
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ ඉන්ධන ආනයන වියදම් වැඩිවීම හේතුවෙන් නවතම ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට සිදු වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ඩී.ජේ. රාජකරුණා ප්රකාශ කරයි.
ඔහු සඳහන් කළේ, මේ වන විට අලෙවි කරනු ලබන සෑම ඔටෝ ඩීසල් ලීටරයකින්ම රුපියල් 129ක සහ ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයකින් රුපියල් 60ක පාඩුවක් සංස්ථාවට සිදුවන බවයි.
සභාපතිවරයාට අනුව, ඔටෝ ඩීසල් ලීටරයක් සැපයීම සඳහා වැයවන සැබෑ පිරිවැය රුපියල් 536ක් පමණ වන අතර එය රුපියල් 407කට අලෙවි කිරීම හේතුවෙන් ලීටරයකට රුපියල් 129ක පාඩුවක් සිදුවේ. එසේම ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් සඳහා රුපියල් 494ක පමණ පිරිවැයක් දැරීමට සිදුවන අතර එය රුපියල් 434කට අලෙවි කිරීමෙන් ලීටරයකට රුපියල් 60ක පාඩුවක් ඇතිවන බවද ඔහු පැවසීය.
පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින් පසුගිය මාස කිහිපය තුළ රජය මෙම පාඩුවෙන් සැලකිය යුතු කොටසක් දරා ඇති බවත්, ඒ සඳහා රුපියල් බිලියන 57ක ප්රතිපාදන වෙන්කර තිබුණද එම මුදල් ජූනි මාසය අවසන් වන විට සම්පූර්ණයෙන්ම වැය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.
තවදුරටත් අධික සහන මිලට ඉන්ධන අලෙවි කිරීම රටේ ආර්ථිකයට මෙන්ම විදේශ විනිමය සංචිතවලටද දැඩි පීඩනයක් එල්ල කළ හැකි බවට අනතුරු ඇඟවූ සභාපතිවරයා, අධික ඉන්ධන පරිභෝජනය හේතුවෙන් රුපියලේ අගය මතද අහිතකර බලපෑම් එල්ල විය හැකි බැවින් හැකිතාක් දුරට ඉන්ධන පරිභෝජනය සීමා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මේ අතර, QR කේත ක්රමය හරහා ඉන්ධන බෙදාහැරීමේ අධීක්ෂණය තවදුරටත් ශක්තිමත් කරන බවත්, නියමිත ක්රියාපටිපාටි අනුගමනය නොකරන පිරවුම්හල් හිමියන්ට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගන්නා බවත් ඩී.ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.
