මානව හිමිකම් කොමසාරිස්වරිය අනුගමනය කරන්නේ දෙබිඩි පිලිවෙතක් – ගම්මන්පිල

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය බෙදුම්වාදී කොටි සංවිධානයේ බළල් අතක් බවට බලශක්ති අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඉදිරියේ ශ්‍රී ලංකාවේද සම අනුග්‍රාහයෙන් සමන්ත වූ 1/40 නමැති යෝජනාව අනුව 46 වැනි සැසිවාරයට මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කළ යුතු වාර්තාව මේ වන විට ඉදිරිපත්ව ඇති අතර එහි අඩංගු කරුණු හේතු 02 ක් මත ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරන බව මීට පෙර අමාත්‍යවරයා විසින් දන්වා සිටින ලදි.

මෙහි අඩංගු අන්තර්ගතය පිලිබඳ අවධානය යොමු කරමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසන්නේ එම වාර්තාවේ 21 වෙනි කරුණට අනුව “මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට නාවික හමුදාවේ සේවය කළ සරත් වීරසේකර මහතා  පත් කිරිම ගැන ඔවුන් චෝදනාවක් නඟා ඇති බවය. නමුත්. එතුමා අමාත්‍ය පදවියට පත්වෙන්නෙ නාවික හමුදාවෙන් විශ්‍රාම ගොස් වසර 14 කට පසුව බවත් දේශපාලනයට පැමිණ අවුරුදු 10 කට පසුව බවත් ඔහු පෙන්වා දෙයි.

හමුදාවෙන් විශ්‍රාම ගිය පසු ඔවුන්ට සිවිල් අයිතිවාසිකම් හිමි බවත් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට ලෝකය පුරා හිමි සිවිල් අයිතිවාසිකම් අහිමි කිරීමට මානව හිමිකම් කොමසාරිස් යෝජනා කරන්නේද යන්න අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියි.

සරත් වීරසේකර මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්නෙ මනාප 328,000ක දැවැන්ත ජනතා වරමක් අරගෙන බවත් එසේ ජනතා වරමෙන් පත් වු පුද්ගලයෙකුට මානව හිමිකම් කොමසාරිස්වරියගේ විවේචනයට ලක් වීම මෙරට ජනතාවට, ප්‍රජාත්‍රන්තවාදයට කරන අපහාසයක් යැයිද හෙතෙම කියා සිටියි.

එමෙන්ම 22 කරුණේ යුධ අපරාධ කළ බවට ශවේන්ද්‍ර සිල්වා මහතාට චෝදනා නගා ඇති බවත් නමුත් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා යුධ අපරාධ කළ බවට චෝදනා නඟන දෙමළ බෙදුම්වාදීන්ට පසුගිය වසර 12 ටම ඔහු යුධ අපරාධයක් කළ බවට සාක්ෂි ඉදිරිපත් කරන්න අසමත් වී ඇතැයිද  එවැනි පසුබිමක මානව හිමිකම් කොමසාරිස්වරිය ලැජ්ජා නැතුව, යුධ අපරාධ කළ පුද්ගලයෙක් විදියට ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාව හඳුන්වන්නේ යැයි ද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

පසුගිය ආණ්ඩුව ඔහුව හමුදාපති තනතුරට පත්කරනකොට හොඳයි, හැබැයි අපේ ආණ්ඩුව කාලෙ එතුමා හමුදාපති ධුරයේ කටයුතු කිරීම නරකයි. ඒකෙන්ම මානව හිමිකම් කොමසාරිස් නෝනාගේ දෙබිඩි බව මැනවින් ප්‍රදර්ශනය වෙනවා. කොමසාරිස් නෝනා බෙදුම්වාදීන්ගේ කොටි සංවිධානයේ බළල් අතක් බවට මනාව  තහවුරු වෙන බවයි අපි විශ්වාස කරනවා යැයිද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (05) කොළඹදී පැවති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Social Sharing
නවතම