මේ ආණ්ඩුව දැන් කරන්නෙත් 2005-2010 කාලේ කරපු ටිකමයි!

ආනන්ද ලැනරෝල් – බද්දේගම ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති

ලංකාව දැනට නිදහස ලබා ගැන වසර 72 ගත වී තියෙනවා, ඒ වසර 72න් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ වසර 30ක් රට පාලනය කරලා තියෙනවා. ඒ වගේම ඉතුරු 42 විධායක ජනාධිපතිවරු ඔස්සේ පාලනය වී තියෙනවා.

මේ අනුව සමහරු හංවඩු ගසන්නේ විධායක ජනාධිපති ක්‍රමය හොඳයි කියා, එසේනම් ඇයි තවමත් ලංකාව තුන්වැනි ලෝකයේ දුප්පත් රටක් වී ඇත්තේ? රුවන්ඩාව වැනි රටවල් සමග  සමඟ සංසන්දනයේදී පවා ලංකාවට ඇත්තේ ඉතා පහළ තත්ත්වයක් බව පෙනී යනවා. මෙම විධායක ජනාධිපති ක්‍රමය පිළිලයක් බව හැඳින ගත් අය තමයි ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වැනි අය, නමුත් ඔවුන් මීට විරුද්ධව නැගී සිටීමට යාමේදී ඔවුන් ඝාතනය වුණා.

ඒ වගේම මාදුළුවාවේ සෝභිත හිමි, වික්ටර් අයිවන් වගේම තවත් උගත් බුද්ධිමත් ජනතාව මෙම තනි පුද්ගලයකු වටා බලය ඒකරාශි වීමේ ක්‍රමයට එරෙහි වූවා, ඒ මේ විධායක ක්‍රමය ඔස්සේ රට සම්පූර්ණයෙන්ම අගාධයට වැටෙන බව දන්නා නිසා.

ඉන්පසු ඒ විරෝධතාවල බලපෑමක් නිසා යම්තාක් දුරට විධායක බලය අඩු කෙරෙන 17වන සංශෝධනය 2001 වසරේ දී සම්මත කරගත්තා, මෙය ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය මැතිනියගේ කාලයේ සිදුවූවක්. ඒ කාලයේ 17වැනි සංශෝධනය ඔස්සේ මේ බලතල කප්පාදුවට මහින්ද රාජපක්ෂ ඇතුළු සියලුම දෙනා පක්ෂව ඡන්දය දුන්නා.

නමුත් මහින්දට බලය ලැබුණු අවස්ථාවේදී නැවතත් ඒකාධිපති බලයක් ඇති කර ගැනීමට 18 වන සංශෝධනය කරළියට ගෙනාවා.

මේ අවස්ථාවේ දී විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, චමල් රාජපක්ෂ වැනි අය මෙයට පක්ෂව ඡන්දය දුන්නා. ඉන්පසු විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන අය පවසා සිටියා මෙයට පක්ෂව ඡන්දය දී කරගත්තේ ලොකු වැරැද්දක් කියා.

පසුව විශාල ආණ්ඩු පෙරළියක් සිදු කර කර ගෙන ආ යහපාලන රජය තුළින් දහනව වන සංශෝධනය සම්මත කරගෙන කරගෙන නැවතත් විධායක බලය කප්පාදු කර ඒකාධිපති පාලනයක් බිහි වීම වැළැක්වූවා.

මෙහිදී ද විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන අය මේ සංශෝධනයට ඡන්දය ලබා දී පවසා සිටියා 18 වැනි සංශෝධනයට ඡන්දය දී කරගත්ත වැරැද්දට සමාව ගැනීමක් ලෙස මෙම සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නා කියා. මෙම 19 වැනි සංශෝධනය ඔස්සේ විශාල බලතල කප්පාදුවක් සිදු කරනු ලැබූවා.

ස්වාධීන කොමිෂන් සභා, තොරතුරු  දැනගැනීමේ පනත වැනි ඵලදායි ප්‍රථිසංස්කරණ ඔස්සේ රට විශාල අගාධයක් කරා යන ගමන නැවතුණා. මේක තමයි ලංකා ඉතිහාසයේ සිද්ධවුණ විශාලම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රථිසංස්කරණය.

නමුත් වර්තමාන රජය බලයට පැමිණ විසිවෙනි සංශෝධනය නැමැති ඒකාධිපති ක්‍රමයක් වෙත යන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තා. මේක දෛවයේ සරදමක්. 18 වැනි සංශෝධනයට ඡන්දය දී පසුතැවෙනවා යැයි පැවසූ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන අය මේකට පක්ෂව ඡන්දය ලබා දී සිටියා.

මෙම විසිවන සංශෝධනය  ගැන කතා කිරීමේදී මෙය ජේ ආර් ජනාධිපතිවරයාගේ ක්‍රමය පවා ඉක්මවා යන ඒකාධිපති, බලලෝභී ව්‍යවස්ථාවක්. එහි තිබුණ විසකුරු හැඩය අවසන් මොහොතේ මෙම සංශෝධනයට ආ මහජන සහ සිවිල් සමාජ ක්‍රියාකාරී විරෝධය නිසා ඇතැම් වෙනස්කම් සිදුකර එහි ඒකාධිපති ස්වාභාවය මදක් වෙනස් කරා, නමුත් මේ ව්‍යවස්ථාව ඔස්සේ  ලංකාව අපාය කරා යන ගමන නැවැත්විය නොහැකියි.

මෙම ව්‍යවස්ථාව  ඔස්සේ රටට සුගතියක් වෙනවා කිව්වට කිසිදු සුගතියක් ඇතිවී ඇති බව නම් දකින්නට නෑ, අද වර්තමාන තත්ත්වය දෙස බලද්දී නැවත කොවිඩ් දෙවන රැල්ල හිස ඔසවා තියෙනවා. මේ කාගේ වරදින්ද සිදුවූයේ!. පලමු වර කොවිඩ් පාලනය සාර්ථක වුවත් මෙවර නැවත හිස ඔසවා ඇත්තේ රජයේ වරදින්.

ඔවුන් මෙයය යට ගැසීමට උත්සාහ කළත් මෙය දැනටමත් හෙළිවෙමින් පවතිනවා. මේ නිසා මේ වන විට දස ලක්ෂ ගානක් පීඩාවට පත්වෙලා සිටිනවා.

රූපලාවණ්‍ය ශිල්පීන්ට තමන්ගේ රැකියාව නැති වෙලා තියෙනවා. චිත්‍රපටි කර්මාන්තය කඩා වැටිලා තියෙනවා. හෝටල් කර්මාන්තය කඩාවැටිලා තියෙනවා. ඒ වගේම සංගීත ප්‍රසංග නැතිව සංගීත ශිල්පීන් අසරණභාවයට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි එදාවේල හම්බකරගෙන කාපු, කුලී වැඩ කරපු ජනතාවට අද කුලියක් මලියක් හොයාගන්න නැතුව අන්ත අසරණ භාවයට පත්වෙලා සිටිනවා.

මේ සියලු කාරණා වලට රජය විසින් දෙන විසඳුම තමයි හමුදාව ඉදිරියට දාලා කටයුතු කරන එක. යුද්ධයකදී හමුදාව ඉදිරියට ඇවිත් කටයුතු කරන එක වෙනම ක්‍රියාවලියක්, නමුත් සෞඛ්‍ය ප්‍රශ්නයකදී මෙසේ හමුදාව ඉස්සරහට දාලා කටයුතු කිරීම ලෝකයේ කිසිම රටක දකින්නට නැහැ.

සෞඛ්‍ය ප්‍රශ්නයකදී ඉදිරියට ඇවිත් කටයුතු කරන්න ඕනෑ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය නොවේද? නමුත් මේ අවස්ථාවේ හමුදාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයව පැත්තකට කර මෙම වසංගතය පාලනය කරන්න යනවා, දත්ත වසංකර.

මේ අවස්ථාවේදී හොඳින්ම පෙනෙනවා රජය අසාර්ථක වී ඇති බව. මේ අවස්ථාවේ දී සියලුම දිස්ත්‍රික්ක වල ජනතාව නොසෑහෙන්න දුක් පීඩාවලට ලක් වෙලා තියෙනවා. ඔවුන්ට ආහාර සොයාගත නොහැකිව අසරණවෙලා  සිටිනවා. ඒ වගේම විදෙස් රටවල්වල ශ්‍රී ලාංකිකයන් දැඩි අසරණභාවයට පත්වෙලා සිටිනවා.

මේවට පිළියම් නොකර කළගෙඩි ජලාශ වලට දැමීම ද සුදුසු වන්නේ! අනෙක් කාරණය තමයි මේ කොරෝනා වසංගතය අස්සෙ විසිවන සංශෝධනය සම්මත කර ගැනීමට තිබූ දැඩි උනන්දුව, මේ උනන්දුව මහජනතාවට සේවය කිරීමට තිබුණ නම් ඔවුන් අද වෙද්දි මෙච්චර අසරණභාවයට පත් වෙන්නේ නෑ.

දැන් මේ වෙද්දි ණය ගැනීම පිළිබඳව මුද්‍රිත මාධ්‍යයෙන් වගේම සමාජ මාධ්‍ය වලිනුත් දක්නට ලැබෙනවා. මෙය ණය උගුලක්.

2005 වර්ෂයේ  විශාල අසාර්ථක ව්‍යාපෘති වලට චීනයෙන් සියයට 8% පොලියට ණය ලබාගෙන තියෙනවා. මීට පෙර ණය ගත්තේ ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්. ඒවගෙන් ණය ලබාදෙන්නේ වාර්ෂික පොලිය  1.5% ට නැතිනම් 0.5% ට.  ඒ වගේම ඔවුන් නිදහස් කාලසීමාවක් දුන්න, ණය ගෙවන්න.

එමෙන්ම මෙම ආයතන වලින් ණය ගැනීමේදී ඔවුන්ට පහදා දිය යුතුයි අපි කුමන අවශ්‍යතාවක් සඳහා ණය ගන්නවද කියලා. නමුත් චීනයෙන් ණය ගැනීමේදී අපට වුවමනා වන්නේ නෑ අපි ණය ගන්නේ කුමක් සඳහා ද යන්න පහදා දෙන්න. ඔවුන් අපිට හිතේ හැටියට ඕන දෙයක් කරන්න ණය ලබා දෙනවා නමුත් ඒ දෙන්නේ 8% පොලියට. ඒක ගිනි පොලියක්.

හම්බන්තොට වරාය හදන්න චීනෙන් ණය ගත්තා, වරාය හැදුවා නමුත් ඒකට නැවක් ආවෙ නැහැ අවුරුදු ගණනක් යනකන්. ඒ වගේම මත්තල ගුවන්තොටුපල හදන්න ණය ගත්තා, මෙය ඉදිකළේ සත්ව අභයභූමියක, මෙහි කිසියම් ප්‍රායෝගික භාවයක් තිබුණේ නැහැ, කිසිම මනුස්සයෙක් මත්තලට ආවේ නැහැ.

ඒ වගේම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හැදුවා සූරියවැව, ඒ වන විටත් ලංකාවට ඕනේ තරම් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන තිබුණා, නමුත් කෝටි දෙසියයක් වියදම් කරලා නැවත ක්‍රීඩාංගනයක් හැදුවා. ඒ වගේම කෝටි 150 ක් වියදම් කරලා හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාවක් ඉදිකරා, නමුත් මේ අවුරුදු දහයටම එහි සම්මන්ත්‍රණ පවත්වා තියෙන්නේ දෙකයි.

මේ වගේ අසාර්ථක ව්‍යාපෘති රාශියක් මහින්ද රාජපක්ෂ සිදුකරා. මේවගෙන් කිසිදු ආදායමක් ලංකාවට ලැබුණේ නෑ.  ඉන්පසු චීනෙන් ණයට කෝටි 6000ක් වියදම් කර කිසිම ප්‍රයෝජනයක් නැති නොරච්චෝලේ බලාගාරය ඉදි කරා. චීනය මීට අවුරුදු ගානකට කලින් පාවිච්චි කරපු බලාගාරයක් මෙහේ ඇවිල්ලා ඉදිකරා.

එය ඉදිකළ දවසේ සිට අබලන් තත්වයේ පවතිනේ. මේ වනවිට එය 28 පාරක් ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. මෙවැනි කිසිදු ප්‍රයෝජනයක් නැති දේවල් නිසා අද ලංකාව විශාල ණය උගුලක හිරවී සිටිනවා. මෙම ණය ගෙවා ගන්න ලංකාවේ ලැබෙන මුළු ආදායම ඉතාම අඩුයි, අඩුම තරමේ පොලී ගෙවන්න වත් බැහැ. එසේ තිබියදීත් අපිට දැකගත හැකියි පසුගිය කොරෝනා සමයේ ගල්කිස්ස වෙරළ තීරය වැලි කියුබ් දහ දාහක් දාලා වෙරළ නිර්මානය කරනවා. දවස් දෙකයි ඒ වැලි ටික ගිහිං වැල්ලවත්තේ තමයි නවතින්නේ.

මේකෙන් පේනවා ඔවුන් වර්තමානයේ ආණ්ඩුව අරගෙන උනත් කරන්නේ 2005, 2010 කාලේ කරපු ටිකමයි කියලා. ඒ නිසා මේ පාලකයෝ නිසා මේ රට තවත් අගාධයටම යනවා මිසක් ගොඩ එනවා බොරු. අවසානයේ මේක චීන කොළනියක් වෙලා තමයි නවතින්නේ.

Social Sharing
නවතම විශේෂාංග