
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI Act) සංශෝධනය කිරීමට රජය සූදානම් වන බවට අනාවරණය වීමත් සමඟ, ජනතාවගේ මූලික තොරතුරු අයිතිය කප්පාදු කිරීමට උත්සාහයක් දරන බවට ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) බරපතළ චෝදනාවක් එල්ල කරයි.
2026 මැයි 13 වනදා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය සමඟ පැවති නිල සාකච්ඡාවකදී RTI පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර ඇති බව අනාවරණය වූ බව සංගමය පවසයි.
ඒ අනුව, වත්මන් ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව ක්‍රමයෙන් අකර්මණ්‍ය කරමින් ජනතාවගේ තොරතුරු ලබා ගැනීමේ අයිතිය සීමා කිරීමට උත්සාහ දරන බවට සංගමය චෝදනා කරයි.
සංගමය පෙන්වා දෙන්නේ මේ වන විටත් තොරතුරු කොමිසම බරපතළ ගැටලු රැසකට මුහුණ දී ඇති බවයි. ඒ අතර කාර්ය මණ්ඩල හිඟය, නීතිමය ලේඛන සකස් කිරීම සඳහා ප්‍රමාණවත් විශේෂඥයන් නොමැති වීම, කොමිසමේ සාමාජිකයන් සම්පූර්ණ නොවීම හේතුවෙන් තීරණ ප්‍රමාද වීම සහ රජයේ ආයතන විසින් කොමිසම කෙරෙහි දක්වන ගරුත්වය හා සහයෝගය පහළ යාම ප්‍රධාන ගැටලු ලෙස සඳහන් කරයි.
විශේෂයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙතින් ඉල්ලා සිටින ලද තොරතුරු ලබා නොදීම සහ ඒ සඳහා අධිකරණයට යාමට සිදුවීම “නරක පූර්වාදර්ශයක්” බවද සංගමය අවධාරණය කරයි.
“පොදු මහජනතාව සහ ජනමාධ්‍යවේදීන් රජයේ ආයතනවලින් තොරතුරු ඉල්ලා සිටීම වත්මන් ආණ්ඩුවට ගැටලුවක් වී තිබේද?” යන්න පිළිබඳ බරපතළ සැකයක් මතුවන බවද නිවේදනයේ සඳහන් වේ.
තොරතුරු දැනගැනීමේ කොමිසම ශක්තිමත් කිරීමට අවශ්‍ය සම්පත් සහ සාමාජිකයින් වහාම පත් කරනවා වෙනුවට, පනත් සංශෝධන මුවාවෙන් ජනතාවගේ තොරතුරු අයිතිය සීමා කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව සිවිල් සමාජය සහ සියලු මාධ්‍ය සංවිධාන සමඟ එක්ව දැඩි විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රජයට අනතුරු අඟවා සිටී.

