
ආබාධ සහිත පුද්ගලයන්ට රැකියා ලබාදීමට කැමති පෞද්ගලික අංශයේ සේවායෝජකයින්ගේ තොරතුරු ලියාපදිංචි කිරීමේ සමාරම්භක අවස්ථාව හෙට (22) පස්වරු 2.00ට බත්තරමුල්ල සෙත්සිරිපාය පළමු මහලේ සී කොටසේ පිහිටි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශ ලේකම් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
“හැං රූප” ලෙස නම් කර ඇති මෙම වැඩසටහන ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.
ආබාධ සහිත තැනැත්තන් ආර්ථිකයට සක්‍රීයව දායක කර ගැනීම සහ ඔවුන් සඳහා සේවා නියුක්ති අවස්ථා වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ. ඒ අනුව ආබාධ සහිත පුද්ගලයෙකු සේවයේ යොදවන පෞද්ගලික ආයතන සඳහා රජය විසින් සේවක වැටුපෙන් සියයට 50ක වැටුප් සහනාධාරයක් ලබාදීමට නියමිත අතර, එහි උපරිම මුදල රුපියල් 15,000කි. මෙම සහනාධාරය මාස 24ක් දක්වා ලබාදීමට සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන සඳහා 2026 අයවැය යෝජනා මගින් රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කර තිබෙන අතර, ඒ යටතේ ආබාධ සහිත පුද්ගලයන් 5000කට ආසන්න පිරිසකට රැකියා අවස්ථා ලබාදීම අපේක්ෂා කෙරේ.
