“බ්‍රැන්ඩික්ස් ආයතන ඉල්ලා ඇති ණය ප්‍රමාද කරන්න” වෘත්තිය සමිති ලෝක බැංකුවෙන් ඉල්ලයි.

කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ල ආරම්භ වුයේ 2020 ඔක්තෝම්බර් මස 04 දාය. ඒ මිනුවන්ගොඩ, යකහටුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඇඟලුම් සේවිකාවක් ගම්පහ රෝහලේදී කොවිඩ් ආසාදිත බව හඳුනා ගැනීමත් සමගය. මෙහිදී එම ආයතනය එම සේවිකාව සම්බන්ධයෙන් වගකීමක් ගැනීම සිදු නොකළ අතර එහිදී හෙළි වුයේ සේවක සේවිකාවන්ට අසනීප තිබියදී සේවය ලබා ගෙන ඇති බවය.

මේ බ්‍රැන්ඩික්ස් පොකුර 4000 සීමාව ඉක්මවා ගොස් නිදහස් වෙළඳ කලාපයටද ඇතුලු වූයේ ක්ෂණිකයෙනි. එකම නේවාසිකාගාර වල රැඳී සිටීම, සැමියා හෝ බිරිඳ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කිරිම ආදී හේතු නිසා මේ වසංගතය කලාපය පුරා ව්‍යාප්ත වුයේ ඇඟලුම් සේවක සේවිකාවන් අන්ත අසරණ තත්ත්වයට පත් කරමිනි.

මෙහිදී කම්කරු අමාත්‍යාංශය මෙන්ම නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබුණේ වහාම මේ කොවිඩ් ව්‍යාප්තිය වු ආකාරය පිලිබඳ විමර්ශනයක් ආරම්භ කරන ලෙසය. ඒ අනුව පාර්ශව දෙකක් ඔස්සේ විමර්ශන ආරම්භ විය. නමුත් දැන් මාස හයක් ගතව ඇතත් තවමත් එහි විමර්ශන වාර්තා එළි දක්වා නැත.

මේ අතර බ්‍රැන්ඩික්ස් ආයතනය ජාත්‍යන්තර මුල්‍ය සහයෝගීතාව හරහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක දිගු කාලීන ණය පහසුකමක් ඉල්ලා ඇත. ඒ් 4% ක පොලියකටය.

නමුත් ලංකාවේ වෘත්තිය සමිති හයක් ඇතුලු කම්කරු සංවිධාන ලෝක බැංකුව වෙත ඉල්ලීම් කර සිටින්නේ කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භවී මාස 6ක් ගතවී ඇති අවස්ථාවක බ්‍රැන්ඩික්ස්  සමාගමෙන් සහ ලෝක බැංකුවෙන් සේවක අයිතිවාසිකම් ආරක්ෂාකරමින් ඒවාට ගරුත්වයක් ලබා දෙන ලෙසත් දිගුකාලීන ණය පහසුකම පමා කරන ලෙසත් හා ණය ලබා දීමේදි කොන්දේසි ඉදිරිපත් කරන ලෙසත්ය.

අද වෙනතුරු ආසාදිත කාන්තාවන් කෙරෙහි අවධානයක් යොමු නොකිරීම, සෞඛ්‍ය ආරක්ෂිත නොකිරීම, වෘත්තිය සමිති වලට බැඳීමට ඉඩ නොදීම යන කරුණු සලකා බලා ඩාබිඳු සාමුහිකය, මානව විමුක්තිය උදෙසා සංවර්ධනය, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, වාණිජ සහ කාර්මික සේවක සංගමය සහ නැව්කරුවන්ගේ ජාතික සංගමය යන වෘත්තිය සමිති එකතුව මේ ඉල්ලීම කර ඇත.

මෙම ඉල්ලීම හා සම්බන්ධ කරුණු කාරණා සාකච්ඡා කෙරෙන විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ ( 08 )  දින කොල්ලුපිටිය ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ශාලාවේදී පැවත්විය.

බ්‍රැන්‍ඩික්ස් ආයතනයේ සෞඛ්‍ය හා ආරක්ෂණ ක්‍රමවේදයන්හි අඩුපාඩු තිබේද යන්න සොයා බැලීම සඳහා විද්වත් මට්ටමේ ත්‍රිපුද්ගල ස්වාධීන කමිටුවක් පත්කළ බවටත් එමඟින් අවශ්‍ය පියවර ගනු ඇති බවට නිවේදනය කලත් එවැනි ප්‍රසිද්ධ කිරීමක් සිදු නොවුන බව වෘත්තීය සමිති විසින් මෙහිදි පෙන්වා දුන්හ.

කෙසේ වෙතත් බ්‍රැන්ඩික්ස් කොවිඩ් 19 ව්‍යාප්තිය සමඟ ඇඟළුම් සේවක සේවිකාවන් මහත් අසීරුතාවයන් රැසකට මුහුණ දුන් අතර එහිදී අයිතිවාසිකම් කප්පාදු වීම්,වැටුප් නොලැබීම්, අත්තනෝමතික ලෙස සේවයෙන් ඉවත් කිරීම්, ශ්‍රම සූරා කෑම්, මෙන්ම අනිසි බලපෑම්, ආත්ම ගෞරවයට හානි සිදුකිරීම්, විවේචන හරහාද ඇඟළුම් සේවකයින් අසරණ තත්ත්වයකට පත්කළ බව අවධාරණය කර සිටින මෙම වෘත්තිය සමිති ඉල්ලා සිටින්නේ ලෝක බැංකුව විසින් බ්‍රැන්ඩික්ස් සමාගම වෙත ආයෝජන කිරීමට සැලසෙන අවස්ථාවේ වෘත්තීය සමිති ලෙස එහි සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසටය.

-ශානි-

Social Sharing
නවතම