
යාපනය චෙම්මනී සිද්ධුපත්ති සමූහ මිනීවලේ තුන්වැනි අදියරේ කැණීම් කටයුතු සිදුකෙරෙන 20 වැනි දිනය වූ ඊයේ (09) තවත් මානව සැකිලි කොටස් 9ක් සොයාගෙන ඇති අතර, ඉන් 8ක්ම කුඩා දරුවන්ගේ බවට විශ්වාස කෙරෙන බව විමර්ශන කණ්ඩායම් පවසයි.
මෙම නවතම සොයාගැනීමත් සමඟ එම ස්ථානයෙන් හඳුනාගෙන ඇති සමස්ත මානව සැකිලි සංඛ්‍යාව 327 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතරින් සැකිලි 311ක් මේ වන විට සම්පූර්ණයෙන් ගොඩගෙන අවසන් කර ඇත.
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් අනාවරණය වී ඇති දෙවැනි විශාලතම සමූහ මිනීවල ලෙස සැලකෙන චෙම්මනී සමූහ මිනීවලෙන්, මානව සැකිලිවලට අමතරව ළදරු කිරි බෝතල්, සෙල්ලම් බඩු, බෝනික්කෙකු, ළමා සපත්තු සහ පාසල් බෑග් ඇතුළු භාණ්ඩ රැසක්ද සොයාගෙන තිබේ.
එම සොයාගැනීම් හේතුවෙන්, මෙහි වළදමා ඇති වින්දිතයන් අතර සැලකිය යුතු පිරිසක් කුඩා දරුවන් විය හැකි බවට මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ නිරීක්ෂකයන් අතර දැඩි කනස්සල්ලක් මතුව තිබේ.
කැණීම් කණ්ඩායම් පවසන්නේ නවතම සැකිලි කොටස් පොළොව මතුපිට සිට අඩි එකහමාරත් දෙකත් අතර නොගැඹුරු මට්ටමකින් හමුවූ බවයි.
මාස හතක පමණ අත්හිටුවීමකින් අනතුරුව, මෙම විමර්ශන කටයුතු යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 21ක මුදලක් වෙන් කළ අතර, ඒ අනුව 2026 අප්‍රේල් 27 වැනිදා සිට කැණීම් කටයුතු නැවත ආරම්භ කෙරිණි.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත සිදුකෙරෙන මෙම කැණීම් කටයුතු, ප්රමුඛ පෙළේ ව්‍යවහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රණවන් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.
චෙම්මනී ප්‍රදේශයේ සමූහ මිනීවලක් පවතින බවට ප්‍රථම වරට රටේ අවධානය යොමු වූයේ 1998 වසරේදීය. ඒ, දෙමළ පාසල් ශිෂ්‍යාවක වූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඇතුළු පස් දෙනෙකු දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩු විභාගයේදීය. එහිදී වරදකරු වූ හිටපු ලාන්ස් කෝප්රල් සෝමරත්න රාජපක්ෂ අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ චෙම්මනී ප්‍රදේශයේ වින්දිතයන් සිය ගණනකගේ සිරුරු වළදමා ඇති බවයි.
මේ වන විටත් චෙම්මනී සිද්ධුපත්ති සමූහ මිනීවලේ කැණීම් සහ විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකෙරෙමින් පවතී.
