
දිසානායක මුදියාන්සේලාගේ ශ්‍යාමලී ප්‍රියංගා දිසානායක මහත්මිය කුරුණෑගල හේනමුල්ල ග්‍රාමයේ වෙසෙන දැනට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කුරුණෑගල කාර්යාලයක සේවය කරන තැනැත්තියක් වන අතර ඇගේ සැමියා පොලිස් සැරයන්වරයෙකි.
ඔහු කුරුණෑගල පොලීසියේ රාජකාරි කරමින් සිටින අතරතුර 2026 මැයි 05 දින ශ්‍යාමලී මහත්මියගේ ගමේ පදිංචි කාන්තාවක් කුරුණෑගල පොලීසියට පැමිණ එහිදී තම ගමේ පදිංචිකරුවකු වූ ඉහත සඳහන් පොලිස් සැරයන්වරයා දැක හඳුනාගෙන පොලීසිය බාරයේ ඇති තමන්ගේ යතුරු පැදියක් නිදහස් කරගැනීමට අවශ්‍ය බව පවසා ඊට අදාල ලිපි ගොනුවක් ඔහුට පෙන්වා ඇත. බිරිඳගේ ගමේ අයෙක් වීම නිසා ඒ ගැන විශේෂයෙන් සැලකීමක් කර එම ලිපිගොනුව බාරගෙන ඊට අදාල නිලධාරියාට දී ඔහු වෙනත් කටයුත්තක් සඳහා එතැනින් ඉවත්ව ගොස් ඇත.
මඳ වේලාවකට පසු කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පැමිණ එම සැරයන්වරයා විසින් ඉහත කී කාන්තාවගෙන් බලහත්කාරයෙන් රුපියල් දහසේ නෝට්ටු හතරක් හෙවත් රුපියල් හාරදහසක් ලබාගත් බවට ඇය පැමිණිලි කලායයි පවසමින් සැරයන්වරයාගේ ශරීර පරීක්ෂාවක් කර ඔහු ඇඳසිටි කමිසයේ සාක්කුවේ තුබූ රුපියල් දහසේ “එක්” නෝට්ටුවක් සමගින් ඔහුව අත්අඩංගුවට ගෙන පොලිස් සිරකුටියේ රඳවා ඇත.
පසුව එකී පැමිණිලිකාරියගෙන් හා ඇගේ පුත්‍රයාගෙන් ප්‍රකාශයන් ලබාගනිමින් ඊට අදාලව චෝදනාවක් ගොඩනගා සැරයන්වරයාවරයාව අධිකරණයට ඉදිරිපත්කරමින්
තවමත් විමර්ශන අවසන් නොමැති බැවින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා ඇත.
කෙසේ වෙතත් කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුට ඇප නියම කර 2026 සැප්තැම්බර් 16 දිනට නඩුව නැවත කැඳවීමට නියම කර ඇත.
මේ අතර 2026 මැයි 05 දිනසිට බලපැවැත්වෙන පරිදි මෙම සැරයන්වරයාගේ සේවය අත්සිටුවීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරී, කුරුණෑගල දිස්ත්‍රික් ( 1 ) විසින් නියෝග නිකුත් කර තිබේ.
වසර තිස් අටක් උතුරු නැගෙනහිර ඇතුළුව දිවයින පුරා පොලිස්ථානයන්හි සේවයක් ඉටුකර ඇති තම සැමියා මේවනවිට අක්මා පිළිකාවට ගොදුරුව ශෛල්‍යකර්මයකට සූදානමින් ඊට පූර්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව පොලිස් සිරමැදිරිය වැනි සෞඛ්‍යාරක්ෂිත නොවන තැනක පැය ගණනාවක් රඳවා තැබීමත් ඊටත් අමතරව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඉල්ලා සිටීමත් අතිශයින්ම දුෂ්ඨ ක්‍රියාවක් වනබව පවසන ශ්‍යාමලී මහත්මිය තම සැමියා හරියාකාරව නොදැන සිටියත් පොලීසිය හොඳින්ම දන්නා විවිධ චෝදනාවන්ට ලක්ව නිරන්තරව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා කාන්තාවක් කල පැමිණිල්ලක් පිළිබඳව පිළිබඳව පරිපූර්ණ විමර්ශනයක් නොකර මෙසේ තම සැමියාව පීඩාවට ලක් කිරීම අතිශයින්ම කණගාටුදායක සිද්ධියක් වන බව කියා සිටින්නීය.
විශේෂයෙන් සඳහන් කලයුතු කරුණක් වන්නේ මෙම සැරයන්වරයාට එරෙහිව පැමිණිල්ල කල කාන්තාව යම්කිසි කාරණයකට අදාලව මේ වනවිටද රක්ෂිත බන්ධනාගාර ගතව ඇති බවය.
මෙම කාරණය පිළිබඳව කුරුණෑගල මානව හිමිකම් හා සමාජ ව්‍යවසායකත්ව සංවර්ධන මධ්‍යස්ථානයේ සහායෙන් ශ්‍යාමලී මහත්මිය විසින් මානව හිමිකම් කොමිසමට හා පොලිස් කොමිසමට පැමිණිලි යොමුකර ඇති අතර මේවනවිට එම ආයතන දෙක විසින්ම සිය විමර්ශනයන් ආරම්භ කර ඇත.
ඔබට හෝ ඔබ දන්නා අයෙකුට මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට මුහුණ දීමට සිදුවී ඇත්නම්, නීතිමය සහාය ලබා ගැනීම සඳහා වහාම ඔබට ආසන්නතම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය.
කුරුණෑගල සහ අවට ප්‍රදේශවල සිටින ඕනෑම අයෙකුට තම පැමිණිලි පහත සඳහන් දුරකථන අංකය ඔස්සේ යොමු කළ හැකිය.
කුරුණෑගල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය – 0772589869
