ආර්ථික දර්ශකවලට පමණක් හසුනොවන බල පෙරලියක පරිවර්තනීය අපේක්ෂාව – අතුලසිරි සමරකෝන්

ජවිපෙ සහ අනෙකුත් වාමාංශික බලවේග දශක ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විවේචනය කළේ එම ආයතනයේ වැඩසටහන් හරහා සංවර්ධිත රටක් බිහි වූ බවට පැහැදිලි සාක්ෂි නොමැති බව පෙන්වා දෙමිනි.

එය සත්‍යයෙන් තොර නොවෙයි; ආර්ජන්ටිනාව, පාකිස්තානය සහ ඊජිප්තුව වැනි රටවල් නැවත නැවත IMF සහාය ලබාගෙන තිබුණද ඔවුන්ගේ ආර්ථික අර්බුද සම්පූර්ණයෙන් විසඳී නොමැත. නමුත්, IMF හි ප්‍රධාන අරමුණ වන්නේ අර්බුදයට ලක්වූ රටකට හදිසි මූල්‍ය සහනයක් ලබාදීම සහ ගෙවීම් ශේෂය ස්ථාවර කිරීමයි. එය සංවර්ධන ආයතනයක් නොවන අතර, ආර්ථික වර්ධනය සඳහා සෘජු උපායමාර්ගයක් ද සපයන්නේ නැත. එය රටකට ආර්ථික අර්බූදයකින් ගොඩ ඒමට අවශ්‍ය කාලය ලබා ගැනීමට උපකාර කරන අතර, එම කාලය තුළ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමේ වගකීම අදාළ රාජ්‍යය මත පැවරෙයි.

මෙම පසුබිම තුළ වත්මන් ජාජබ NPP ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධාන පරස්පරය වන්නේ කලක් විවේචනය කළ IMF වැඩසටහනක් අද ක්‍රියාත්මක කිරීමට සිදුවීමයි. එය හුදෙක් දේශපාලන මතවාදයක පාවාදීමක් ලෙස තේරුම් ගැනීම ප්‍රමාණවත් නොවේ. රාජ්‍ය බලය අත්පත් කරගත් පසු දේශපාලන ව්‍යාපාර මුහුණ දෙන ව්‍යුහාත්මක සීමාවන් මෙහිදී පැහැදිලි වෙයි. ආර්ථික බිඳවැටීමකින් පසු රටක් ක්ෂණිකව වෙනස්ම ආර්ථික ක්‍රියාමාර්ගයකට ගෙන යාමට අවශ්‍ය මූල්‍ය සම්පත්, විදේශ විනිමය සහ ජාත්‍යන්තර සහයෝගය නොමැති අවස්ථාවක, පවතින ජාත්‍යන්තර ආර්ථික ව්‍යුහය තුළ ක්‍රියාකිරීමට සිදුවේ. පශ්චාත් මාක්ස්වාදී චින්තකයකු ලෙස ගැනෙන ග්‍රාම්ෂි පෙන්වා දුන් පරිදි, බලය අල්ලා ගැනීම සහ රාජ්‍යය පරිවර්තනය කිරීම යනු එකම ක්‍රියාවලිය නොවේ. රාජ්‍යය යනු පෙර පැවති ආයතන, සම්ප්‍රදායන් සහ බල සම්බන්ධතා තුළ ක්‍රියාත්මක වන සංකීර්ණ ව්‍යුහයකි.

එහෙත් වත්මන් ආණ්ඩුවේ වැදගත්කම ආර්ථික දර්ශකවලින් පමණක් අවබෝධ කරගැනීම නිවැරදි නැත. පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනය පවුල්වාදය, අනුග්‍රාහක දේශපාලනය, රාජ්‍ය සම්පත් අවභාවිතය සහ පුද්ගල කේන්ද්‍රීය බල දේශපාලනය මත ගොඩනැගී තිබුණි. එම දේශපාලන සංස්කෘතිය රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය බිඳ වැටීමටත්, දූෂණය සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වීමටත් හේතු විය. නව ආණ්ඩුව එම සංස්කෘතියට යම් අභියෝගයක් එල්ල කර ඇති බව පෙනෙයි. එය සම්පූර්ණ පරිවර්තනයක් නොවූවත්, රාජ්‍ය බලය පෞද්ගලික වාසි සඳහා භාවිතා කිරීමේ පැරණි දේශපාලන රටාවට යම් පසුබෑමක් ඇතිකර තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ගැටලුව හුදෙක් දේශපාලන දූෂණය පමණක් නොවේ. රටේ බොහෝ ආයතන ගැඹුරු ආයතනික අර්බුදයකට මුහුණ දී සිටී. රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, ආගමික ආයතන, අධ්‍යාපන පද්ධතිය සහ සිවිල් සමාජ සංවිධාන බොහෝමයක් තම මූලික සමාජ වගකීම්වලින් ඈත්වී ඇත. ආගමික ආයතන තුළ පවා ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුවීම, පුද්ගලික බලය සහ ආයතනික වගවීම අතර ඇති අසමතුලිතතාවය පිළිබඳ සංඥාවකි. මෙය දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොව, ආයතනික සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයකි. ෆුකුයාමා වැනි ලිබරල් දේශපාලන විද්‍යාඥයකු පෙන්වා දෙනු ඇත්තේ, නූතන සංවර්ධනයේ මූලික පදනම වන්නේ ශක්තිමත්, නීතියට යටත් සහ වගකීම් සහිත ආයතන පද්ධතියක් නිර්මාණය කරගැනීම බවය.

ආර්ථික අංශයෙන් බලන විට, IMF ණය වාරික සහ විදේශ සංචිත වැඩිවීම පමණක් සාර්ථකත්වය මැනිය හැකි දර්ශක නොවේ. ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාව විදේශ විනිමය උපයාගන්නේ කෙසේද යන්නයි. අපනයන ව්‍යුහය, කර්මාන්තකරණය, තාක්ෂණික නවෝත්පාදනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පැහැදිලි ජාතික සැලැස්මක් නොමැතිව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පමණක් දිගුකාලීන විසඳුමක් නොවනු ඇත. 2029 වන විට ශ්‍රී ලංකාව කොතැනක සිටිය යුතුද යන්න පිළිබඳ පැහැදිලි ජාතික දැක්මක් තවමත් ප්‍රමාණවත් ලෙස ඉදිරිපත් වී නැති බව පෙනේ. ආර්ථික ස්ථායීකරණය සහ සංවර්ධනය යනු වෙනස් ක්‍රියාවලීන් දෙකකි. පළමුවැනි තත්වය ලගාකරගෙන ඇති නමුත් දෙවැන්න සඳහා තවමත් දිගු ගමනක් ඉතිරිව ඇත.

විදේශ ප්‍රතිපත්ති අංශයෙන්ද ශ්‍රී ලංකාව ඉතා සංකීර්ණ පරිසරයක ක්‍රියා කරයි. එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව අතර පවතින බල තරගය කුඩා රාජ්‍යයන්ට නව අභියෝග නිර්මාණය කරයි. මෙවැනි පසුබිමක ශ්‍රී ලංකාවට වඩාත් සුදුසු වන්නේ පැරණි නොබැඳිතත්වයේ නව සංස්කරණයක් ලෙස හැඳින්විය හැකි ‘බහු-සම්බන්ධතා’ ප්‍රවේශයකි. එනම් කිසිදු බලවතෙකුගේ උපායමාර්ගික ගැටුමක කොටසක් නොවී, සියලු පාර්ශ්ව සමඟ ආර්ථික සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යාමයි. ඉන්දියාව සමඟ විශ්වාසය ගොඩනැගීම, චීන ආයෝජන ඵලදායීව භාවිතා කිරීම සහ බටහිර වෙළඳපොළවලට ප්‍රවේශය රැකගැනීම යන අරමුණු අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීම කුඩා රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වේ.

වත්මන් දේශපාලන මොහොත තේරුම් ගැනීමේ දී එය අර්බුදයකින් ගොඩ ඒමේ සංක්‍රාන්ති අවධියක් බව අමතක නොකළ යුතුය. පැරණි දේශපාලන සංස්කෘතියට එරෙහිව සමාජයේ ඇති වූ ප්‍රතිචාරය මගින් නව ආණ්ඩුව බලයට පත් වූ නමුත්, ආණ්ඩු මාරුවක් සිදූවූ පමණින් රාජ්‍යයක් ප්‍රතිසංස්කරණය නොවේ.

ශ්‍රී ලංකාව 2029 වන විට සාර්ථක රාජ්‍යයක් බවට පත්වන්නේ ද යන්න තීරණය වන්නේ IMF වැඩසටහනේ සාර්ථකත්වය මත නොව, එම වැඩසටහන විසින් ලබා දුන් අවස්ථාව භාවිතා කර නිෂ්පාදන ආර්ථිකයක්, වගකීම් සහිත ආයතන පද්ධතියක්, නව දේශපාලන සංස්කෘතියක් සහ සමබර විදේශ ප්‍රතිපත්තියක් ගොඩනැගීමට ශ්‍රී ලංකාවට හැකි වන්නේද යන්න මතය. එය ආණ්ඩුවක පමණක් නොව, සමස්ත සමාජයේම ඓතිහාසික වගකීමකි.

උපුටා ගැනීම Leader.lk

Social Sharing
නවතම පුවත්