ආසියාවේ නිවාස මිලදී ගැනීමට වඩාත්ම අපහසු රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට!

ලොව නිවාස සහ ඉඩම් මිලදී ගැනීමට වඩාත්ම අධික පිරිවැයක් දැරීමට සිදුවන නගර පිහිටා ඇත්තේ ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව හෝ එක්සත් රාජධානිය වැනි දියුණු බටහිර රටවල බව බොහෝ දෙනාගේ අදහස වුවද, නවතම ජාත්‍යන්තර අධ්‍යයනයක් එම මතය අභියෝගයට ලක්කර තිබේ.

ලෝකප්‍රකට The Economist සඟරාව විසින් සිදුකළ පර්යේෂණාත්මක අධ්‍යයනයකට අනුව, ජනතාවගේ සාමාන්‍ය ආදායමට සාපේක්ෂව නිවාස මිලදී ගැනීම වඩාත්ම දැරිය නොහැකි නගර සහ වෙළඳපොළවල් බොහොමයක් පිහිටා ඇත්තේ ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල බව අනාවරණය වී ඇත.

“The world’s most unaffordable housing is not where you think” යන මැයෙන් පළ වූ මෙම වාර්තාවට අනුව, ආසියාවේ නිවාස මිලදී ගැනීම වඩාත්ම අපහසු රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව තිබේ. එහි පළමු ස්ථානය හිමිව ඇත්තේ පිලිපීනයේ මැනිලා නගරයටය.

වාර්තාව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල නිවාස අර්බුදය තීව්‍ර වීමට ප්‍රධාන හේතුව ජනතාවගේ ආදායම සහ නිවාස මිල අතර පවතින විශාල පරතරය බවයි. බටහිර රටවල නිවාස මිල ඉහළ වුවද එම රටවල වැසියන්ගේ ආදායම් මට්ටම ද ඉහළ බැවින් නිවාස මිලදී ගැනීමේ හැකියාව තරමක් පවතී. එහෙත් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වැටුප් මට්ටමට සාපේක්ෂව නාගරික ප්‍රදේශවල ඉඩම් සහ නිවාස මිල ගණන් ඉතා ඉහළ මට්ටමකට පැමිණ තිබේ.

තවද, රැකියා, අධ්‍යාපන සහ අනෙකුත් පහසුකම් සොයා ජනතාව විශාල වශයෙන් ප්‍රධාන නගර වෙත සංක්‍රමණය වීම නිසා නාගරික නිවාස සඳහා ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ ගොස් ඇති බවද වාර්තාව සඳහන් කරයි.

මධ්‍යම හා අඩු ආදායම්ලාභී ජනතාවට සරිලන නිවාස සැපයුම් හිඟය ද මෙම ගැටලුව තීව්‍ර කිරීමට හේතු වී ඇත. වර්තමානයේ බොහෝ නිවාස ව්‍යාපෘති සහ නිවාස සංකීර්ණ ධනවත් ආයෝජකයන් ඉලක්ක කර ගනිමින් සුඛෝපභෝගී මට්ටමින් ඉදිකෙරෙන අතර, සාමාන්‍ය ජනතාවට දැරිය හැකි නිවාස ව්‍යාපෘති ප්‍රමාණවත් නොවන බව පෙන්වා දී ඇත.

මේ අතර, ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදය, ඉහළ උද්ධමනය, ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ඉහළ යාම සහ නිවාස ණය සඳහා පවතින ඉහළ පොලී අනුපාත හේතුවෙන් සාමාන්‍ය වැටුප් ලබන පුද්ගලයකුට නිවසක් ඉදිකිරීම හෝ මිලදී ගැනීම වඩාත් දුෂ්කර වී ඇති බවද වාර්තාව අවධාරණය කරයි.

The Economist සඟරාව පෙන්වා දෙන්නේ දැරිය හැකි මට්ටමේ නිවාස හිඟය වර්තමානයේ ආසියානු නගර මුහුණදෙන ප්‍රධානතම සමාජීය හා ආර්ථික අභියෝගයක් බවයි. ඒ සඳහා රජයන් විසින් නිසි නිවාස ප්‍රතිපත්ති, සහනදායී ණය ක්‍රමවේද සහ අඩු පිරිවැය නිවාස ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක නොකළහොත්, නාගරික අසමානතාව සහ ජනතාවගේ ආර්ථික පීඩනය ඉදිරි වසරවලදී තවදුරටත් වර්ධනය වනු ඇති බවටද එම වාර්තාව අනතුරු අඟවා තිබේ.

Social Sharing
නවතම පුවත්