
කළුතර උතුර පොලිස් බල ප්රදේශයේදී 17 හැවිරිදි බාලවයස්කරුවකු නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන පැය ගණනාවක් රඳවා තැබූ බවට චෝදනා කරමින් එම දරුවාගේ පියා සාධාරණ හා ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා ඇත.
පැමිණිල්ලට අනුව, 2026 මැයි 6 වනදා සවස කළුතර උතුර ද ආබෘ පාර දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී, යතුරුපැදියක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් 17 හැවිරිදි මිනග යෙත්මින් සහ ඔහුගේ මිතුරකු වන නදිශ් රශ්මික මාර්ගය අසල රැඳී සිටියදී කළුතර උතුර පොලිස් ස්ථානයේ ජිප් රථයකින් සිවිල් ඇදුමින් සැරසී පැමිණි පුද්ගලයන් පිරිසක් ” තොපිත් නැගපියව් ” යයි පවසා අත්අඩංගුවට ගෙන කළුතර උතුර පොලිස් සථානය වෙත රැගෙනවිත් ඇත.
එහිදී මෙම සිසුවන් දෙදෙනා පැය 12කට ආසන්න කාලයක් රඳවා තබා ඇති අතර පසුව පොලිස් සිර මැදිරියට ද ඇතුළත් කර ඇති බවට ඔහුගේ පියා චෝදනා එල්ල කරයි. දරුවා සතුව ජාතික හැඳුනුම්පත සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිල ලේඛනයක් තිබූ බවද පියා පවසයි.
සිද්ධිය දැනගත් පසු රාත්රී කාලයේ පොලිස් ස්ථානයට ගිය ඔහුට තමන්ගේ පුතා සහ ඔහුගේ මිතුරා විවිධ වයස්වල රැඳවියන් සමඟ කුඩා සිර මැදිරියක රඳවා සිටිනු දැකගත හැකි වූ බවද ඔහු සඳහන් කරයි.
ඔහු පවසන්නේ, බාලවයස්කරුට ඇප ලබාදෙන ලෙස ඉල්ලීම් කළද එය ප්රතික්ෂේප වූ බවත්, පසුව ප්රදේශයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයකුට දුරකථනයෙන් සිද්ධිය දැනුම්දීමෙන් අනතුරුව තමන් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.
පසුදින තමන් සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ අතර ශරීර ඇප මත නිදහස් වූ බවද ඔහු කියා සිටී.
මෙම සිද්ධියේදී කිසිදු අපරාධ චෝදනාවක් නොමැති බාලවයස්කරුවකු විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සමඟ එකම සිර මැදිරියක රඳවා තැබීම බරපතළ ළමා අයිතිවාසිකම් උල්ලංඝනයක් බවටද ඔහු චෝදනා කරයි.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම හේතුවෙන් තම දරුවාට හෝ පවුලේ සාමාජිකයන්ට පළිගැනීමේ ක්රියාමාර්ග ගනු ඇතැයි බිය පළ කරන ඔහු, සිද්ධිය පිළිබඳව ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා තම දරුවාට සාධාරණය ඉටු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
