
කාලය විසින් ඕනෑම තුවාලයක් සුවකරන බව මිනිසුන් පැවසුවද, සමහර තුවාල කාලයත් සමඟ සුව නොවේ. ඒවාට විශේෂිත සහ දැඩි අවධානයක් අවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවේ දශක තුනක් තිස්සේ පැවැති යුද්ධයේ අවසාන දින දෙක වූ මැයි 18 සහ 19 දින පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ මතකය දැන් තරමක් අඩු වී ඇත. එහෙත් යුද්ධය නිසා ඇති වූ, තවමත් සුවනොවූ වේදනාවන් තමන් අහිමි වූ ආදරණීයයන් සිහිපත් කිරීමට එකතු වන ජන කණ්ඩායම් තුළින් තවමත් දැකගත හැකිය. විවිධ ජනවර්ගවලට අයත් පීඩාවට පත් පවුල්වල පිරිසක් සහ පවුන් වෙනුවෙන් කැපවූ සිවිල් ක්‍රියාකාරීහු පිරිසක් කොළඹ, වැල්ලවත්ත වෙරළට රැස්වී පහන් දැල්වූහ. මෙම රැස්වීම් හුදෙක් සිහිපත් කිරීමක් පමණක් නොවේ; ඒවායින් දේශපාලනික ප්‍රකාශයක් ද කෙරේ. එනම්, යුද්ධය නිසා ඇති වූ තුවාලවලට තවමත් නිසි විසඳුම් ලැබී නොමැති අතර, ඒවා තවමත් සුව වී නොමැති බවයි.
මැයි 18 සහ 19 යන දිනවල දක්නට ලැබෙන ප්‍රධානම ලක්ෂණයක් වන්නේ, දෙමළ සහ සිංහල ජන කණ්ඩායම් මේ දෙස හාත්පසින්ම වෙනස් ආකල්පවලින් බැලීමයි. මැයි 18 වැනිදා දෙමළ ජනතාව යුද්ධයේදී, විශේෂයෙන්ම අවසාන සටන්වලදී මියගිය තම ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරති. එමෙන්ම බොහෝ සිංහල ජනතාව මැයි 19 වැනිදා යුද ජයග්‍රහණය සමරති. කෙසේවෙතත්, 2015 වසරේ සිට මෙම තත්ත්වයේ යම් ලිහිල් වීමක් දක්නට ලැබේ. එයට හේතුව ඉන්පසු බලයට පත් වූ ආණ්ඩු යුද්ධයේ අවසානය සනිටුහන් කිරීමේදී වඩාත් මධ්‍යස්ථ සහ සංවේදී ප්‍රවේශයක් අනුගමනය කිරීමයි. රනිල් වික්‍රමසිංහ නායකත්වය දුන් ආණ්ඩු සමයේදී මෙය පැහැදිලිවම දක්නට ලැබුණු අතර, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාලනය යටතේ ද එය එලෙසම දක්නට ලැබේ.
වත්මන් ආණ්ඩුව රාජ්‍යය සහ ජනවාර්ගික හෝ ආගමික සුළුතර කොටස් අතර පවතින බෙදීම අඩුකිරීමට විශාල උත්සාහයක් ගෙන ඇත. සියලුම පුරවැසියන්ට සමානව සලකන බවටත්, කිසිදු ආකාරයක අන්තවාදයකට සහාය නොදක්වන බවටත් ආණ්ඩුව කරන ප්‍රකාශයන්, අතීතයේදී කොන්වීමට සහ සැකයට බඳුන් වූ සුළුතර ජනකොටස්වල ඇගයීමට ලක්ව ඇත. එහෙත් පෙර ආණ්ඩුවලට වඩා හොඳින් කටයුතු කිරීම හේතුවෙන් පමණක් වත්මන් ආණ්ඩුවට සෑහීමකට පත්වී සිටිය නොහැක. අතීතයේ ඇති වූ සිත් රිදවීම් සුවපත් කිරීම සඳහා රජය නිශ්චිත සහ දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය. සංකේතාත්මක ක්‍රියා සහ සියලුදෙනා වැළඳගන්නා කතාබහ වැදගත් වුවද, දිගුකාලීන වාර්ගික ගැටුමක ප්‍රතිඵලවලට විසඳුම් සෙවීමට ඒවා පමණක් ප්‍රමාණවත් නොවේ.
තවමත් විසඳී නොමැති මෙම ගැටලු මොනවාදැයි සියල්ලෝ හොඳින් දනිති. ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වන යෝජනාවලින් මේවා නිතර නිතර කරළියට පැමිණේ. ප්රතිසන්ධානය (සමඟිය ඇති කිරීම), වගවීම සහ බලය බෙදාහැරීමේ ක්‍රමවේද ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි 30/1 මානව හිමිකම් කවුන්සිල යෝජනාවට 2015 වසරේදී ශ්‍රී ලංකාව ද සම-දායකත්වය ලබාදුන්නේය. මෙම යෝජනාව සහ මීට පෙර ඉදිරිපත් වූ යෝජනා බිහිවූයේ යුද්ධයෙන් පීඩාවට පත් ජනකොටස්වල ඉල්ලීම් මත වන අතර, අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රජාවගේ ද සහාය ඊට ලැබිණි. අතුරුදන් වූ සහ අතුරුදන් කරන ලද පුද්ගලයන්, දේශපාලන සිරකරුවන්, සිවිල් වැසියන්ගේ ඉඩම් යුද හමුදාව සන්තකයේ පැවතීම සහ යුද සමයේ සිදුවූවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ වගවීම යන ගැටලු මීට ඇතුළත් වේ.
වඩාත්ම හැකියාව ඇති
ජාතික ජන බලවේග පාලනය යටතේ, යුද්ධයෙන් මියගිය තැනැත්තන් සිහිපත් කිරීමේ උත්සව සඳහා විශාල වශයෙන් සහභාගිවීමට තමන්ට හැකි බව දෙමළ ජනතාවට හැඟී ඇත. රට සංහිඳියාව කරා ගමන් කරන බවට මෙය සාක්ෂියකි. මෙම සිහිපත් කිරීම් සඳහා සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමට රාජ්‍ය ආයතන ද සහයෝගය ලබා දී ඇත. කෙසේවෙතත්, යුද්ධය අවසන් වී වසර 17ක් ගතවී ඇතත්, ප්‍රධාන ගැටලු තවමත් විසඳී නොමැත. එහෙත් වත්මන් ආණ්ඩුවට ඒවා විසඳීමට අවංක වුවමනාවක් ඇති බව පෙනෙන අතර, ඒ සඳහා ඔවුන්ගේ දක්ෂතම නායකයන් කිහිපදෙනකුම යොදවා තිබේ.
ජනාධිපති දිසානායක විසින්ම බෙදීම් වෙනුවට එකමුතුකම අවධාරණය කරන දේශන පවත්වමින් මහජන මතය යහපත් අතට හැරවීමේ කාර්යය භාරගෙන ඇත. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාරට අතුරුදන්වූවන්, වන්දි ගෙවීම් සහ සංහිඳියාව පිළිබඳ ආයතනවල වගකීම පැවරී ඇත. සභානායක බිමල් රත්නායකට උතුරු පළාතේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමේ වගකීම පැවරී තිබේ. ආර්ථික සංවර්ධනය අත්‍යවශ්‍ය කරුණකි. උතුර සහ නැගෙනහිර පළාත්වලට ආයෝජන, රැකියා, යටිතල පහසුකම් සහ තරුණ තරුණියන්ට අවස්ථා අවශ්‍ය වේ. දරිද්‍රතාව සහ රැකියා වියුක්තිය සියලුම ජන කොටස්වලට බලපාන අතර, සංවර්ධනය වෙතින් තමන් කොන්වී ඇතැයි යන හැඟීම එමගින් අඩුකළ හැකිය.
එහෙත් ආර්ථික සංවර්ධනයෙන් පමණක් වාර්ගික ගැටුමේ ගැඹුරු මූලයන් විසඳිය නොහැක. දිගුකාලීන වාර්ගික ගැටුම් ඇතිවන්නේ, ආර්ථික දුෂ්කරතා නිසාම පමණක් නොවේ. ඒවා අනන්‍යතාව, ගෞරවය, ඓතිහාසික මතකය සහ දේශපාලන බලය වැනි කරුණු සමඟ ද බැඳී පවතී. ලංකාවේ බොහෝ ආණ්ඩුවලට වැරදුණු තැන මෙයයි. වේගවත් සංවර්ධනය, මහා මාර්ග, ගොඩනැඟිලි සහ ආයෝජන මඟින් දශක ගණනාවක අවිශ්වාසය නැති කළ හැකි යැයි ඔවුහු විශ්වාස කළහ. එහෙත් දේශපාලනිකව කොන්වී ඇතැයි හැඟෙන ජනකොටස්, මාර්ග සංවර්ධනය කළ පමණින් හෝ වෙළඳපොළවල් දියුණු වූ පමණින් තමන්ගේ බලාපොරොත්තු අත්නොහරිති. මිනිස්සු තමන් කවුදැයි පිළිගැනීමක් සහ තමන්ගේ ජීවිත පාලනය වන තීරණ ගැනීමට අර්ථවත් දායකත්වයක් බලාපොරොත්තු වෙති. මෙහිදී භාෂාව ඉතා වැදගත් වේ. දෙමළ බහුතරයක් වෙසෙන දිස්ත්‍රික්කවල පවා, රාජ්‍ය ආයතනවල තවමත් සේවය කරන්නේ සිංහල පමණක් කතා කරන නිලධාරීන්ය. මෙය දෙමළ කතාකරන ජනතාවට, රජය සමඟ කටයුතු කිරීමේදී තමන් සිංහල ජනතාව හා සමාන නොවන බව නිරන්තරයෙන් මතක් කර දෙන්නකි.
බෙදී ගිය සමාජයන් පිළිබඳ අධ්‍යයනවලින් පෙනීයන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විධිවිධාන මඟින් ගැටුම් තවදුරටත් උග්‍ර කිරීමට හෝ ඒවා අඩුකිරීමට හැකි බවයි. බෙල්ජියම සහ උතුරු අයර්ලන්තය වැනි රටවල්, බලය බෙදාහැරීමේ ක්‍රමවේදයන් හරහා විවිධ අනන්‍යතාවලින් යුත් ජන කොටස්වලට එකම රටක් තුළ සාමකාමීව සහයෝගයෙන් ජීවත් විය හැකි ආකාරය පිළිබඳ උදාහරණ සපයයි. උතුරු අයර්ලන්තයේ සාමය ස්ථාවර වූයේ, එක් පාර්ශවයක් ස්ථිරවම තවත් පාර්ශවයකට යටත් කර තබනවා වෙනුවට, ජන කොටස් දෙකටම පාලනය සඳහා සහතික කළ භූමිකාවක් දේශපාලන ආයතන මඟින් තහවුරු කළ විට පමණි. දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව දැරූ උත්සාහයන් ද බොහෝදුරට යොමු වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සහ පළාත් සභා ක්‍රමය හරහා ප්‍රාදේශීය වශයෙන් බලය බෙදාහැරීම කෙරෙහි ය.
අයත්වන තවත් දේ
එබැවින්, පළාත් සභා මැතිවරණය මෙම වසරේ පවත්වන බව ආණ්ඩුවේ නායකත්වය පැවසීම සුබදායක තත්ත්වයකි. වසර ගණනාවක ප්‍රමාදවීම් සහ නොසලකා හැරීම්වලින් පසුව, එමඟින් පළාත් මට්ටමින් ප්රජාතන්ත්රවාදී නියෝජනය නැවත ස්ථාපිත වනු ඇත. කෙසේවෙතත්, ප්‍රතිසංස්කරණ මීට වඩා ඉදිරියට යා යුතුය. ප්‍රමාණවත් බලතල සහ ප්‍රතිපාදන නොමැතිකම නිසා පළාත් සභා තවමත් දුර්වල ආයතන ලෙස පවතී. විශේෂයෙන්ම ඉඩම් සහ පොලිස් බලතල සම්බන්ධයෙන් 13 වැනි සංශෝධනයේ විධිවිධාන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට පසුගිය පාලනයන් මැලිවිය. භාෂා පනත ඇතුළු මෙම නීති සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය. වත්මන් ආණ්ඩුව ඇතුළු පසුගිය ආණ්ඩු මේවා ක්‍රියාත්මක කිරීමට දැක්වූ අකමැත්ත හෝ නොහැකියාව නිසා, බලය බෙදාහැරීම පිළිබඳ පොරොන්දු හුදෙක් ප්රකාශයන්ට පමණක් සීමාවන බවට සුළුතර ජනතාව තුළ පවතින මතය තවදුරටත් තහවුරු වී ඇත.
එබැවින් ශ්‍රී ලංකාව සඳහා වන නව ජාතික දැක්ම, වර්ගවාදයෙන් තොරවීම සහ ආර්ථික සංවර්ධනය යන කරුණුවලින් ඔබ්බට යා යුතුය. සැබෑ සංහිඳියාව ඇති කරගත හැක්කේ විවිධත්වය තර්ජනයක් ලෙස නොව, එක්සත් සහ සාමකාමී රටක පදනම ලෙස පිළිගැනීමෙන් පමණි. බලය බෙදාහැරීම යනු බලපෑම් මත කරනු ලබන පාවාදීමක් හෝ සහනයක් ලෙස නොසිතිය යුතුය. එය බහුත්වවාදී සමාජයක ප්රජාතන්ත්රවාදී අවශ්‍යතාවයක් ලෙස වටහාගත යුතුය. බලය බෙදාහැරීමේ සහ දෙමළ භාෂාව කතාකරන ජනතාවට සම අයිතිවාසිකම් ලබාදීමේ අරමුණ රට බෙදීම නොව සියලු දෙනා ඒකාබද්ධ කර ගැනීමයි. එමඟින් සියලුම ජන කොටස්වලට රාජ්‍යය කෙරෙහි අයිතිවාසිකමක් ලැබෙන අතර, දේශපාලන බලය ස්ථිරවම එක් ජනකොටසකගේ අතේ පමණක් පවතිනු ඇතැයි යන බිය ද නැති වී යයි.
අතීතයේදී ශ්‍රී ලංකාවේ මෙම යථාර්ථය තේරුම් ගත් නායකයන් සිට ඇත. අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක 1957 දී බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම හරහා දේශපාලන විසඳුමකට එළඹීමට උත්සාහ කළේය. අද දේශපාලන වටපිටාව තුළ එවැනි තවත් අවස්ථාවක් උදා වී තිබේ. වසර ගණනාවක් තිස්සේ දේශපාලනයේ ආධිපත්‍යය දැරූ ජාතිකවාදී බලවේග, දූෂණය, ආර්ථික බිඳවැටීම සහ වැරදි පාලනය හේතුවෙන් ජනතා විශ්වාසය නැති කරගෙන ඇත. කෙසේවෙතත්, ඔවුන් නිවැරදි දේ කළ අවස්ථාවලදී මිනිසුන් ඔවුන්ව ධනාත්මකව මතක තබාගනී. උදාහරණයක් ලෙස, මියගිය හිටපු වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ දෙමළ ගව පාලකයන්ගේ ගැටලුවලට සවන් දී, ඒවා විසඳීම සඳහා දෙමළ නිලධාරියකු පත්කිරීම පිළිබඳව මඩකලපුව ජනතාව ඔහුව අදටත් කෘතඥපූර්වකව මතක තබාගනිති. වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ඇති අතර විශාල ජනතා ප්‍රසාදයක් ද හිමිය. නිර්භීත නායකත්වයක් සඳහා මින් හොඳ අවස්ථාවක් නිර්මාණය වේ.
එබැවින් ආණ්ඩුව, විපක්ෂය සහ සුළුතර දේශපාලන පක්ෂ තමන්ගේ තිත්ත දේශපාලන පළිගැනීම් පසෙකලා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තහවුරු වූ පොදු දේශපාලන විසඳුමකට පැමිණීම සඳහා අවංකව එකිනෙකා සමඟ සාකච්ඡා කළයුතු කාලය පැමිණ තිබේ. ශ්‍රී ලංකාව යුද ජයග්‍රහණ, මධ්‍යගත පාලනය සහ සංවර්ධනය මුල් කරගත් ප්රවේශයන් අත්හදා බලා ඇත. එහෙත් ඉන් කිසිවකට තනිවම වාර්ගික ගැටුම විසඳීමට නොහැකි විය. අතීතයෙන් උගත යුතු පාඩම නම්, ජාතිවාදයෙන් තොරවීම සහ ආර්ථික සංවර්ධනය අත්‍යවශ්‍ය වන නමුත්, ඒවා පමණක් ප්‍රමාණවත් නොවන බවයි. ශ්‍රී ලංකාවේ ස්ථාවර සාමය සඳහා බලය බෙදාහැරීම, අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැඟීම සහ සෑම ජන කොටසකටම තමන්ගේම මව්බිම යන හැඟීම ඇති කරවන දේශපාලන විසඳුමක් අවශ්‍ය වේ.
ජෙහාන් පෙරේරා
