුව අරන් තියෙනවා තීරණයක් විශේෂයෙන් ම මේ රජරට ඇතුළු ගොවි ජනතාව මහත් බලාපොරොත්තු තියාගත්තා වර්තමාන ජනාධිපතිවරයා බලයට පත් වෙනකොට ගොවි ජනතාවට පොහොර නොමිලේ හම්බවෙනවා කියලා. පොහොර නොමිලේ තියා ලබන වසරේ ඉදලා සල්ලිවලට වත් ගන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. මේ කන්නයේ වගා කර ගොවි තැන්වලටත් අවශ්‍ය පොහොර ප්‍රමාණය නැහැ. ලබන කන්නයට කොහොමවත් පොහොර ලැබෙන්නේ නෑ කියලා ආනයනය කිරීම සිදු කරලා නැහැ. ඉතින් මේ රජය කියන්නේ කාබනික පොහොරවලට මාරුවෙන්න කියලා. කාබනික වගාව හොදයි නමුත් මේවගේ දෙයක් කරන්න කලින් සොයලා බලලා ඉන්න ඕන. ලෝක තත්ත්වය කොහොමද කියලා. යුරෝපයේ තියෙන පොඩි රාජ්‍යක් තමයි ලෝකයේ වැඩි ම කාබනික වගාව කරන්නේ ලිංචෙස්ටර් කියන රට සියයට 38 යි ඒකත්. ඊළගට සමෝසා රාජ්‍ය‍ය සියයට 34යි. ඊට පස්සේ ඕස්ට්‍රියාව සියයට 24යි. ලෝකයේම කාබනික වගාව සිදු කෙරෙන්නේ සියයට 2යි. එහෙම බැලුවාම අපි කොහොමද සියයට සියයක් ම කාබනික වගාවට යන්නේ. දැන් මේකේ ප්‍රතිපලයක් විදිහට අපට කන්නයකට ලැබෙන සහල් මෙට්‍රික් ටොන් මිලියන 3 ක පමණ ප්‍රමාණය එන කන්නයේ අපට නැති වෙලා යනවා ඒක මිලියනයකට විතර බහියි. ඊට පස්සේ අපට වෙන්නේ ඉන්දියාවෙන් පකිස්තානයෙන් බංගලිදේශයෙන් හාල් ගේන්න වෙයි.රටේ තියෙන ඩොලර් සංචිත ටිකත් නැති කරගෙන ඒ එන හාල් මොන තරම් කෘෂි රසායන යොදපු එවාද කියලා අපි දන්නේත් නෑ. මේ ආණ්ඩුව ජනතාවට නොමිලයේ පොහොර දෙනවා කියලා ඒ පොරොන්දුව ඉටු කරන්න මුදල් නැතුව බාල පොහොර ලබා දීලා තමයි ඔය වකුගඩු රෝගය ආවේ. මිනිස්සු කියන්නේ නොමිලයේ පොහොර දෙන්න කියලා නෙමෙයි. මුදලට හරි ගන්න ගුණාත්මක බවින් යුත් පොහොර දෙන්න කියලා. අපි බලයට ආවාම අපේ අඩුපාඩු හදාගෙන මේ තත්ත්වය කළමනාකරණය කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි පසුගිය මැතිවරණයෙන් විශාල පසුබෑමකට ලක් වුණා. ඒ ජනතාවට  බොරු කියලා ජනතාව නොමග යවපු නිසා. ජනතාව දැන් එය තේරුම් අරන් ඉන්නේ. රටක් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒකට ජාත්‍යන්තර සහය අවශ්‍ය‍යි. ලෝකයේ අනිත් දියුණු රටවල සහය අවශ්‍ය‍යි. අද බැලූ බැල්මට ම මේ සහය ගන්න පුලුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ පමණයි. අපි දන්නවා එතුමා මේ ගත්ත පියවරත් එක්ක විශාල වෙනසක් වේවි ඉදිරියේ දී. අපි දන්නවා එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙහි දිවුරුම් දීලා ඉවරවෙලා ඉතාම ඉක්මනින් අපේ පක්ෂයේ ගම්මට්ටමෙන් සංවිධාන ශක්තිමත් කරාවි. හැකි ඉක්මනින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ගන්න එතුමා කටයුතු කරයි. එපමණක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් බිහිකරන්නත් අපට හැකියාව ලැබෙන බව විශ්වාසයි. අද බොරු කියලා බොරුවෙන් බලයට ආව ආණ්ඩුව ගැන ජනතාව දැන් තේරුම් අරන් තියෙන්නේ. ඒ නිසා ඉදිරි කාලයේ දී බොහොම ශක්තිමත් ආණ්ඩුවක් හදලා මේ රට නිවැරදි දිශාවකට ගෙනයන්න හැකි වෙයි. අද රටේත් ලෝකයේත් බුද්ධිමතුන් වියතුන් සියලු දෙනා පිළිඅරන් තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇරෙන්න රට ගොඩ ගන්න වෙන කෙනෙක් නැහැ කියලා. ඒ සදහා දැන් සියලු දෙනා එකතු වෙලා අපිත් එක්ක කටයුතු කරනවා. පහුගිය මැතිවරණයේ දී අපිත් එක්ක හිටිය මන්ත්‍රීවරු වගේම නොහිටිය මන්ත්‍රීවරුත් දැන් අපිත් එක්ක එකතු වෙලා කටයුතු කරනවා. මේක සුබදායි පියවරක්. අපි පක්ෂය ශක්තිමත් කරලා ආණ්ඩුවක් ලබාගෙන රටේ ජනතාවට සහන ලබා දෙන්න කටයුතු කරනවා. දැන් සහල් ආනයනය කරන්න යනවා. මේවා තමයි මාෆියාවල්. සහල් ආනයනය කිරීමෙනුත් මේ රටේ වී මිලදී ගැනීමෙනුත් ගසා කනවා. අපි හොද වැඩපිළිවෙලක් හදලා තිබුණා අපේ රජය යටතේ. ඒවා විනාශකරලා තමයි මේ රජය බලයට ආවේ. මේ යන විදිහට ගියොත් ලබන ජනවාරි පෙබරවාරි වෙනකොට විශාල ආහාර හිගයක් ඇති වෙලා ජනතාව පාරට බහින දිනය බොහොම ළග තියෙන්නේ. චීනයෙන් එල්ල වෙලා තියෙන බලපෑම විශාල ආර්ථික බලපෑමක්. අපි 2015 බලයට එනකොටත් මේ රට විශාල ණය උගුලකට අහු වෙලා හිටියේ. අපේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ ණය උගුලෙන් බේරෙන්න උපාය මාර්ග යෙදුවා. කෙටි කාලීන ණය දිගුකාලීන ණය බවට පත් කරලා අඩු පොලියට ණය ගත්තා. එතුමාගේ දක්ෂකම චීනයත් තේරුම් ගත්තා පෝට්සිටි නගර ව්‍යාපෘතිය  සින්නක්කරේට දීලා තිබුණු එක අපි වෙනස් කළා. 99 අවුරුදු බදු ක්‍රමයකට. දැන් ආපහු ඒක මේ ආණ්ඩුව නැවතත් ආපස්සට හරවලා තියෙන්නේ. මේ තියෙන ආර්ථික අර්බුදය කළමනාකරණය කළ හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ කියලා අද සියලු දෙනා තේරුම් අරන් තියෙනවා අද ආරම්භ කරපු මේ ගමන ඉතාම ඉක්මනින් අපේ ආණ්ඩුවක් ලබා ගැනීම ට හැකිවේවි. අපට දැන් පුදුමයි අද රටේ වෙන කතාවක් නෑ.හැම කෙනෙකුටම දැන් තේරුම් ගිහිල්ලා. විපක්ෂයත් ආණ්ඩුවත් දෙකම අද කළබලවෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවට එන එක. අද ආණ්ඩුව ගොඩ ගන්නවාට වඩා ගිලුණු එක්ස්ප්‍රස් පර්ල් නැව ගොඩ ගන්න එක පහසුයි කියලා දැන් හැම කෙනෙකුටම තේරිලා තියෙන්නේ. අපේ නායකතුමා මේ ආරම්භ කළේ අපේ පක්ෂයේ ආණ්ඩුවක් හදන ගමනේ එක පියවරක්. අපි රට හදන ආණ්ඩුවක් තමයි පිහිටුවන්නේ.” යැයි ද ඒ මහතා කීය. මෙම අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටියහ.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Social Sharing
නවතම