ආධාර ලැබුණු ඒවා හැර ආණ්ඩුව මිලදී ගත්තේ එන්නත් ලක්ෂ 5 යි!

අද වන විට මේ දේශපාලන යාන්ත්‍රණය එන්නත් ක්‍රියාවලියේදී අසමත් වී ඇතැයිද මෙරට මුලු එන්නත් ක්‍රියාවලියම අවුල් කර අසාර්ථක තත්වයට පත් කර ඇතැයිද  ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත්කරණය ගැන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ නමුත් මෙරට එන්නත්කරණයේදී ඒවාට මුල් තැන දෙනවා වෙනුවට මුල් තැන දුන්නේ ලියුමට, දුරකථන ඇමතුමට, හිතවත්කමට බවද ඔහු චෝදනා කර සිටියි.

මේ රටේ සෑම පුරවැසියෙකුටම එන්නත හිමිකමක් බවත් එය වරප්‍රසාද මඟින් ලබා ගත යුතු නැති බවත් තමන්ගේ අවස්ථාව දැනගත යුතු බවද හෙතෙම පවසයි.

ලෝකයේ දෙසැම්බර් මාසය වන විට කොවිඩ් එන්නත් හඳුනාගෙන තිබු අතර ඇතැම් රටවල් එන්නත්කරණය පටන් ගෙන තිබු බවද එන්නත් එම සමාගම් වලින් ලබා ගැනීම සඳහා විවිධ ඉල්ලීම් කළ යුතුව තිබු අතර ගිවිසුම් ගත වී යම් කොන්දේසි සම්පුර්ණ කිරිමට තිබුණත් මේ රජය ඒ කිසිවක් සිදු නොකළ බව ඔහු කියා සිටියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු විවිධ රට වලින් නොමිලයේ ලැබෙන එන්නත් ටික මෙරටට ලැබුණු අතර අප මිලදී ගැනීමට සමත් වූයේ එන්නත් ලක්ෂ 05 ක් බවද පෙන්වා දෙන ඔහු පවසන්නේ මේ එන්නත්කරණයෙන් සාර්ථකත්වයක් ලැබීමට නම් අවම වශයෙන් රටේ 70% ක්වත් එන්නත්කරණය කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබු බවය.

ඒ අනුව ලක්ෂ 280 ක එන්නත් මෙරටට අවශ්‍යව තිබූ නමුත් ආධාර ලෙස ලැබුණු එන්නත් ප්‍රමාණය හැරුනු කොට මෙරටට මිල දී ගැනීමට හැකි වුයේ එන්නත් ලක්ෂ 05 ක් බවත් එයටද මාස 06 ක් ගත වූ බවත් අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.

වෙන රටවල නායකයින් මේ එන්නත් නිෂ්පාදනයේ සිට ඒවා වෙළඳපොලට පැමිණෙනතෙක් ඇස ගසාගෙන සිට ඒවා ලබා ගත් බවත් නමුත් මෙරට නායකයින් ඒ කිසිවෙක් දෙස නොබලා ඔහේ සිටි බවත් අවසානයේ ලක්ෂ 05 ක් පමණක් මිලදී ගත්තා යැයිද ඔහු පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

 

-ශානි-

Social Sharing
නවතම