
අත්අඩංගුවේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා වධහිංසාවලට භාජනය වී තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ජූනි 10 වැනිදා නිකුත් කළ නියෝගයකට අනුව, විශේෂඥ මනෝ වෛද්‍යවරුන් තිදෙනෙකු සහ අධිකරණ වෛද්‍ය විශේෂඥයන් දෙදෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් මේ සඳහා පත් කෙරිණි.
ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් වන තුසිත මෙන්ඩිස්, චිත්තාහරි අබේනායක, දසන්ති අක්මීමන, දුලයිකා අමරසිංහ වාස් සහ වජිර ධර්මවර්ධන යන වෛද්‍යවරුන් එම මණ්ඩලයට නම් කර ඇත.
අදාළ වෛද්‍ය පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදුකරන ලෙස නියෝග කර ඇති අතර, එහි වාර්තාව මීළඟ නඩු දිනය වන ජූලි 1 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
මෙම නියෝගය නිකුත් කෙරුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේදී වධහිංසාවලට භාජනය වී ඇති බවට ඔහුගේ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කිරීමෙන් අනතුරුවය.
එහිදී විමර්ශන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ද අධිකරණයෙන් ඉල්ලා සිටියේ, සැකකරු වධහිංසාවට ලක්වී ඇත්දැයි නිශ්චිතව තහවුරු කිරීම සඳහා ස්වාධීන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙසය.
නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මීට පෙර අධිකරණයට ඉදිරිපත් කර තිබූ මානසික වෛද්‍ය වාර්තාව පූර්ණ වාර්තාවක් ලෙස සැලකිය නොහැකි බවත්, එමඟින් සැකකරු වධහිංසාවට භාජනය වී තිබේද යන්න සම්බන්ධයෙන් නිගමනයකට එළඹිය නොහැකි බවත්ය.
සැකකරු අත්අඩංගුවට පත්වූ පෙබරවාරි 25 වැනිදා සිට අප්‍රේල් 22 වැනිදා දක්වා කාලය තුළ වධහිංසාවට ලක්වූ බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව ද මහේස්ත්‍රාත්වරයා නියෝගයේ සඳහන් කර ඇත. එමෙන්ම සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවන්හිදී එවැනි චෝදනාවක් සිදු නොකළ බවත්, ඔහුගේ සිරුරේ බාහිර තුවාල කිසිවක් දක්නට නොලැබුණු බවත් සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, පෙර ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තාවේ පවතින ගැටලු සහ විත්තිය හා පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් ස්වාධීන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් මගින් නව පරීක්ෂණයක් පැවැත්වීම යෝග්‍ය බව අධිකරණය තීරණය කර ඇත.
ඒ අනුව සුරේෂ් සලේ මහතා වධහිංසාවලට භාජනය වී තිබේද යන්න සම්බන්ධයෙන් වන වෛද්‍ය මණ්ඩල වාර්තාව ජූලි 1 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
