
මෙරට තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
2026 මැයි 18 වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 29,589ක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 15ක්ද සිදුව ඇති බවයි. රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර දකුණු සහ සබරගමුව පළාත්ද ඉහළ අවදානම් තත්ත්වයක පවතින බවය.
දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ඩෙංගු රෝගීන් වාර්තා වන අතර, කොළඹ, ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල, කළුතර සහ නුවර දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
තවද අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 39ක් හඳුනාගෙන තිබේ.
මෝසම් වැසි සක්‍රීය වීමත් සමඟ මදුරුවන් බෝවීම ඉහළ යාමේ ප්‍රවණතාවයක් පවතින බැවින් ජනතාව සිය පරිශ්‍ර පිරිසිදුව තබාගෙන මදුරුවන් බෝවන ස්ථාන විනාශ කළ යුතු බව වෛද්‍යවරිය අවධාරණය කළාය.
උණ, මස්පිඩු වේදනාව, හිසරදය, වමනය, ඔක්කාරය සහ ශරීරයේ රතු පැහැති ලප වැනි රෝග ලක්ෂණ දෙකක් හෝ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවන ලෙසද ඇය මහජනතාවගෙන් ඉල්ලීමක් කළාය.
කීට විද්‍යා සමීක්ෂණ අනුව පාසල්, වැඩබිම්, ආගමික ස්ථාන සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මදුරුවන් බෝවීම ඉහළ ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
නිසි පරිදි කසළ බැහැර නොකිරීම මදුරුවන් බෝවීමේ ප්‍රධාන හේතුවක් බව පෙන්වා දුන් වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මිය, මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සෞඛ්‍ය අංශ වෙත බලතල ලබා දී ඇති බවද සඳහන් කළාය.
