වැඩකරන පංතියේ ජනතාවට  වෙනස් කළ නොහැකි දෙයක් නැහැ –  සුනිල් හඳුන්නෙත්ති

නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමේ උත්සාහය පරාජය කළේ වරාය වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ ප්‍රගතිශීලී ජනතාවගේ මැදිහත්වීම මත නමුත් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට අනුව නම් ජැටිය බේරාගෙන තිබෙන්නේ ජනාධිපතිවරයා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ මහතා මෙසේ සඳහන් කළේ ජවිපෙ මූලස්ථානයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුව අමතමිනි.

ආණ්ඩුව රාජ්‍ය බලය හා මාධ්‍ය බලය භාවිතා කරමින් ජනතාව තුළ වැරදි මතයක් තහවුරු කිරීමට සූදානම් වන බවත්, ජැටිය විකිණීමේ උත්සාහය පරාජය කිරීමේ ගෞරවය බලෙන් ලබා ගැනීමට ඔවුන් උත්සාහ දරමින් සිටින බවත් ඒ මහතා පවසයි. කපටි ආරක්ෂකයන් විසින් ගන්නා මෙම උත්සාහය ජනතාවට හෙලිදරව් කළයුතු බව ඔහු පෙන්වා දෙයි.

මෙහිදී වැඩිදුරටත්  අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා,

මේ ආණ්ඩුව මුල සිටම රනිල් – මෛත්‍රී ආණ්ඩුව ජපානය, ඉන්දියාව ඇඳාගෙන 2019 එළඹි අවබෝධතා ගිවිසුම ආරක්ෂා කරමින් ඉදිරියට ගෙන යන බව ප්‍රකාශ කළා. ඒ වෙනුවෙන් කැබිනට් පත්‍රිකා 02ක් දාලා ඒ ස්ථාවරය වෙනුවෙන් කටයුතු කළා. කලින් ඇතිකරගනු ලැබූ අවබෝධතා ගිවිසුම වෙනස් කරන්න බැහැ කියලත් ප්‍රකාශ කළා. හැබැයි අපි දැක්කා වෘත්තීය සමිතිවල එකමුතුභාවය විසින් එය වෙනස් කළා. අද ආණ්ඩුව එහෙම කතාවක් කියන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තීරණය වෙනස් කළේ ආණ්ඩුව නොවෙයි. ජනතාව විසිනුයි. වැඩකරන පංතියේ ජනතාව විසින් වෙනස් කළ නොහැකි දෙයක් නැති බව ඔප්පුකොට තිබෙනවා.

ආණ්ඩුව විකිණීමට හේතු විදිහට විවිධ දේ කිව්වා. රනිල්-මෛත්‍රී ආණ්ඩුව විසින් 2019 ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමක් තිබෙන බවත් කිව්වා. අනෙක් තර්කය වුණේ වරාය අධිකාරියට මුදල් නැති බව. 2020 ජුනි 09 ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාගේ කැබිනට් පත්‍රිකාවෙත් ඔක්තෝබර් 22 රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයාගේ කැබිනට් පත්‍රිකාවෙත් ඉතාම පැහැදිලිව වරායට මුදල් නැති බව කියනවා. අනෙක ප්‍රති අපනයනවලින් 66%ක් ඉන්දියාවට කරන නිසා ඒ වෙළඳපොළ අහිමිවෙන බව කිව්වා. ඒ අහිමිවීම වළක්වා ගන්න ඉන්දියාවට නොදී බැහැ කිව්වා. හම්බන්තොට චීනයට දුන්නු නිසා කොළඹ වරාය ඉන්දියාවට දෙන්න වෙනවා කිව්වා. වෙන කරන්න දෙයක් නැහැ කිව්වා.

වෘත්තීය සමිති, දේශමාමක ජනතාව මේ තීරණය ආපහු හැරෙව්වාට පස්සේ ඒ හේතු පැත්තකින් තියලා ආණ්ඩුවේ ජයග්‍රහණයක් කියනවා. අපට මතකයි ජනාධිපතිවරයා වරාය වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් ලබාදුන්නා. ඒකෙදි ජනාධිපතිවරයාට නැගෙනහිර ජැටියේ 100%ක අයිතිය වරාය අධිකාරියට ගන්න බව වෘත්තීය සමිතිවලට කියන්න තිබුණා. එහෙම කිව්වා නම් එදාම ප්‍රශ්නය ඉවරයි. වෘත්තීය සමිතිවලට උද්ඝෝෂණ කරන්න, අකුරට වැඩකරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එදා කිව්වේ 51%ක් තියාගෙන 49%ක් ‘අදානි’ සමාගමට දෙන්න වෙනවා කියලා. ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා ලංකාවට ආපු වෙලාවෙ කිව්වෙත් ඒකයි. ආණ්ඩුව එම එකඟතාවයට අනුව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතේ අද කියන්නේ ඒකයි. අද ජනාධිපතිවරයාට ස්තූති කරන කට්ටිය එදා කොහේද හිටියේ. එයාල මේවා දැක්කේ නැද්ද? අද ඔවුන් කතා කරන්නේ කටින්ද වෙන තැනකින්ද කියලා අපිට අහන්න වෙන්නේ ඒ නිසයි.

ආණ්ඩුව දිගටම හිටි ස්ථාවරය තමයි, ඉන්දියාව විසින් නම් කරනු ලබන සමාගමකට නැගෙනහිර ජැටිය දෙන්න වෙනවා කියන එක. සෑම කැබිනට් පත්‍රිකාවකම ආණ්ඩුවේ ආර්ථික නොහැකියාවත් ‘අදානි’ සමාගමේ හැකියාවත්, එයට ජැටිය ලබාදීමේ අවශ්‍යතාවත් පැහැදිලි කර තිබුණා. ‘අදානි’ සමාගමට ඩොලර් බිලියන 30ක වත්කම් තිබෙන බව, ඔවුන් ඉන්දියාවේ දරන බලවත් තැන, පෙන්වා දුන්නේ නැගෙනහිර ජැටිය 100%ක් වරාය අධිකාරිය යටතේ තියා ගන්න නොවේ. රනිල්-මෛත්‍රී ගිවිසුම පෙන්නුවෙත් රටේ නොහැකියාව පෙන්නුවෙත් ‘අදානි’ගේ හැකියාව පෙන්නුවෙත් මෙම ජැටිය ඉන්දියාවට ලබාදෙන්නයි. ජනාධිපතිවරයාට ස්තූති පළකරන්න මාධ්‍ය හමු තියන විමල් වීරවංශ අමාත්‍යවරයා අද කියනවා, රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව සංකල්ප පත්‍රිකාවක් විතරයි කියලා. මේක කන්න ඕන වුණාම කබරයා තලගොයා කරගන්න කතාවක්. එදා එයාලගේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අහපු නැති ප්‍රශ්නයක් තියෙනවා. මේ හැම කැබිනට් මණ්ඩලයකම විමල් වීරවංශ, ගම්මන්පිල, වාසුදේව නානායක්කාර කැබිනට් ඇමතිවරු විදිහට හිටියා. රෝහිත මේක විකුණන්න කැබිනට් පත්‍රිකාව ගේනකොට ඔය දේශමාමක යැයි කියාගන්නා ඇමතිවරු කොහේද හිටියේ. ඔවුන් ඒකට විරුද්ධව ඉදිරිපත් කරපු සංශෝධන මොනවාද? එතකොට ‘මීක්’ කියන්නේ නැතිව ඉඳලා ඇමති මණ්ඩලේ පුටු අස්සේ හැංගිලා ඉඳලා, දැන් මේක ජනතාවගේ විරෝධතාවය නිසා දෙන්න ගිය ගමන වැළැක්වුණාට පස්සේ මාධ්‍ය සාකච්ඡා තියලා වීරයෝ වෙන්න හදනවා. වෘත්තීය සමිති විසින් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා මේක දෙන්න වෙන්නේ නැහැ කියලා ආණ්ඩුව ඇතුළෙන් තොරතුරු ආවාට පස්සේ ඒකෙ ලකුණු දාගන්න ඔවුන් අද කතා කරනවා. අපි මේකට විරුද්ධයි කියලා කට ඇරියේ අකුරට වැඩකිරීමේ දෙවැනි, තුන්වැනි දවස්වල. මේක දෙන්න වෙන්නේ නෑ කියලා හරියටම දැනගත්තට පස්සේ කාඩ්බෝඩ් වීරයෝ එළියට බැස්සා.’

Social Sharing
නවතම